මනමාලිගේ ඇද (වැල් වටාරම්)

Share With Friends

Facebook
WhatsApp
Telegram
LinkedIn
Email
මම පුශ්ප. මගෙ වයස අවුරුදු තිස් දෙකයි. දැන් අපි ඉන්නෙ දහතුන් වෙනි මනමාලි බලන්න ගිහින් එන ගමන් වෑන් එකේ.
වාහනේට නැගපු ගමන් මම ගැලෙව්වා සපත්තු දෙක. මේ මගුල දාගෙන ඉදලම කකුල් රිදෙනවා. මගෙ සපත්තු දෙක අජ්ජා ගෙනිච්ච ගමන් මේ හොද දවසෙවත් ගෙනත් දුන්නෙ නෑනෙ. ඕකුන් ඔහොම්මමයි. පාප මිත්රයො. මේක පොඩි මස්සිනාගෙන් ඉල්ල ගත්තෙ.
” කොහොමද මල්ලි මනමාලි හොදද?
අපේ ලොකු මස්සිනා මගෙ කකුලට තට්ටුවක් දාල ඇහුවා.
” අම්මෝ මෙයාගෙ මූනෙ මනමාල හිනාව, මේකට නම් කැමති වගේ”
අපේ ලොකු අක්කත් කෑ ගැහුවා.
” අපොයි කිරි පුතේ ඔය මංගල්ලෙ නම් හරියන්නෙ නෑ. බලපන්කො නැන්දම්මාගෙ ඇදුම. විලිසන්ගයක් තියෙන ගෑනියෙක් අදිනවද කොට කලිසමක් මනමාලි බලන්න ගෙදරට එනකොට.”
අපේ ආච්චි කිව්වා.
” අනේ ආච්චි මොඩ් නැන්දම්මා කෙනෙක් ඉන්නකොට කාටද ආඩම්බර , කෙල්ල හොදයිනෙ” මස්සිනා මගෙ පැත්තෙ.
” ඒ කෙල්ල නම් කිසිම සිරිතක් විරිතක් දන්න පාටක් නෑ. මනමාලයගෙ ආච්චි කියල අපි එනකොට වැන්දෙවත් නෑනෙ. කොන්ද පාත් කරන්න බැරි තරම් ගෞරවේ. ඒ වගේද මේ ලොකු පුතාලගෙ ගෙදර බුරුතු පිටින් ඇවිල්ලනෙ වදින්නෙ. දැන් මේ මෙහෙම හිටියට අපිවත් ඉස්සර ඕන සභාවක පිලිගත්ත මිනිස්සු තමයි. මට නම් උන්ව එපා උනේ එතනින්මයි”.
” මගෙ නම් හිතට ඇල්ලුවෙම නෑ ආච්චි , බොරු සෝබනේ උන්ගෙ, මනමාලිගෙ පස්සෙ ලොකු බලපල්ලකො. බොරු පස්සක්ද මන්ද” අපේ පොඩි අක්කා කිව්වා.
” අපරාදෙ ඇගේ වැදිල බලන්න එපැයි. අනේ බං මම ගෑනු ගෙනාවත් උඹල එක්කනෙ ඉන්න වෙන්නෙ”
” තමුසෙට ඕන නම් කර ගන්නව, මම කිව්වෙ මම දැක්ක එක. අනික බලනවකො නැන්දම්මා කොට කලිසම මනමාලි සාරිය, විකාර”
” ඒ උනාට දැක්කද බුරියානි එකේ තිබ්බ මස් කෑල්ලක ලොකු . කොහොම උනත් ලෝභ නෑ. ඩෙසට් ජාතිත් තුනක් විතර තිබ්බනෙ. අනෙක ඒක කොට කලිසමක්ද, ඒක කියුලට් එකක්නෙ, වැඩ කර කර හිටපු ගමන් සාය අදින්න බැරි උනාද කවුද දන්නෙ. අපිත් වේලාසනින්ම ගියානෙ”
මුන් හදන්නෙ මේ මංගල්ලෙත් නැති කරල දාන්න. දැන් නම් මට මගුල් බලන්න ගිහින් ඇතිවෙලා මේගොල්ලො එක්ක.
” අනේ මාමෙ ඒ නැන්දා නම් ලෝභයි වගේ, ඉල්ලුවට දෙවනි පාර අයිස්කිරීම් දුන්නෙත් නෑ” ලොකු අක්කගෙ කොලුව කියපි.
” මේ සනූ ඔය කට වහන් ඉන්නවද ලොකු අයගෙ ඒවට කට දාන්නෙ නැතුව. අම්ම වගේමයි, ඕන එකටයි එපා එකටයි ඔක්කොටම කට දානවා”. ලොකු මස්සිනා පොඩි එකා පිට තියල අක්කට ප්රහාරයක් එල්ල කරා.
