ශාන්ත වැලන්ටයින් තුමා කටුණායක එයාර්පෝට් එකෙන් එළියට ආවේ පිටිපස්සේ දොරෙන්. ලංකාවට එන්ඩ කලින්ම රෝම්වල හිටපු ලංකාවේ මනුස්සයෙක්ගෙ කියපු විදිහට යූරෝ ටිකක් වැඩිපුර අරගෙන ආවා නිසා එතුමට ඒ වැඩේ හිතුවටත් වඩා ලේසි වුණා.
ඉතාලියේ ඉඳලා ගෙනාපු යූරෝ කොළ මිටියෙන් ටිකක් රුපියල් 5000 කොළවලට මාරු කරගත්තු ශාන්ත වැලන්ටයින් තුමා, ඉන් දෙක තුනක් එයාර්පෝට් එකේ හිටපු ලොක්කෙක්ට හොරෙන්ම දුන්නා. සති දෙකක් නිරෝධායනය නොවී පිටිපස්සේ දොරෙන් එතුමට එයාර්පෝර්ට් එකෙන් එළියට එන්න ලැබුණේ ඒ ආනිශංසයෙන්. ඉතින් රෝමේදී තමන්ට උපදෙස් දීපු ඒ ලාංකිකයට පින් දිදී එතුමා එළියට බැස්සා.
3 වැනි ශතවර්ෂයේ ඉඳන්ම පෙම්වතුන්ට උදවු පදවු කරන ශාන්ත වැලන්ටයින් තුමා හැම අවුරුද්දෙම පෙබරවාරි 14 වැනිදට යෙදෙන ආදරවන්තයගේ දිනය දවසේ ලෝකේ කොහේ හරි රටකට ගිහින් පෙම්වත්තු ආදරවන්තයන්ගේ දිනය සමරණ විදිහ නිරීක්ෂණයකරනවා. දැන් මග යන්ඩ පණ නැති ගානේ ඉන්නේ වැලන්ටයින් තුමා ඒකෙන් ලබන්නේ අහිංසක සතුටක්.
එතුමා මේ අවුරුද්දේ තෝරගත්තේ ලංකාව. ශාන්තුවරයෙක් විදිහට ලෝකේ හැම භාෂාවක්ම කතාකරන්න හැකියාව තිබ්බත් එතුමා වැඩි හොඳට කියලා එන්න මාස තුනකට කලින් රෝම්වලදී සිංහල භාෂා පංතියකටත් සහභාගි වුණා. ඒ වගේම රෝම්වල ඉන්න ලංකාවේ මනුස්සයෙක්ගෙන් ලංකාව ගැනත් විස්තර ටිකකුත් දැන කියා ගත්තා. ඒ මනුස්සයා රස්සාව විදිහට කළේ බෝට්ටුවලින් ඉතාලියට මිනිස්සුන්ට රස්සාවල් හොයලා දෙන එක. ඉතින් ඒ මනුස්සයගේ උපදෙසුත් වැලන්ටයින් තුමාට ගොඩාක් වැදගත් වුණා.
“ගියාට කමක් නෑ වැලන්ටයින් තුමෝ… හැබැයි ඉතාලිය වගේ නෙමෙයි එහේ හැම දේකටම ඉතින් ජරාවක් නම් දෙන්නම වෙනවා” ඒ මනුස්සයා වැලන්ටයින් තුමාට දීපු පළවෙනි අවවාදය ඒක.
“ඉතින් මම ශාන්තුවරයෙක්නේ. ලංකාවේ අය මගෙනුත් අල්ලස් ඉල්ලයිද?” වැලන්ටයින් තුමා දුකෙන් වගේ ඇහුවා.
අර මිනිහා වැලන්ටයින් තුමා දිහා නිකන් නක්කලේට වගේ බලලා මෙහෙම කිව්වා.
“ශාන්තුවරයෙක් නෙමෙයි, බුදු හාමුදුරුවෝ ආයෙත් වැඩියත් ලංකාවේ උන් එතුමගෙනුත් ගානක් කඩා ගන්න බලනවා. කොහොමත් ඔබ තුමා ශාන්තුවරයෙක් වුණාට සුද්දෙක් නිසා අපේ අයියලගෙන් බේරිලා ඉන්ඩ බැරි වෙයි. මොකද අපේ උන් සුද්දෙක් දැක්කොත් සුද්දම කරලා දානවා” අර මනුස්සයා උත්තර දුන්නා. වැලන්ටයින් තුමා නිරෝධායනය නොවී එයාර්පෝට් එකෙන් එළියට ආවේ අර මනුස්සයා කිව්වේ කොච්චර ඇත්තද? කියලා හිතන ගමන්.
