දැඩි පාඨක ප්රතිචාර සහ මරණ තර්ජන හා සමාන ඉල්ලීම් මත මයි සෙල්ෆ් දෙවන වෙළුව ඔබ වෙත ඉදිරිපත් කිරීමට තීරණය කලෙමි.
දෙවන කොටස වුවද පළවන කොටසේ දී ප්රකාශ කිරීමට නොහැකි වූ කුඩා කල සිදුවීම් කිහිපයක්ද මීට ඇතුලත් කරමි.
වයස අවුරුදු දෙකේදී පමණ සිට මා මවට උදව් පදම් කරමින් සිටි කීකරු දරුවෙක්ය. දිනක් වතුර පිරවූ භාජනයක් රැගෙන එය මවටත් හොරෙන් ගෙයි පිටුපස මිදුල කෙලවරට ගොස් වත්ත පහළට විසි කරන අවස්තාවේ දී ඇති වූ චාලක ශක්තිය හේතුවෙන් භාජනයද සමඟ මාද වත්ත පහළට රෝල් වී ගොස් ඇත. වාසනාවකට මෙන් වත්ත පහළ තිබූ දෙල් ගසේ මා නිරුවතින්ම සිර වී සිට ඇති අතර දෙල් ගස නොවන්නට නතර වන්නේ වෙලේ ය.
මගේ පියා එතරම් සැරපරුෂ පුද්ගලයෙකු නොවූ අතර ඔහු මට දඬුවම් කර ඇත්තේ එක් වරක් පමණි. ඒ පාසැල් යාමට ස්කූල් බස් එක පැමිණෙන තුරු සිටින අවස්තාවේ දීය. පාසලට බත් රැගෙන යාමට නොහැකි බවත්, බනිස් උවමනා බවත් කියමින් වැළලෙන්නට හැදූ අවස්තාවකදී බසයට ගොඩවීමට සිටි ළමුන් ඉදිරිපිට එල්ල වූ දරුණු කනේ පහරකින් බනිස් ආශාව සංසිඳුනේය.
තවත් දිනක් ගහන්නට පන්නන විට දිවගොස් මිදුලේ ඇති සේපාලිකා ගසට ගොඩ වූ අතර අත්ත බරවී බිමට පතබෑවීම නිසා එදින තවදුරටත් පහර දීමක් අනශ්ය නොවීය.
මව සම්බන්ධයෙන් ගත් කල මෙය ඊට හාත්පසින්ම වෙනස්ය. ඇයගෙන් මා ගුටි නොකා සිටියේ නම් ඒ සීමිත දින ගණනකි. සැළසුම් කර පහර දීම සම්බන්ධයෙන් ඇයට ඇති ඥනය මා සිතන පරිදි යුධ හමුදාපතිවරයෙකුටද නොමැත.
මට පහර දීමට පෙර ඇය ගෙදර පිටුපස දොර වසා පැමිණෙන්නේ මා හදිසි අවස්තාවකදී “පිට වීමේ දොරටුව” වශයෙන් එය භාවිතා කරන බව දන්නා නිසාවෙනි. පැනගැනීමට දිසාවක් නොමැතිව අසරණ වන මා බෝහෝ විට ඇයගේ දෙපා වැඳ සමාව ගෙන, නැවත එවැනි වරදක් නොකරන බවට පොරෙන්දු වී පොදු සමා කාලයක් ලබා ගනිමි. යලි එවැනි වැරදි නොකරන මා පසුව කරන්නේ ඊට වඩා වෙනස් වරදක්ය.