” බත් පතේ තියෙන මස් කෑල්ලෙන් පුලුවන්ද බං ගෑනු තෝරන්න. ඒ උනාට මට නම් ඒ දැරිවිගෙ වරදක් පේන්නෙ නෑ, ආවට පස්සෙ එක එක දේවල් එලිවෙනවට වඩා ඉස්සල්ලම ඕව දැන ගෙන ගේන එක හොදයිනෙ. “
යන්තම් අපේ තාත්තා මගේ පැත්තට කතා කරා. කොහොමත් ඔය කතා කරන මගුල් වල කෙලින්ම ඇහිලි අඩුයි. වටේ ගිහින් ඇහිලි, අනුමාන කිරිලි, කටින් අල්ල ගැනිලි වගේ ඒවයින් තමයි තොරතුරු එක් රැස් වෙන්නෙ.
” අනේ ඔහේ දන්නව ගෑනු ගැන. සටකපට අම්මණ්ඩිලා. කඩෙන් කෑම ගෙනත් භාජන වලට දාල දීල. පෙන්නෙ නැද්ද කට්ලට් එකත් කඩෙන්, බුරියානියත් කඩෙන් අපරාදෙ ගෙදරට ගෙනිච්ච දේවල්. මම නම් කිව්ව ඔය තරම් කෑම ජාති උස්සන් යන්න එපා කියලා, නැන්දම්මා නම් ගල් පලල මද කාපු අම්මණ්ඩි කෙනෙක් වගේ. ආන් ඒකට මහ මනුස්සයා නම් වැඩි සද්ද බද්දයක් නෑ නිවිච්ච මිනිහා.”
අපේ අම්මාත් කතා කරා.
” ඒකනම් ඇත්ත. මම ගෑනු ගැන දන්නවනම් ඔහේව බදීද , අනෙක මහ මනුස්සයා කට වහන් ඇත්තෙ කිව්වට වැඩක් නැති නිසා වෙන්න ඇති. ගෑණුන්ට තැන දීල හිටියාම ජීවත් වෙන්න ලේසිනේ”
” හරි හරි ඔය දෙන්න රණ්ඩු වෙන්න ඕන නෑ ඕක නොකර හිටියම හරිනෙ, තව වයස තියෙනවනෙ. තිස් දෙකත් වයසක්ද, හතලිහේදිත් ඔය මිනිස්සු බදින්නෙ”
මම හිතකින් නෙමෙයි උනත් එහෙම කිව්වා. මොකද මම ගෑණු පරානයක් ඕනමෙයි කියල උද්ඝෝෂණ කරන්නද. ඕන උනත් නෑ වගේ දැන් සෑහෙන කාලෙක ඉදන්ම හිටියනෙ.
ගිය පාර මගුල කෙරෙන්නම ගිහින් කැඩිල ගියා මනමාලි නෑදෑ ගෙදරක ආව ගමන් අපේ ගෙදරට ගොඩ වෙච්ච නිසා. බදින්න කලින් මනමාලියෙක් ගෙදර ඒම මහා පාපයක් විදියට අපේ ගෙදර අය දැක්කෙ. හරිනම් හතර වරිගෙ නෙමෙයි එන්න ඕන ගෙවල් බලන්න මනමාලි. මොකද එයානෙ ඇවිල්ලා ඉන්නෙ. ඕව අපේ ගෙදර අයට තේරුම් කරන වට වඩා හොදයි නිකං ඉන්න එක.
” හරි හරි දැන් තව දෙක තුනක් තියෙනවනෙ ලකුණු කරපු. හෙට අනිද්දට යන්න බැරියෑ. මොකෝ පුරුදු වෙන්න කරනවද, නැද්ද මල්ලි. “
පාරෙ ගෑනු ලමයෙක් ඉන්නව පොඩි ලමයෙක් වඩා ගෙන, බස් එකේ නගින්න වගේ. “උත්පලා”, මගෙ ඇස් මොහොතකට නැවතුනා. ඒ තමයි මගේ කුලුදුල් පෙම්වතිය. උත්පලා බැදලා ලමයෙකුත් ඉන්නවා. මම තාම කසාද හොයනවා. මම වෑන් එකේ ජනේලෙන් එලියට බෙල්ල දාල උත්පලාට අත වැනුව. එයා දැක්කෙ නෑ. මම තව ටිකක් බෙල්ල එලියට දාල අත වනන ගමන් මම කෑ ගැහුවා .
” හැපි වැලන්ටයින්ස් ඩේ උත්පලා “
මට මතකයි ලොකු මස්සිනා
” මල්ලි ඔන්න” කියල කිව්වා.
” ටාං” ගාල මගේ ඔලුව පාර අයිනෙ තිබ්බ බස් හෝල්ට් කණුවෙ වැදුනා.
උපුටා ගැනීම: Buddhika Abeysundara

Read More Like This

PHP Code Snippets Powered By : XYZScripts.com
error: Content is protected !!