මම පාසල් අවධියේ දී කෝල බැලුම් හෙළු යුවතියන් අතර ශිවන්තිට හිමි වන්නේ විශේෂ ස්ථානයකි. හේතුව ඇගේ ඉන්ටර්ෆේස් එක නොහොත් අතුරු මුහුණතෙහි ඇති ජුගුප්සාජනක ස්භාවයයි.
බාලංශ පන්තියක සිටි ඇයගේ සුරූපී යැයි කිව හැකිම පෙනුමක් නොතිබුනේ නම් ඒ මුහුණෙහි තිබූ විකාර රූපී ස්භාවය හා ඇගේ හැසිරීමයි. මා සිතන අන්දමට එය ඇගේ මුහුණට උපතින් ලැබුණු දෙයක් නොව ඇය විසින් ආරූඪ කරගන්නා ලද්දක් බවයි.
කිසිවකුගේ අවධානය ඇය වෙත නොමැති විට ඇයගෙන් සුන්දර පෙනුමක් දිස් වුවත් කවරෙකුගේ හෝ අවධනයට ලක් වූ විට ඇයගේ එම ස්වරූපය නැවත ඉබේම ආරූඪ වේ.
එය හරියටම පැසීමට පෙර කඩාගත් වට්ටක්කා ගෙඩියක් දින ගණනකට පසුත් අලෙවි නොවීම හේතුවෙන් කඩ හිමියා උරන වී එල්ල කරන ලද පා පහරකට ලක් වූ පසු දිස් වන ස්භාවයක්ද, නොඑසේ නම් දඬු ලේනෙකු විසින් කා දමා අතර මඟ අතහරින ලද අඹ ගෙඩියක ස්භාවයද නැතහොත් දෙඹරුන් තිදෙනෙකු මුහුණ දෙපැත්තේ හා වම් තොලට මදක් ඉහලින් කෑ ඇන්ජලීනා ජොලීගේ මුහුණට සමාන මුහුණක්ද යන්න මේ අවස්ථාවේ මා හට නිවැරදිව පැහැදිලි කල නොහැක.
කෙසේ වෙතත් මා ඇය දෙස බලන විට ඇයගේ ප්රතිචාරය නම් අපුරුය. මා බලන විට ඇය අර අමුතු මුහුණ ආරූඪ කරගෙන ඉවත බලා ගනී. එවිට මමද ඇය දෙස කිසි දින නොබැලූවකු ලෙස ඉවත බලා ගන්නේ වෙනකෙකු මාව නිරීක්ෂණය කලහොත් සිදු වන විලිලැජ්ජාව සමනය කරගැනීම සඳහාය.
ටික කලක් යන විට මට වැටහුනේ ඇය ඉවත බලන්නේ අකමැත්තකට නොව එය ඇගේ ක්රමය නිසා බවය. අංශක 360 ක් නැතත් අංශක 180 ක දර්ශන පථයක් ආවරණය කල හැකි මාගේ දෑස එය මට තහවුරු කර දුන්නේය. මා ඉවත බලාගත් පසු, මා නැවත ඈ දෙස බලන තෙක් ඇය මදෙස බලා සිටින්නේ මා ඇදෙස බැලූ පසු නැවත ඉවත බලා ගැනීම සඳහාය. ( ඒක මඤ්ඤං වගේ නං තව පාරක් හෙමීට කියවපුවම තේරෙයි)
කාලය එසේ ගෙවී ගියද පාසල් සමයේ ඇය සම්බන්ධයෙන් මා හට විශාල ඉතිහාසයක් නොමැත්තේ මා එවකට බැල්ම හෙලූ එකම යුවතිය ඇය නොවන බැවිනි.
කාලය ගෙවී ගොස් වසර ගණනකට පසු නැවත ඇය මට මුනගැසෙන්නේ ඇයගේ සොයුරිය සමඟ ටවුමට පැමිණ සිටි විටකය. සොයුරිය සිටි නිසාත්, ඇය නොසිටියත් කතා කරන්නට මහ ලොකු දෙයක් නැති නිසාත් ඇය ඉදිරිපිටින් යතුරු පැදිය දෙවතාවක් ගමන් කරවා අවධානය ලබා ගෙන මම නිවසට ආවෙමි.
නිවසට පැමිණි විගස බුකියේ මා දන්නා සියලුම භාෂා වලින්ද, ශිවන්ති ඒන්ජල්, මැක්ස්, රොක්ස්, අහිංසක ශිවන්ති, අසරණ ශිවන්ති, තනිකඩ ශිවන්ති, බැඳපු ශිවන්ති ආදී එකී මෙකී නොකී නම් වලින්ද සර්ච් කොට සියලු දහං ගැට දමා අවසානයේ දී රෙදි වලිං මහපු වලහෙක්ගේ පොටෝ එකක් දාපු ප්රෝ ෆයිල් එකකින් සැක සිතිය හැකි ශිවන්ති කෙනෙක් හමු විය.
