පුන්නක්කු ගෝනිය (ඉස්කෝලෙ කාලෙ රස කතා)

Share With Friends

Facebook
WhatsApp
Telegram
LinkedIn
Email
කඩේ යාම පුංචිම පුංචි කාලේ ඉදලා මට හුරු දෙයක්. පොඩි කාලේ ගියේ අපේ අම්මට. දැන් යන්නේ නෝනට. එදා අද කියලා වෙනසක් නෑ. ගේන බඩු සමානයි. වසර හතලිහකට වැඩි පලපුරුද්දක් මට තියෙනවා.
වයස අවුරුදු හය වෙනකම් අම්මයි, මමයි, මල්ලියි එකට කඩේ ගියේ. ඒ ගියේ ඉංගිරියේ එවකට තිබූ ලොකුම කඩය වෙච්චි අරකාවිල ස්ටෝර්ස් එකට. ඒක තොග සිල්ලර බඩු තියෙන ලොකු කඩයක්. අැතුල් වෙන තැනම වම් පස හාල් ගෝනි අහුරලා. දකුණු පස මුදලාලිගේ මේසේ හා ලියන මහත්තයා වෙච්චි සිරි මාමගේ මේසේ. ඒ මේස මත පොඩි පොඩි බෙලෙක් දීසි වලට දාපු හාල් , පරිප්පු ධාන්ය වර්ග සාම්පල්. ඊට අමතරව මුදලාලිගේ මේසේ තවත් අපූරු දෙයක් තිබුනා. ඒ තමයි වයිරං වයිරං පූසෙක්. මුදලාලි මෙසේ නම් පූසත් මේසේ උඩ තමයි. ඊට අැතුලෙන් තමයි අනික් බඩු කරවල ජාති තිබුනේ ඇතුලු කාමරයක. පොල් කොල වලින් වියපු පෙට්ටි වල වවිධ වර්ගයේ කරවල දාලා තිබුනා. ඒ කාමරයට ඇතුල් වෙන්න ඕනේ පඩියක් බැහැලා. එතන දොරකඩ ගාව තිබුනා රසම රස දෙයක් ගෝනියක දාලා. සක්කර ගෝනියක්. (උක් හකුරු කැට)
දවසක් අම්මා සක්කර රාත්තලක් ගත්තා. (ඒ කාලේ මෙට්රික් නෑ. ඒ කිවවේ ග්රෑම් , කිලෝ ග්රෑම්. තිබුනේ රාත්තල් , අවුන්ස) ඒ ගත්තේ අවුරුදු වලට කෑම හදන්න. එදා තමයි ඕන් මුලින්ම සක්කර කෑවේ. ඒ රහට වහ වැටුනා. ඊට පස්සේ ඉතින් කඩේට ගියාම අම්මා සක්කර ගත්තත් නැතත් කරෝල බලන්න අර කාමරයට යන වෙලාවට කඩේ වැඩ කරන අයගේ අැහැ වහලා සක්කර කැට දෙක තුනක් මායි මල්ලියි අපේ කලිසම් සාක්කු වලට දාගන්නවා.
ඔහොම කාලයක් මේ වැඩේ කරගෙන ගියා. අම්මට කඩේ යන්න අපහසු කාලයක් උදා උනා. ඒක උනේ අපේ චූටි මල්ලි නිසා. එතකොට එයා අපේ අම්මගේ බඩේනේ.
ඒ නිසා මිත්ර වරුනි මට අවස්ථාව උදා උනා කඩේ යන්න. මම එතකොට පොඩි එකෙක් නෙමෙයි. එකේ පන්තියේ. මල්ලි බාලාංශයේ . අම්මා ලියලා දෙනවා බඩු ලිස්ට් එක. ඒක දෙනවා බඩු කිරන මාමට. බඩු ටික අරන් බිල මුදලාලිට ගෙවලා ගෙදර එනවා. හරි සරලයි.
