කොල්ලො කියන්නේ නයාට අඳුකොල වගේ කාලෙකදි තමයි ඉස් ඉස්සෙල්ලම කොල්ලෙක් මගෙන් යාලු වෙන්න ඇහුවේ. මට කොයිතරම් කේන්ති ගියාද කිව්වොත් කොල්ලටත් බැනලා, අපේ අම්මටත් කියලා, අම්මා කොල්ලගේ අම්මටත් කිව්වා. ඒත් කොල්ලා නෙමෙයි කණකටවත් ගත්තේ. මම යකින්නක් වගේ කඩාගෙන පැන්නත් දිගටම පස්සෙන් ආවා. පයින්. බයිසිකලයක්වත් තිබුනේ නෑ.
අන්තිමට පස්සෙන් ආවේ කොල්ලෙක්ද මිනිහෙක්ද කියලවත් දන්නේ නැත්තේ ඒ ආවේ තඩිම තඩි කාර් එකක් නිසා. මගේ ලොකු පුතා සහේන්වත් ලැබුනට පස්සේ. ඒ මනුස්සයා මගේ මුද්ද දැක්කද කියලා හරියටම දන්නේ නැති උනත් බස් එක පස්සෙත් ඇවිත්, ඔෆිස් එක ළඟටමත් ආවට නිකමටවත් කාර් එක ඇතුලේ ඉන්න එකා කලුද සුදුද කියලවත් බලන්න මට හිතුනේ නෑ.
ඒ අතර තුර කාලය හරියටම අවුරුදු 20ක්. යාළු වෙන්න අහපු, පස්සෙන් ආපු, කරදර කරපු පිරිමි පරාණ (විවිධ වයස්වල) කීදෙනෙක් ද කියලා මට මතක නෑ. ඔය හේතුව නිසාම මම කාලයක් ජීවත් උනේ ඩයනා කුමාරි මම කියලා හිතාගෙන වගේ.
මුල්ම කාලේ මම හිටියේ ගෑණු ළමයි, පිරිමි ළමයි දෙගොල්ලොම ඉගෙන ගත්ත ඉස්කෝලෙක. පොත් නැති වෙනවා, ඇතුලේ ලිවුමක් එකක් ආපහු හම්බ වෙනවා. කකුල් ඉස්සරහට දාලා මාව වට්ටන්න හදනවා. එක්කෙනෙකුට කැමති නෑ කිව්වම තව කෙනෙක් අහනවා. එයාටත් බෑ කිව්වම එයාගේ හොදම යාළුවා අහනවා. ඉස්කෝලේ ගියේ නැත්තං හවසට බයිසිකල් වලින් ගේ වටේට කැරකෙනවා. පාරේ ඇවිදගෙන එනකොට නූල් අල්ලගෙන හැංගිලා ඉන්නවා.(දවසක් නූල ඇදලා කඩපු පාරට අත තුවාල වෙලා ලේත් ආවා, අකමැති වෙච්ච තරහට ළිඳේ බාල්දියත් හොරෙන් අරන් ගියා) කොටින්ම කිව්වොත් ඒ කොල්ලන්ගේ ප්‍රේමයේ ප්‍රමිතියක් තිබුනෙම නැති තරම්. මමත් ඒ කාලේ තනිකර යකින්නියක්. මම උන්ට බනිනවා. උනුත් මට බනිනවා.
ඉස්කෝලේ යන්න බෑ කියත්දි තාත්තා මාව බාලිකාවකට දැම්මා. හැමදේම වෙනස් උනේ ඊට පස්සේ. යාළුවෙන්න අහන කොල්ලො බෝයිස්ලා උනා. හිරිහැර කරදර නැත්තටම නැති උනා. යකින්න පැනලා ගියා. ඒ වෙනුවට එතන හිටියේ පහක් ගනං කරන්න තියා කණටවත් ඇහෙන්න කතා කරගන්න බැරි බොහොම අහිංසක ගෑණු ළමයෙක්.
“ඇයි නංගි අපිට අකමැති? අපි කලුද?”
වෙනවුට
“මම ඔයා ගැන හෝප්ස් තියාගත්තට කමක් නැද්ද?”