එයාර්පෝට් එක ළඟ කල්පනා කර කර හිටපු ශාන්ත වැලන්ටයින් තුමා ළඟ පිම්මේ ආපු බේබි රෝසා බස් එකක් එක පාරටම නැවැත්තුවේ “බ්රාස්” කියලා බ්රේක් පාරකුත් ගහගෙන. බස් එකේ දොරෙන් ඔලුව එළියට කොන්දොස්තර කොල්ලා “ඔටුව පිටෝටුව… ඔටුව පිටෝටුව… ඒසී… ඒසී… ඒසී…” කියන ගමන් වැලන්ටයින් තුමාගේ බෙල්ලෙන් අල්ලලා බස් එක ඇතුළට ඇදලා ගත්තා. ඇදලා අරගෙන තල්ලු කරපු පාරට වයසක වැලන්ටයින් තුමා කෙලින්ම ගිහින් ජම්පින් සීට් එකක ඉන්දවුණා.
වෙන කාලවල නම් වැලන්ටයින් තුමා රට රටවල සංචාරය කරන්නේ වෙස් වළාගෙන. ඒත් කොරෝනා නිසා මේ පාර වැලන්ටයින් තුමාට අමුතුවෙන් වෙස් වළාගන්න ඕන වුණේ නැහැ. මාස්ක් එක දාගෙන හිටපු නිසා කවුරුවත් එතුමව අඳුර ගත්තේ නැහැ. කොහොමත් වැලන්ටයින් සැමරුවට ලංකාවේ කෙල්ලෝ කොල්ලෝ වැඩි දෙනෙක් එතුමා ගැන දැනගෙන හිටියෙත් නැහැ.
ආදරවන්තයන්ගේ දිනය නිසාද මන්දා බස් එකේ රේඩියෝව හරි සද්දෙට දාලා තිබ්බා. මොකක්ද මන්දා එෆ්.එම්. චැනල් එකක නිවේදකයයි නිවේදිකාවයි තරගයට වගේ ලවු සිංදු දැම්මා.
සිංදු ගොඩාක් මැද්දේ වැලන්ටයින් තුමාගේ හිත ගියේ එක සිංදුවකට,
“හීනයක් නොවේ ඔබ බැඳුණා, ආත්මය පුරා….
වසන්තය ළඟයි මට දැනුණා, ඔබයි පෙම් හොරා…’
සිංදුවට කොච්චර හිත ගියාද කියනවා නම් වැලන්ටයින් තුමා දඩි බිඩි ගාලා අතේ තිබ්බ ස්මාර්ට් පෝන් එකෙන් සිංදුව කියපු ගායිකාවගේ ෆේස්බුක් පේජ් එකට ගිහින් බැලුවා. වයසක ගායිකාව තමන්ගේ පුතාගේ වයසේ පොඩි එකෙක්ව බදාගෙන ඉන්න විෂුවල් එක දැකපු ශාන්ත වැලන්ටයින් තුමාට හරියට සතුටු වුණා.
“ආදරය කරන්න කොහෙද වයස් බේදයක්.. අනේ ඒ ආදරයට නම් ඇස්වහක් වදින්න එපා” ශාන්ත වැලන්ටයින් තුමා වයසක ගායිකාවටයි එයාගේ චූටි ආදරවන්තයටයි හිතින් ආශිර්වාද කළා.
“කපල් බලන්න නම් ඔබ තුමා ඉස්සෙල්ලම ගෝල්ෆේස් පිට්ටනිය දිහාවට යන්න. කුඩ ඉහළගෙන ගිනි අව්වේ ලවු කරන කපල් සිය ගානක් එතැන ඉන්නවා. ඊට පස්සේ වික්ටෝරියා පාක් එකට යන්න. ඒත් මදිනම් ඔය හන්දියක් හන්දියක් ගානේ තියෙන රූම්ස් කුලියට දෙන තැනකට යන්න” අර රෝමේ ඉන්න ලංකාවේ මනුස්සයා දීපු උපදේශය වැලන්ටයින් තුමාට කල්පනා වුණා.
