සබීනායි මායි (වැල් වටාරම්)

Share With Friends

Facebook
WhatsApp
Telegram
LinkedIn
Email
හවස් වරුවක මං හිටියෙ හොඳ ට පුටු සෙටියෙ හාන්සි වෙලා සින්දුවක් අහන ගමන්,නින්ද යන්න ඔන්න මෙන්න තියෙද්දි අම්මා ගෙ හඬින් මන් ඇස් ඇරල බැලුවෙ නොරිස්සුමකුත් එක්ක
“සෑම් ,නන්ගිගෙ බෙහෙත් ඉවර වෙලා ඔයාට පුලුවන් ද ඉක්මනින් ම ෆාමසි එකට ගිහින් එන්න? “
අම්මා ඇහුවා.මන් ෆෝන් එක පැත්තකින් තියලා සෙටියෙන් නැගිට්ටේ තුණ්ඩුව ඉල්ලන ගමන්.අම්මා සල්ලි එක්ක මට තුණ්ඩුව අතට දුන්නා.
“අනේ,ඒ ගමන්ම පුතා ෆුඩ් සිටියෙන් මෙන්න මේ කලමනා දෙක තුනත් අරන් එන්න ඔයාට පුලුවන් නේද?”
මන් ඔය කඩේ යන වැඩේට හොඳ ටෝම අකමැතියි කියලා දැනගෙනත් අම්මා මෙහෙම කියන්නෙ,,නන්ගිත් හොඳ ටම අසනීපෙන් නිසා එයාට යන්න විදියක් නැති නිසාම වෙන්න ඇති කියලා මට හිතුනා.ඒ වුණත් ,අවුරුදු 15 ලබපු ඉලන්දාරියෙකුට හරියන වැඩක් නං නෙවෙයි මේක කියලා කට යටින් මුමුණ මුමුණ මන් වෙන ශර්ට් එකකුත් දාගෙන බයිසිකලයෙත් අරන් පාරට ආවා..
“එහෙ මෙහෙ යන්නෙ නැතුව ඉක්මනින් එන්න හොඳ ද,තාත්තා එන්න කලින් මට කෑම ටික හදන්න ඕන.අපි ජෙසිකා නැන්දලාගෙ ගෙදරට ගිහින් එන්න ඕන රෑට .ඒ නිසා පරක්කු වෙන්න එපා.”
අම්මගෙ හඬ මට පාරට ගියාට පස්සෙත් ඇහුණ.අම්මගෙ මොකක්දෝ කාන්තා සංගමේක සාමාජිකාවක් වෙන ජෙසිකා නැන්දගේ දුව මීට මාසෙකට විතර කලින් නැති වුණා..නන්ගිගෙ අසනීප තත්වය නිසා අම්ම නහයෙන් අඬ අඩ හිටියේ ජෙසිකා නැන්දගෙ දුක සැප බලන්නවත් යන්න බැරි වුණා කියලා.
.නගරයට ගිහින් මං ෆාමසි එකට යන්න කලින් ෆුඩ් සිටි එකට හරි හදිසියෙන් ඇතුල් වුණේ ඉස්කෝලේ මගෙ පංතියේ ලමයෙක් හරි,ලමයෙක්ගේ ගෙදර කෙනෙක් හරි අහල පහලක ඉන්නවාද කියලා වටේටම ඇහැකුත් යවලා.මොකද කිව්වොත් , ඔය එක්කෙනෙක් හරි මන් ෆුඩ් සිටියෙ බඩු තෝරනවා දැක්කොත් ඒක කොල්ලෙක් වෙන මට වෙන මහා අවනම්බුවක් විදියටයි මන් හිතුවෙ.මං කොයි එකටත් කියලා රාක්ක වලට මුවා වෙවී ග්රීන් පීස් ටින් එකකුයි,හතු ටින් එකකුයි ගත්තා.බිල දිහා බල බල ඉසාරහට ගිය මං කාගෙදෝ ඇඟක හැප්පුණා.
“සෑම් ?”
මෙහෙමත් අපරාධයක්.අපේ පන්තියේ ඉන්න කටකාරම කෙල්ල හැනා ,ච්වින් ගම් එකකුත් හප හපා මං දිහා බලාගෙන හිටිය.එක පැත්තකින් අනික් හක්කට ගම් එක මාරු කරපු හැනා මං දිහා බැලුවේ බොහොම අපහාසයෙන් කියලා මට හොඳ ටම දැණුන.