හැබැයි ඉතින් බඩු කිරන මාමලා අපිට අර පයෝරිටි කියන්නේ, ඒක දෙන්නේ නෑ. චීත්ත කෑලි , ගවුම් කෑලි වලට තමයි මුල් තැන. අපිට මොකද අපිත් ඉතින් “ළමයින්ට මොනවද ඕනේ” කියලා අහනකම් ඔය සක්කර ගෝනියට, රටකජු ගෝනියට බැහැලා සෙල්ෆ් සර්විස් කරනවා. ඇයි අප්පා කඩේ ඉදන් ගෙදරට එනකම් කකා එන්න මොනවා හරි තියෙන්න එපැයි. ඒ වෙනකොට මාටියා ගහලා ආදායම් උපයන්න මායි මල්ලියි දැනුවත් වෙලා හිටියේ නෑ.
ඔහොම ඉතින් දිගටම වැඩේ ඒ විදියට යනවා. සක්කර ගෝනිය තමයි අපේ ප්රධාන ඉලක්කය. දවසක් එතන තව වෙන ගෝනියක් තිබුනා. දුබුරු පාට කෑලි වලින් පිරුණු. අයියෝ එදා හරි වැඩේ. සක්කර ගෝනිය මට පාත වැඩියි. ගත්තා අර අලුත් ගෝනියේ කෑලි ටිකක්. මල්ලි ගත්තේ සක්කර. එන ගමන් දැන් දෙන්නටම ප්රශ්නය මොනවද ඒ අලුත් ජාතිය කියලා. පොඩ්ඩක් සුවද බැලුවා. අම්මා….. ඒ සුවද නම් …. තනිකර පොල් තෙල් හින්දහම අර අඩියේ ඉතුරු වෙන්නේ තෙල්කා……. ආන්න ඒ සුවදමයි. රසත් ඒ වගේමයි. සක්කර රසයත් මික්ස් උනාම තව වෙන මොනවද..? ගෝනියේ තිබුනේ මොනවද කියලා අපි දන්නැත්තේ ඒවයේ නම ගහලා නොතිබුන නිසා. අපිම දා ගත්තා තෙල්කා කෑලි කියලා.
දැන් ඉතින් මේ සම්මිශ්රණය තමයි හැමදාමත්. කාලයක් ඔහොමම ගෙවිලා ගියා. ඔන්න ඉතින් රට වෙනස් උනා. අර රාත්තල් , අවුන්ස වෙනුවට ග්රෑම් , කිලෝග්රෑම් ආවා. කිරුම් මිනුම් උපකරණ පවා වෙනස් උනා. කාලයක් එකම දේ⁣ට හුරු වෙච්ච මිනිස්සුන්ට වගේම කඩවල් වල අයටත් මෙම අලුත් මෙට්රික් ක්රමේ ⁣අපබ්රංශයක් උනා. ඒ නිසා කඩවල බෝඩ් ආවා . හාල් කිලෝ 1 , සීනි කිලෝ 1 මෙිච්චරයි කියලා මිල ගණන් එක්ක.
මායි මල්ලියි දවසක් ගියා බඩු ගේන්න අරකාවිල සටෝර්ස් එකට. අප්පට සිරි කිව්වලු, ඒකත් මෙට්රික් වෙලා. බෝඩ් ගහලා ලස්සනයි. වටේ සිරි නරබමින් සුපුරුදු ලෙස කිට්ටු කලා තෙල්කා ගෝනියටයි, සක්කර ගෝනියටයි.
දැකපු දර්ශනයට මට නිකං කකුල් පැටලුනා වගේ උනා. දාඩියක් දැම්මා හීනියට. ඉස්සරහින් ගිය මල්ලි ආපිට හැරී අසරණව මා දිහා බැලුවා. මට පේ⁣න්නේ කඩේ බඩු කිරන මාමලයි , බඩු ගන්න ආව මිනිස්සුයි අපි දෙන්නා දිහා බලා සමච්චලයට හිනාවෙනවා වගේ.
ඒ හැමටත් වඩා මට පේන්නේ අර තෙල්කා ගෝනියේ ගහලා තියෙනවා
“පුන්නක්කු
කිලෝ 1 ක්
1.50
ඇත්තටම එවකට රාජ්ය නායකයා ජේ.ආර්. ජයවර්ධන ජනාධිපති තුමන්. එතුමාට පින් දෙන්න ඕනේ ලංකාවට ⁣මෙට්රික් ඒකක හදුන්වා දුන්නට.
උපුටා ගැනීම: Lalana Lalith Wijekoon

Read More Like This

PHP Code Snippets Powered By : XYZScripts.com
error: Content is protected !!