පට්ට මියුසිකල් (වැල්වටාරම්)

Share With Friends

Facebook
WhatsApp
Telegram
LinkedIn
Email
එයයි මායි බැන්දෙ යෝජනාවකින්.
මම සිංදුවට සංගීතයට බොහොම ආසයි. එයා ආසා නැත්තෙම නෑ. ඒත් අපි දෙන්නා ආස කළේ යුග දෙකක අයට. කසුන් කල්හාර මගේ ප්රියතම ගායකයා වෙනකොට එයා ආසා වුණේ නාමල් උඩුගමට. ඒත් සුනිල් එදිරිසිංහ, ප්රියා සූරියසේන වගේ දෙන්නම ආස අයත් ඔය අතරෙ නොහිටියා නෙමෙයි. හින්දු සිංදු නම් එයා දන්නෙම නෑ.
මට යාන්තමට දෙවන වටයට යාගන්න තරම් තාලයක් පදවැලක් අල්ලාගන්න පුලුවන් කමක් තියෙනවා කියලා මම හිතාගෙන හිටියේ සහ ඉන්නේ. ඉස්කෝලෙ, දහම් පාසලේ එහෙම පොඩියට ගායනා කටයුතු වලත් මම පෙනී හිටලා තියෙනවා. හැමතිස්සෙම පොඩි සිංදු කෑල්ලක් මගේ කටින් මිමිණුනා. හැබැයි මට සිංදුවක පද ටික මතකෙ තිබුණෙ කලාතුරකින්.
ඒත් එයා?
මට ඒක ලියන්නවත් අඩුගණනේ කටින් කියන්නවත් තේරෙන්නෙ නෑ. මම උත්සාහ කරන්නම් ඒක පුලුවන් විදියට ලියලා තේරුම් කරන්න.
දැන් මෙහෙමයි. අපි අපිව අඳුරගන්න කාලයක් තිබුණානේ. සීමාවාසික කාලයක් වගේ එකක්. කතා කළේ මුණගැහුණේ එකිනෙකා හඳුනගන්න අරමුණෙන්. කන බොන දේවල් වලින් පටන් අරගෙන කියවන පොත පත, විනෝදාංශ දක්වා රුචි අරුචිකම් බෙදා ගනිද්දි ගීතය සහ සංගීතය කියන මම ආසම මාතෘකාවට ආවා. ඒත් මම කියන බොහොමයක් ගීත එයා අහලා තිබුණෙ නෑ. එක්කෝ එයා දන්න ගොඩක් ගීත මම අහලා නෑ. අහලා තිබුනත් මට වචන හරියට මතක නෑ. එයාට වචන මතකයි. සිංදුවක තනුවයි මගෙ ඔලුවෙ වැඩියෙන් රැඳෙන්නෙ. ඉතින් එයා සිංදුවක මුල පද පේළිය කියලා මගෙන් අහනකොට “ඔයා මේක අහලා තියෙනවද, මේකට ආසද” කියලා, මගේ මතකය ඇහැරව ගන්න බැරි වෙද්දි මම කියනවා “චුට්ටක් කියලා පෙන්වන්න” කියලා. එයා අමරදේව මාස්ටර් වගේ ඔළු ගෙඩියත් පද්දලා ගැම්මෙන් ගායනාව පටන් ගන්නවා. ම්හුම්, මම අහලම නෑ.
පස්සෙ දෙන්නම එකතු වෙලා අදාළ සිංදුව යූ ටියුබ් එකේ හොයලා අහනවා. අප්පටසිරි! මම අහලා තියෙන එකක්නේ. මේකද මේ මෙච්චර වෙලා කියන්න හැදුවෙ කියලා මගේ කටත් ඇරෙනවා. පුදුම සහගතයි කියන්නෙ එයාගෙ ගායන ශෛලිය නිකන් “හම් දිල් දේ චුකේ සනම්” චිත්රපටියෙ අජේ දේව්ගන්ගෙ චරිතය මතක් කරවනවා. අර පිටරටක ඉඳන් ඇප් එකක් දාගෙන අති සුමිහිරි ගීත ගයන අක්කාව සිහි කරවනවා දෙයියනේ!