බස් එක කොටුවට ආපු ගමන් පුරුදු විදිහටම කොන්දොස්තර කොලුවා වැලන්ටයින් තුමාගේ බෙල්ලෙන් අල්ලලා එළියට තල්ලු කළා. වැලන්ටයින් තුමා හිමි හිමීට ගෝල්ෆේස් පිට්ටනිය දිහාවට ඇවිද ගෙන ගියා.
මුලු ගෝල්ෆේස් පිට්ටනියම පාලුවට ගිහින්. කුඩ යට පෙම් කෙළින ජෝඩු වෙනුවට ගෝල්පේස් එක පුරාම එක එක සයිස් එකේ දොඹකර හයි කරලා තිබ්බා. “කෝ යකෝ ජෝඩු… මට පාර වැරදුනා වත්ද?” දොඹකරයකට පිටදීපු වැලන්ටයින් තුමා දාඩිය පිහිදාන ගමන් කල්පනා කළා.
ඔන්න එතකොටම කේන්තියෙන් වගේ තමන් දිහාට දුවගෙන එන චීනෙක් වැලන්ටයින් තුමා දැක්කා.
“ඒයි… ඒයි.. ලොක්කා මොන මඟුලක් කරනවද මෙතැන?” පිම්මේ ආපු චීනා සුද්ද සිංහලෙන් වැලන්ටයින් තුමාගෙන් ඇහුවා. සිංහල කතා කරන චීනෙක්ව වැලන්ටයින් තුමා දැක්කමයි.
“අනේ මහත්තයෝ මම මේ ලංකාවේ ආදරවන්තයෝ ආදරය කරන විදිහ බලන්ඩ ආවා” වැලන්ටයින් තුමා අහිංසක විදිහට කිව්වා.
චීනා වැලන්ටයින් තුමා දිහා බැලුවේ මාරම අනුකම්පාවෙන්.
“ඔයාගේ මොළේ හොඳ නැද්ද? මෙහේ කොහෙද අංකල් ලංකාවේ ආදරවන්තයෝ. මේ පෝට් සිටිය. මේක අයිති චීනෙට. මෙතැන දැන් ලවු කරන්න පුලුවන් චීන කොල්ලෝ කෙල්ලන්ට විතරයි. ලංකාව තියෙන්නේ අල්ලපු වැටේ” ගාලු මුවදොර හෝටලය දිහාවට අත් දික්කරපු චීනා කිව්වා.
ශාන්ත වැලන්ටයින් තුමා එහෙම ලේසියෙන් බලාපොරොත්තු සුන් කරගන්න විදිහේ කෙනෙක් නෙමෙයි. එතුමා ස්මාර්ට් පෝන් එක අතට අරගෙන ගූගල් මැප් බලාගෙන බොහෝම අමාරුවෙන් වික්ටෝරියා පාක් එක හොයාගෙන ආවා. වික්ටෝරියා පාක් එකත් පාලුවට ගිහින්. වැඩි හරියක්ම හිටියේ බල්ලොයි, හිඟන්නොයි පාක් එක සුද්ද පවිත්‍ර කරන සිවිල් ආරක්ෂකයොයි විතරයි.
ලංකාවේ කෙල්ලෝ කොල්ලන්ට ආදරවන්තයන්ගේ දිනය අමතක වෙලා වත්ද? කියලා කල්පනා කරන ගමන් වැලන්ටයින් තුමා පාක් එකේ මුරකාරයෙක් ළඟට කිට්ටු කළා.
“මහත්තයෝ දැන් ලංකාවේ කෙල්ලො කොල්ලෝ ලවු කරන්න පාක් එන්නේ නැද්ද?” වැලන්ටයින් තුමා මුරකාරයගෙන් ඇහුවා.
මුරකාරයා පුදුමයෙන් වගේ වැලන්ටයින් තුමා දිහා බැලුවා.
“ඔහේට පිස්සුද? මේ හංදියක් හංදියක් ගානේ රූම්ස් කුලියට දෙන තැන් තියෙන රටේ පාක් එකට ඇවිත් බංකුවකට උඩට වෙලා වාත වෙන්නේ අපේ රටේ කෙල්ලෝ කොල්ලන්ට පිස්සු කියල හිතුවද?” මුරකාරයා ඇහුවා.
දැන් ඉතින් ආදරවන්තයෝ හොයාගන්න තියෙන එකම විදිහට රූම්ස් දෙන තැනකට යන්න කියලා ශාන්ත වැලන්ටයින් තුමාට කල්පනා වුණා.