ඇතැම් අවස්තා වල මා කරන වරදේ වින්දිතයා අපේ අක්කා නම් එවැනි විටකදී ඇයගේ දෙපා වැඳ සමාව ගෙන පව් සමා කරගත හැක. බෝහෝ විට මා අක්කාට කරන වරද, ළඟට ගොස් එල්ල කරනු ලබන මුෂ්ඨි ප්රහාරයේ සිට දුර සිට එල්ල කරනු ලබන ගඩොල් බෑ ප්රහාරයක් දක්වා දිව යයි. නංගීට කරනු ලබන වරදක් සම්බන්ධයෙන් අම්මා වගකීම ගෙන දඬුවම් නියම කරනු ලබන අතර අපේ අක්කා නම් ඉස්සර කියන්නේ “තව ටික කාලෙකින් තමුසෙට නංගිටත් වැඳලා තමයි සමාව ගන්න වෙන්නේ” කියාය.
මා සා/ පෙල විභාගයට පෙනී සිටින කාලය වන විට දෙමව්පියන් මාගේ අනාගතය ගැන තිබූ බලාපොරොත්තු සියල්ල සම්බන්ධයෙන් උපේක්ෂා සහගත තත්වයකට පැමිණ තිබුනි.
නින්ද නොයන ඇතැම් රාත්රියක මා කරන්නේ පොතක් ගෙන පාඩම් කිරීමට උත්සහා කිරීමය. නින්දේ උපරිම සැපය මා ලබන්නේ එවිටය. අම්මා කිවේ “උඹ මිනිහෙකුට කටක් ඇරලා කියන්න පුළුවන් විදියේ ප්රථිඵලයක් ගත්තා නම් ඇති” කියාය. අප්පච්චී නම් එසේවත් කීවේ නැත.
සා/ පෙළට මා සෞන්දර්ය විෂය වශයෙන් කලේ චිත්ර ය. චිත්ර විෂය දිනට පාට පෙට්ටියක් අරන් යා යුතු බව මට සිහිපත් වූයේ “ප්රශ්ණ පත්රයේ චිත්ර ඇඳීමට මාතෘකා දී තිබෙනු දුටු විටය.” මට පිහිටට සිටියේ අල්ලපු ඩෙස්ක් එකේ සිටි “නුවන්” ය. මුලින් “රතු” පාට ඉල්ලාගෙන චිත්රයේ රතු පාට අවශ්ය සෑම තැනකම රතු පාට කලෙමි. “කහ” පාට ගෙන කහ අවශ්ය සියළුම තැන් වල කහ ගෑවෙමි. “ නිල්, දම්, කළු, තැඹිලි, දුඹුරු, කොළ,.. මේ සියල්ලද එසේය. නුවන්ට වැඩිපුර කරදර කිරීමට හොඳ නැත. “අහිංසකයා”. මම එකම පාට කෑල්ල දෙවරක් ඉල්ලීමට ඉඩ නොතබා චිත්රය සම්පූර්ණ කලෙමි.
ගණිතය විෂයට අනෙක් සිසුන් ඩෙස්ක් එකට තට්ටු කර අමතර කොළ ඉල්ලන විට මා කල්පනා කලේ මා ළඟ ඉතිරි වී ඇති කොළ වලට කරන්නේ කුමක්ද කියාය.
මා සාමාන්ය පෙළ ප්රථිඵල කී විට මව මට පහර දීමට පැන්නේය. “තෝ මාව මරා ගන්නද හදන්නේ, ඇත්ත කියපං, කීයක් ෆේල් ද”
මා සමත් වූ බව ඒත්තු ගැන්වීමට මහන්සි වූ තරමින් අඩක්වත් මා විභාගයට මුහුණ දීමට වැය කර නැත.
මා පසුව කල්පනා කලේ ඇය, මා ආචාර්ය විභාගය සමත් වූ බවවත් සිතාගෙන ඇත්ද යන්නයි.
චිකන් කියුබ් දමා සෑදූ පරිප්පු හොද්දකින් මාව සර්ප්රයිස් නොකල ඈ, පසුදින නිවසේ කැවුම් පුච්චා මගේ මුහුණ කැවුමකින් තැවූයේ “කොල්ලට කාගේවත් කටවහක් වත් වදී” යැයි පවසමින් දෑස් අග කදුළු බිඳු රඳවාගෙනය.
උපුටා ගැනීම: Sherlock Holms