ඕනෙම බැරි මිනිහෙක් උනත් සිංදුවක් කියන්න උත්සාහ කරනකොට පොට්ට කණාවට හරි ඉබේම ස්වරයක් දෙකක් හරියට කියැවෙන්න එපැයි සොබා දහමට අනුව. අනේ දෙවියනේ එහෙම කියවෙන ස්වර දෙක තුනවත් එයාගෙ ගායනයේ තිබ්බෙ නෑ. සොබා දහම ඒ තරමට අකාරුණික වෙලා තිබුණා එයාට මේ කාරණාව සම්බන්ධයෙන් නම්.
කොහොමින් කොහොමින් හරි මම එයාවම බැඳගත්තා. ස්වර කන්නද. අනිත් ගතිගුණ හොඳයිනේ. එකට ජීවත් වෙන්නත් පුලුවන් නේ. මොකෝ සිංදු කියන කොවුලෙක් හොයාගෙන ඇති වැඩක් තියේද අනිත්වා හොඳ නැති නම්. ගුණ කෑම රහ නෑ, රහ කෑම ගුණ නෑ. මම ගුණ කෑම කන්න තෝරගත්තා.
බැඳලා දවසක් දෙකක් යනකොට ඔන්න මට ඇහෙනවා නාන කාමරය දෙක වෙන්න මහ හයියෙන් සිංදු කිය කිය ස්නානයේ යෙදෙන එයා.
මොනවා එයා! සිංදු කියනවා සද්දෙට. ඒක නම් හුරු පුරුදු තනුවක්. අඳුර ගන්න පුලුවන් තරමට ශ්රැතිය පිහිටලා ඔය කියන්නේ. එහෙනම් එයාට පුලුවන්! සමහර විට සම්පූර්ණයෙන්ම ආගන්තුක මම ඉස්සරහ ගායනා කරද්දි ඇතිවුණු චකිතයට සියලු ස්වර ප්රස්ථාර වැරදුනා වෙන්න පුලුවන්. නාන කාමරයේ තනියෙන් රිලැක්ස් වෙලා ඉන්නකොට ගායන කුසලතා එළි බැහැලා වෙන්න පුලුවන්.
ඒකත් හින්දි තනුවක්. පුදුමෙනුත් පුදුමයි. විස්මය ජනකයි. ඒ දවස්වල අතිශය ජනප්රිය හින්දි චිත්රපටියක අති ප්රසිද්ධ වුන සිංදුවක්. වතුර මලේ සද්දෙ අස්සෙනුත් අඳුර ගන්න පුලුවන් තරමට ඔය කියන්නේ නියමෙට. හැබැයි ඉතින් එකම පද පේලිය. තැටිය එක තැන වාදනය වෙනවා.
එයා එළියට එනකල් මම හිටියෙ හරිම නොඉවසිල්ලෙන්. ඒ ගායනයට නම් පැනපු ගමන් හාද්දක් දෙන්නෝනෙ. වතුර මල නැවතුනා. ගායනය කෙමෙන් කෙමෙන් නාන කාමරයේ දොර දෙසට ගලාගෙන එනවා. දොර ළඟ පිළිගන්න බලන් හිටපු මට දැන් දැන් ඒ ගායනය පැහැදිලිවම ඇහෙන්න පටන් ගත්තා. ඔන්න දොර ඇරුණා ගායනයත් එක්කම.
රන්බීර් කපූර් රඟන අතිශය ජනප්රිය “යේ ජවානී, හේ දිවානී” චිත්රපටියෙ Badtameez Dil – බද්තමීස් දිල් කියන සිංදුව.
එයා එළියට එමින් කියපු වචන ටික ඇහිලා මගේ කන් බෙර සියදිවි නසා ගත්තා. තනුව හරි උනාට වචන!
අර සිංදුවෙ තාලෙටම
“පට්ට මියුසිකල්, පට්ට මියුසිකල්, පට්ට මියුසිකල් නනෙ නහ්, නනෙ නහ්!
(ඇහිච්ච විදියටලු කිව්වෙ)
උපුටා ගැනීම: Nilmi Gunawardene Perera

Read More Like This

PHP Code Snippets Powered By : XYZScripts.com
error: Content is protected !!