පාක් එකෙන් එළියට බහිනවා විතරයි “රූම්ස්” කියලා ගහපු බෝඩ් සිය ගානක් වැලන්ටයින් තුමා දැක්කා. එතුමට ඉතින් හරි සතුටුයි. එතුමා හිමීට එක තැනකට කිට්ටු කළා.
වැලන්ටයින් තුමා රෝමෙන් පිටත් වෙන්න කලින් ෆේක් ෆේස්බුක් එකවුන්ට දෙකක් හැදුවා. එකක් ලස්සන කොල්ලෙක්ගේ නමින්. අනික ලස්සන කෙල්ලෙක්ගේ නමින්. මේ එකවුන්ට් දෙකට වැඩි හරියක් ඇඩ් කරගෙන තිබ්බේ ලංකාවේ ගෑනු පිරිමි.
කාමර කුලියට දෙන තැනට ඇතුළු වෙනකොටම ඒකේ ඉඳලා ජෝඩුවක් එළියට ආවා. ඒ වෙද්දිත් ඒ දෙන්නා ආදරයෙන් වෙළිලා හිටියේ.
“අනේ හරිම රොමෑන්ටික්…. මේ දුවටයි පුතාටයි හැමදාම සතුටින් ඉන්න ලැබේවා” වැලන්ටයින් තුමා පුරුදු විදිහට ආශිර්වාද කළා. ඒත් ඒ දෙන්නවම නිකන් දැකලා පුරුදුයි පුරුදුයි වගේ. මේ දෙන්නම තමන්ගේ ෆ්‍රෙන්ඩ් ලිස්ට් එකේ ඉන්නවා කියලා එතකොටයි ශාන්ත වැලන්ටයින් තුමාට කල්පනා වුණේ. එතුමා තකහනියක් දෙන්නගේ ප්‍රොෆයිල්වලට ගිහින් බැලුවා.
ආදරවන්තයා එයාගේ ප්‍රොෆයිල් පික්චර් එකට දාලා තිබ්බේ ෆැමිලි පොටෝ එකක්. එයයි, බිරිඳයි දරුවෝ දෙන්නෙකුයි.
ඊටත් යටින් මෙහෙම තිබ්බා.
“පොඩි දුවගේ සිනා වැලයි
පොඩි පුතුගේ කතා පෙලයි,
ප්‍රිය බිරිඳගේ සෙනේ විලයි
මගේ නිවන මගේ පැල්පතයි…”
දැන් ශාන්ත වැලන්ටයින් තුමා ෆුල් කොන්ෆියුස්.
“ඒත් මේ පොටෝ එකේ ඉන්නේ එයත් එක්ක රූම් එකේ ඉඳලා එළියට ආපු කෙල්ල නෙමෙයිනේ” වැලන්ටයින් තුමාට හදිසියෙම කල්පනා වුණා. වැලන්ටයින් තුමා කෝකටත් කියාල ඒ කෙල්ලගේ ප්‍රොෆයිල් එකට ගියා.
“යෝනිකා රසාංජලී” කෙල්ලගේ නම තිබ්බේ ඒ විදිහට.
“මොන ජොබ් අලේ, මම තාම සූටිනේ… මෙහෙම හිටියට ඉතිං අම්මගේ හුරතලේ…තිපි තිප් පෙලේතියක් තමා” යටින් ඒ වගේ හැඳින්වීමක් තිබ්බා.
ශාන්ත වැලන්ටයින් තුමාට නිකන් ඔලුව තෝන්තු වේගෙන එනවා වගේ දැනුණා. එතුමා හිටි තැනම ඉඳගත්තා. අපරාදේ එයාර්පෝට් එකේ එකාට ගෙවපු රුපියල් 5000 කොල ටික. ඒ සල්ලි හෝටලයට ගෙවලා නිරෝධායනය වෙලා ආපහු රෝමයට ගියා නම් මීට වඩා හොඳයි. එතුමට හිතුණා…
බොහෝම අමාරුවෙන් නැගිට ගත්තු ශාන්ත වැලන්ටයින් තුමා කරේ එල්ල ගෙන තිබ්බ රතු රෝසමල් පුරවපු ට්‍රැවලින් බෑග් එකක ළඟ තිබ්බා කුණු බක්කියකට දාලා ඔලුව හැරුණු අතේ යන්න ගියා.
– අනිල් කරැණාරත්න –