ගානට එයාලත් පලයිට් උනා.
මමත් රවන, බනින එක වෙනුවට අකමැතිනම් බිම බලාගෙන යන්නත් ටිකක්
කැමති නම් එක පාරක් හරි හැරිලා බලන්නත් ඉබේම පුරුදු උනා.
ලේ වලින් ලියපු ලිවුම්, චොක්ලට්, රෝසමල්, ඩේ කාඩ් වගේ දේවල් එක එක්කෙනා අතේ එවන කාලෙකදි මට ලැබුනා අමතක නොවෙන දෙයක්.
ඒ කාලේ අපි හිටියේ කාර්මික විද්‍යාල නිල නිවාස වල. ඉස්කෝලේට පයින් ඇවිදගෙන යන්න ගත උනේ විනාඩි 15ක් විතර. ඒ පාර හරිම ජනාකීර්ණයි. දෙපැත්තේ සිංහල, දෙමළ, මුස්ලිම් තුන්ගොල්ලොම ජීවත් වෙන ගෙවල් එක ළඟ. අතරින් පතර කඩවල්. එළුවො, කුකුල්ලු, ගෙදරටත් ෂල්වාර් අඳින පුංචි පුංචි කෙල්ලෝ, සෙල්ලම් කරන කොල්ලො පාරේ හැමතැනම. හරියට ඉන්දියාව වගේ.
දවසක් මම ඉස්කොලේ ඇරිලා එනකොට ඒ පාරේ තියෙන කඩේකින් එළියට ආපු මුස්ලිම් කොලුවෙක් මට බ්‍රවුන්පේපර් බෑග් එකක් දික් කරා. මම බැලුවා කොලුවගේ මූණ දිහා. කවදාවත් මගෙන් යාළු වෙන්න අහලත් නෑ. පස්සෙන් ඇවිල්ලත් නෑ. අහම්බෙන් කඩේ දිහා බැලෙත්දි පාර දිහා බලං ඉන්න කොලුවව මම කලින් දැකල තිබුනත් ඒ බැල්මෙ අමුත්තක් මට දැනිලා තිබුනෙත් නෑ. ඉතින් මට පුදුමයි. ප්‍රශ්න අහන, උත්තර දෙන කාලේ ඉවරවෙලා තිබුන හින්දා මගේ මූණේ තිබුනේ ප්‍රශ්නාර්ථයක්. කොලුවා ඒක අඳුන ගත්තා වගේ මට උත්තර දුන්නා. එච්චරම තමයි.
“මේක ඔයාගේ”
පුදුමෙනුත් පුදුමයට පත් වෙත්දි, දෙපාරක් නොහිතම බෑග් එක අතට අරන් ඇරලා බැලුවම ඇත්තටම කිව්වත් වගේ ඒක මගේ තමයි. දවස් ගානකට කලින් නැති වෙච්ච මගේ සුදු ගවුමේ පටිය (බෙල්ට් එක) හොඳටම හෝදලා, නිල් දාලා, අයන් කරලා, පර්ෆියුම් දාලා බෑග් එක ඇතුලේ තිබුනා. හැබැයි මට ඒක ඊටපස්සේ ගවුමට බඳින්න බැරි උනා. කොලුවා එච්චර මහන්සි වෙලත් මට ඒකෙන් පල ප්‍රයෝජනයක් නැති උනේ ගවුම ඕෆ් වයිට් වෙත්දි පටිය පියෝ වයිට් වෙච්ච නිසා.
ප.ලි.
ඊට පස්සෙත් පාර දිහා බලාගෙන හිටපු කොලුවව ඇස් කොනින් මට පෙනුනා. මම වැරදිලාවත් කඩේ දිහා බැලුවෙ නෑ. කොලුවා මගේ පස්සෙන් එනවා තියා වාඩිවෙලා ඉන්න පුටවෙන් නැගිට්ටෙවත් නෑ කවදාවත්. සුදු ගවුමට නොගැලපෙන තරමට පටිය එක හෝදලා නිල් දාලා ඒ තරම් මහන්සි උනේ ඇයි කියලා තාමත් මම කල්පනා කරනවා.
උපුටා ගැනීම: Anu Jayawardane