“ඔයාද ෆුඩ් සිටි එන්නෙ අනේ ගෙදර ට බඩු ගන්න?”
හැනා ඒක ඇහුවාම මට ඒක ඇහුණේ ‘ඔයා හෙට ඉස්කෝලෙ ගිහින් ඉවරයි සෑම්’ කියනවා වගෙමයි.
“මං …මේ…”මට වචන එන්නෙත් නැහැ..”මට හොඳ ටම පරක්කු වෙනවා.හැනා.මං යන්න ඕන.බායි “
අම්ම දුන්න බිලේ තිබ්බ ඉතුරු බඩු ටික මගේ අතට කොහොම ආවද මං දන්නෑ..මන් ලහි ලහියෙ ෆුඩ් සිටි එකෙන් එහා තිබ්බ ෆාමසියට යන්න පාර පැන්නේ බයිසිකලය මෙහා පැත්තේ නවත්තලා තියෙද්දියි.
“දෙවියනේ ලමයෝ බලාගෙන !”
මාව නිකම් කැරකිලා වගේ යනවත් එක්ක ,මගේ ඇස් නිලංකාර වෙලා ඉස්සරහින් පුංචි තරු දහස් ගාණක් විසිවෙනවා වගේ මට දැණුන.ඒත් එක්කම කවුදෝ මාව පාරෙන් ඉවතට ඇදලා ගත්තේ විදුලි වේගයෙන්.
ඒ කෙනා මාව ඇදලා ගන්නවත් එක්කමයි මට අර කෑගහන හඬ ඇහුණේ..එතකොට ම මහා හයියෙන් හෝන් කරගෙන මාව පහු කරගෙන ගියේ ලොකු ලොරියක්.දෙවියනේ,,තව ටිකෙන් මාව ඒකට හැප්පෙන්න තිබ්බා.මං බේරුණු බේරිල්ල..!
එතකොටම මං දැක්කා ලොරිය මීටර් ගණනාවක් ඉස්සරහට ගිහින් නවත්තපු හැටියි,එතනට මිනිස්සු කෑගහගෙන යන හැටියි.
මං නූලෙන් බේරුණත් අනිවාරෙන් ම වෙන කෙනෙක් ඒකට හැප්පුණා කියලා මට හිතුනා.
මමත් මිනිස්සු කෑගගහා රැස් වෙන තැනට යන්න හැදුවත් මගේ කකුල් ගල් වෙලා වගේ ගතියක් මට දැනෙනවත් එක්කම මං බිම බැලුවා..කවුරු නමුත් මාව පාරෙන් ආපස්සට අදින කොට මං ෆුඩ් සිටි එකෙන් ගත්තු බඩු බෑග් එක මගෙ අතින් වැටිලා ,ඒකෙ තිබ්බ බඩු පාර පුරා විසිරිලා ගිහින් තිබ්බා .වාහන රෝදයකට අහුවුන ග්රීන් පීස් ටින් එක තැලිලා චෝරු වෙලා තිබ්බා..මං බේරුණේ පුදූම හාස්කමකින් නිසා තිගැස්සිලා හිටි මට ඒවා ගාණක් ගියේ නෑ.
“මට සමාවෙන්න කරුණාකරලා උදව්වක් කරන්න පුලුවන් ද?”
.
ඇහුන හඬින් මං පිටිපස්ස බැලුවා.එතන හිටියේ මගේ වයසෙම වගේ ගෑනු ලමයෙක්.මං පුදුම වුණේ ඒ කෙල්ල ගෙ ඇගේ ලොකු ලේ පැල්ලම් වගයක් දකිනකොට.මං අර මිනිස්සු රැස් වුණ තැනට යන එක පැත්තකින් තියලා ඒ කෙල්ල ගාවට ගියා.
“ඔයාට මොකද වුණේ ??” මන් කෑගහගෙන ඇයව වාරු කරගත්තා..කොච්චර ලේ පෙරාගෙන හිටියත් එයාගෙ මුණෙන් කිසිම අමාරුවක් පෙණුනේ නෑ වගේ කියලා මට හිතුණා.
.
“ඔයාව ඇදලා ගත්තෙ මම..ඔයා පාර මැද්දෙ එහෙම්ම නතර වෙලා හිටි නිසා.”
මට වාරු වෙන ගමන් ඒ කෙල්ල කිව්වා.එහෙනම් මෙච්චර තුවාල වෙලා හිටපු මේ කෙල්ලද මාව හැප්පෙන්න නොදී ඇදලා ගත්තෙ..?.