එය රික්වෙස්ට් දමන්නට බැරි තත්වයට පත්කර තිබූ එකවුන්ට් එකක්ය. සුවහසක් තරුණයින් සියලු කතාන්දර ආරම්භයට මුලපුරන ප්රථම ආමන්ත්රණය “හායි” කියා ටයිප් කර මැසේජ් එකක් දැමුවෙමි. විනාඩි 5 ක් ගියේ නැත. “හායි” රිප්ලයි එක ආවේ හදවත විදුලි කොටාගෙනය.”ඔයා ශිවන්ති නංගී නේද” මම සිංග්ලිෂ් වලින් ඇසුවෙමි. “ඔව්” ඇය කීය. “මට රික්වෙස්ට් එකක් දාන්න”. “හා” එයා එහෙම කියනකොට ආයෙත් විදුලියක් කෙටුවේය.
පපුව දැන් කැළඹුනු අහසක් වගේය. විදුලි කොටයි. හෙන පුපුරයි. සුළං හමයි. මල ජංජාලයක්ය. අපි ඇති පදම් මැසේජ් කලෙමු. අවසානයේ මැසේජ් වලින්ම හමුවෙන්නට තැනක් හා දිනයක්ද යොදා ගතිමු. ඒ ඇය වැඩ ඇරෙන වෙලාවට බස් ස්ටෑන්ඩ් එකේ දීය.
එයා ආවා. අර පයිං ගහපු වට්ටක්කා ගෙඩිය වගේ නැතුව දැං මූණ ටිකක් පරිණත පාටයි. ගොං පාට් ගතිය ගිහිං. මම ගිහිං හිටියේ ඩෙනිමට රබර් සෙරෙප්පු දෙකකුත් දාගෙන. මට නම් ඒ වගේ ගමනකට ඒකත් හොඳ වැඩියි. ශෝටක් දාගෙන යන්නත් කල්පනා කරලා බස් එකේ වාඩි උනාම කකුලේ මයිල් පෙනුනොත් හොඳ නෑ කියලා හිතලා තමයි ඩෙනිමට බැස්සේ.
අපි බස් එකේ එයා බහින තැනට එනකම්ම පැයකට කිට්ටුව කතා කර කර ආවා. මොනවා කිව්වද කියලා මට නම් මතකත් නෑ. අන්තිමට එයා බැහැලා ගියා. මමත් ගෙදර ගිහින් “ ඔයා ගෙදර ගියාද”කියලා අහලා දැම්මා මැසේජ් එකක්.
දෙවෙනි එක දානකොට මම “බ්ලොක්”.
මේ මොන සංතෑසියක්ද උනේ කිය කිය කල්පනා කර කර සති දෙකක් විතර ගියා. මෙන්න ආපහු “ හායි” කියලා මැසේජ් එකක්. මමත් ගොනා වගේ ආපහු රිප්ලයි කලා. දැන් දෙන්නා ආයෙම චැට් එකේ. කොච්චර චැට් කලත් බ්ලොක් කල එකට හරි පිළිතුරක් කියන්නේම නැත.
කාන්තාවකගෙන් බ්ලොක් වීම මට මහත් මදිකමක් වුවද අවස්තාව එනතුරු ඉවසාගෙන චැට් එක ඇදගෙන ගියාය.
“ඔයා ඇයි මගෙත් එක්ක කතා කරන්නේ” එයා අහන්නේ එහෙමය.
“නිකන්” යැයි මම කියයි.
“නිකන් ඇයි”
“ඉතිං නිකන්”
“නිකන් කතා කරන්න එපා”
“මම නෙවෙයිනේ කතා නොකර ඉඳලා ආපහු කතා කලේ”
(ඒකට එකපාර උත්තර හොයාගන්න බැරිව ගෑනි අසරණ උනා)
“ඉතින් දැන් එහෙනම් කතා නොකර ඉන්න”
“ඉන්නවා තමයි.. මම තමුසෙව බ්ලොක් කරනවා” මම කීවෙමි.
රිප්ලයි එක ටයිප් කරනවා පෙනී තියෙද්දී මම එයාව බ්ලොක් කලාය. ශිවන්ති බ්ලොක් උනේ එහෙමය.
කතාව එච්චරය.
ඔබ මෙය කියවන පිරිමියකු නම් ඔලුව උදුමවා ගත් කාන්තාවක් බ්ලොක් කර බලන්න. ඒක වෙනමම ආතල් එකකි. මට බනින්න රචනා කරපු වචන ටික ඇයට එවා ගන්න බැරි උනාම දැනෙන වේදනාව මම මට ගලපාගෙන සිහිපත් කරමි. අහෝ..! එතරම් දුකක්..
ඔබ කාන්තාවක් නම් පිරිම්යකු අතින් බ්ලොක් නොවීමට වගබලා ගන්න. පිරිමියකු අතිනුත් බ්ලොක් වූ කාන්තාවකගෙන් ඵලක් නැත.
ස්තූතියි.
උපුටා ගැනීම: Sherlock Holms