“ඔයාට ගොඩක් ස්තූතියි ඒකට නං .”මං කිව්වා.”ඒත්,මට මෙතන කතා කර කර ඉන්න බෑ..අපි කාට හරි උදව් ඉල්ලලා කතා කරන්න ඕන.ඔයාව හොස්පිට්ල් එකට අරන් යන්න ඕන දැන්ම!.දෙයියනෙ කවුරුවත් ඔයාව දැක්කේවත් නැද්ද මෙච්චර ලේ ගෑවිලා ඉන්නකොටත්..?”
.
“මාව හැප්පුණා…”කෙල්ල එහෙම කියනකොට මං අපිව නොදැක්ක ගාණට අර මිනිස්සු රැස් වෙන තැනට අපිව පහු කරන් දුවන මනුස්සයෙක්ට කතා කරා.
“මේ,,අනේ මේ ගර්ල්ව ඇක්සිඩන්ට් වෙලා ..හොස්පිට්ල් එකකට ගෙනියන්න උදව් කරන්න පුලුවන් ද.?”
මොන..? ඒ මනුස්සයා අහක බලාගෙන දුවලා ගියා.මේ කොච්චර ආත්මාර්ථකාමි මිනිස්සු ද කියලා මට හිතුණේ මන් ඊලඟට කථා කරපු අනික් අයත් අර මනුස්සය වගේම අපිව නොදැක්ක ගාණට දිව්වාම.මට කේන්තිත් ආවා.මෙච්චර අසරණ වෙලා ලේ තැවරිලා ඉන්න පොඩි කෙල්ලෙක්ට උදව් කරන්න බැරි ඇයි එක මනුස්සයෙක් ට වත්? .මමත් හරිම අසරණ වුණා.පයින් යාගන්න බැරි තරමට ඇයට දරුණු තුවාල වෙලා තියෙන්න ඕනි ඇඳුමේ තියෙන ලේ පැල්ලම් වල හැටියට වුණත්,ඇය කිසිම සද්දයක් නැතුව මට වාරු වෙලා හිටියා .
“අනේ,,මේ කවුරුවත් අපිට උදව් කරන්නෙ නෑනෙ..?”
මට ඇඬෙන්න වගෙ කියවුණා.
“වැඩක් නෑ..කවුරුවත් උදව් කරන්නෙ නෑ” ස්ථිර වම දන්න දෙයක් කියනවා වගෙ එයා කියනකොට මට පුදුම හිතුණ.
“මොකක්ද?”
“වැඩක් නෑ කවුරුවත් අපට උදව් කරන්නෙ නෑ.එයාලට බැහැ.ඔයාට පුලුවන් නම් මාව ගෙදර ට එක්ක යන්න..ටවුන් එකේ ඉඳන් අර පේන දුරින් අපේ ගේ තියෙන්නෙ..”
ඒ කෙල්ල සුසුමක් හෙළලා කිව්වාම මං තවත් පුදුම වුණා.
“හොස්පිට්ල් එකකට නොයා ගෙදර ට යන්න? ඔයාට පිස්සුද .අනික ඇවිදගන්නවත් පුලුවන් ද ඔයාට?”මං ඇහුවා.
“මං මේ හොඳ ට කෙලින් ඉන්නෙ..මට හැප්පුණ වෙලාවෙ තරන් අමාරුවක් නෑ.ප්ලීස් මට ගෙදර ට යාගන්න උදව් කරන්න.කකුල් දෙක තවම ගල් වෙලා වගෙ මට දැනෙන්නෙ..ඔයාට තේරනවනේ අපිට කවුරුවත් උදව් කරන්නෙත් නෑ කියලා.මීට වඩා හොඳ විසඳුමක් තීනවද ඔයාට?”
කෙල්ල ඇහුවා.කිසිම අමාරුවක් නැතුව කතා කරන ඇය ගැන මට ආවේ පුදුමයකට වඩා අමුත්තක්.මගෙ පොඩි බයිසිකලෙයෙන් කොහොමවත් දෙන්නෙකුට යන්නත් බැහැ.
” අනේ..මාව දාලා යන්න එපා.අනේ ඉක්මනින් මාව ගෙදරට එක්ක යන්න ප්ලීස්.කකුල් කැක්කුමයි.”
ඇය ආයාචනා කරන්න ගත්තා .කරන්න දෙයක් නෑ තමයි..දුරින් තියෙන හොස්පිට්ල් එකට පයින් යනවට වඩා ඇය කියන විදියට ලග තියෙන එයාලගෙ ගෙදර ට යා ගත්තොත් ගෙදර අය ඉක්මනින්ම මෙයාව හොස්පිට්ල් එකට අරන් යයි කියල මටත් හිතුණ. තුවාල දරුණු වුණත් ඇයට ඇවිදගන්න බැරි තරම් අමාරුවක් නොපෙනුන නිසා අන්තිමට මං ඒකට එකඟ වුණා.
“හොඳයි ..මාව අල්ලගන්න.අපි ගෙදර ට යා ගත්තොත් එයාලා අරන් යයි ඔයාව ඉක්මනින් “
කෙල්ල අත දික් කරලා පෙන්නපු පැත්තට නගරයෙන් ඈත් වෙලා අපි යන්න ගත්තා බොහොම පරිස්සමට.
“විනාඩි දහයකට වඩා යන එකක් නෑ ගේ ගාවට යන්න” කෙල්ල කිව්වා.
“කොහෙද ඔයාව හැප්පුණේ..ඇයි කවුරුවත් ම ඔයාව දැක්කෙ නැත්තෙ?”
මං යන ගමන් ඇහුවා.එතකොටයි මං දැක්කෙ ඇයගෙ ලේ වලින් මගේ ඇඟෙත් ඉස්සරහා සෑහෙන්න ලේ ගෑවිලා .අපිව කවුරුවත් ගණන් නොගත්ත එකයි මට තේරෙන්නෙ නැත්තෙ.කොහොමත් පාරෙ මේ වෙනකොට කවුරුවත් හිටියෙ නෑ .ඔක්කොමලා අර හැප්පුන කෙනා බලන්න දුවන්න ඇති.එතකොට ම අපිව පහු කරගෙන මහා හයියෙන් නාද කරගෙන ගිලන් රථයත් යන්න ගියා ඒ පැත්තටම.ගිය වේගයට අපිව දැක්කෙවත් නැතුව ඇති.
“.මන් පුස්තකාලය ට යන ගමන් හිටියෙ .එතකොට යි මාව හැප්පුනෙ..කවුරුවත් මං කතා කරාට ආවෙ නෑ.ඔයා තමයි මට උදව් කරන්න ආපු එකම කෙනා.”
ඇය කිව්වා.
ඇයගෙ අතේ පොතක් තිබ්බෙ නැ.මගෙ බඩු ටික වගේම ඒවත් කොහේට හරි විසිවෙන්න ඇති.හොඳ වෙලාවට මං මේ කෙල්ලව දැක්කෙ.මිනිස්සු නම් හරිම නරකයි.
“මොකක්ද ඔයාගෙ නම ?”
“සෑම්” මං ඈට උත්තර දුන්නා.
“අර තියෙන්නෙ අපේ ගේ..”ඉස්සරහින් පේන්න ගත්තු ගෙයක් පෙන්නලා කෙල්ල කිව්ව.ඊලඟට ඇය මං දිහාට හැරුණ.
“ගේ ලඟට ආවනේ..දැං ඔයා යන්න.ස්තූතියි ඔයාට ගොඩාක් සෑම්.ඔයාට ත් ගෙදර යන්න නැත්තම් මට ආයෙ උදව් කරන්න වෙයිද.?ඔයාට ප්රශ්න යක් ,අමාරුවක් නැහැනේද?”
එයා ඒ කියපු දෙය මට තේරුම් ගන්න බැරි උණා.
“ඔයාට විකාරද?..මට තනියෙන් යන්න පුලුවන් ..එන්න මං ඔයාව ගෙදර ටම ඇරලවල යන්නං”මන් කිව්වා.ඒ පාර මගෙන් අත ඉවතට ගන්න ගමන් ඇය මගෙන් ඉවතට හැරුණා.ඊට පස්සෙ දැඩි හඬකින් මෙහෙම කිව්වා.
“කිව්ව දේ අහලා ඔයා ගෙදර යන්න සෑම් !..මට මෙතනට හරි එන්න උදව් කලා ඇති ඔයා..දැන් යන්න !”
මොනවා වෙලාද මේ කෙල්ලට.මට හිතාගන්න බැරි වුණා.මෙච්චර දුර ආපු එකේ මට බැරි නැහැනෙ එයාව ගෙදර ටම ගෙනියන්න.
“ඇයි මට එන්න එපා කියන්නෙ.”මං එහෙම ඇහුවම එයා මං පැත්තට හැරුණා.
“ඔයාට මාව දැක්කම මොකද හිතෙන්නෙ?”එයා අහනකොට ඒ ඇස් වල කඳුලුත් එක්ක අකුණක් ගැහුවා වගේ මට ඒ දේ මතක් වුණා.
“සබීනා?”
මට කියවුණ.මේ ජෙසිකා නැන්දගේ මැරුණ දුව.අවමංගල්යයේදී නොදැක්කත් ඡායාරූප වලින් මං ඇයව දැක්කෙත් එදාමයි.හරිනෙ..ඇය මැරුණේ වාහන අනතුරකින්.
ඒත්,තවමත්,තවමත් මට හිතාගන්න බැරි එකම දේ මැරුණ කෙල්ලෙක් ඉස්සරහ මං කොහොමද මෙහෙම බයක් නැතුව ඉන්නෙ කියන කාරණය.මට තවමත් බයක් හිතට දැනුනෙ වත් නෑ.බය කියන දේ මං නොදන්න හැඟීමක් වගේ මට එ වෙලාවෙ දැනුන.
එහෙනම් ඒක තමයි කාටවත් එයාව පෙණුනෙ නැත්තෙ .එයා මැරුණ කෙනෙක් නිසා.කවුරුවත් අපි ගාව නැවතුණේ නැත්තෙ ඒකයි.
“දෙයියනේ සබීනා?”
ඇය සන්සුන් විදියට නිහඬව ඇයගෙ ගෙදර දිහා බලාගෙන හිටියා.
“ඔව් .මං මාසෙකට කලින් මැරුණා.මට මෙතනින් එහාට ගියත් වැඩක් නෑ සෑම්.ගෙදර අයටත් මාව පේන එකක් නෑ.ඔයාට ස්තූතියි මට මෙතනට වෙනකම් එන්න හරි උදව් කලාට.”
සබීනා කිව්වා.
“ඇයි මට විතරක් ඔයාව පෙණුනෙ?”
මේ පුදුමාකාර ය දරාගන්න බැරුව මං ඇහුවා..දෙයියනෙ මං කොහොමද මේක අම්මලාට ගෙදර ගියාම පැහැදිලි කරන්නෙ..මැරුණ කෙල්ලෙක් එක්ක මං කතා කලා කියන එක.ඇය මාව හැප්පෙන්න නොදී බේරගත්තා කියන එක.එයාලා විශ්වාස කරයිද?කෙල්ල ආයෙමත් මං දිහාවට සන්සුන්ව හැරුණා.
“බලන්න ඔයාගෙ ඇඟෙත් හොඳ ටම ලේ.”ඇය කිව්ව…
“,ඒකට කමන් නෑ”මන් බොහොම අනුකම්පාවෙන් ඈ දිහා බලාගෙන කිව්ව.ඇයත් ඒ විදියට ම අනුකම්පා මූණකින් මං දිහා බලන් හිටියා.
“අපි මැරුණා කියලා ටික වෙලාවක් යනකම් අපට හිතාගන්න බෑ සෑම්.ඒක දැනුණාම අපට ඒක දරාගන්නත් බැහැ.මට ඔයා ගැන දුකයි !”
සබීනා එහෙම කිව්වාම පළමුවෙනි වතාවට බය කියන හැඟීමකින් මාව වෙව්ලලා යනවා වගේ මට දැණුනා.මොනවාද ඇය මේ කියවන්නෙ?
” ඇ..ඇයි මං ගැන ඔයාට දුක.?”
මං ඇහුවෙ වචන පටලමින්.
සබීනා සුසුමක් හෙළලා මගෙ උරහිසට අතක් තියලා පැහැදිලිව කියපු දෙයින් මාව සලිත වෙලා ගියා.
“අපි දෙන්නාවම කාටවත් පෙණුනේ නෑ සෑම් .අර මිනිස්සු සේරම දිව්වේ ලොරියේ හැප්පිලා විසි වුණ ඔයාව බලන්න .ඔයා මැරුණා සෑම්..!
ඔයා අර ලොරියේ හැප්පුණා..!!”
උපුටා ගැනීම: Manik Singhawansha

Read More Like This

PHP Code Snippets Powered By : XYZScripts.com
error: Content is protected !!