ටයිසන් අප දමා ගොස් වසර දහයක් ගත වී ඇතත්, අපි තවම ඔහු ගැන කතා කිරීම නවත්වා නැත. මට අද අපේ ඒ හුරතලා ගැන ලියන්න වාඩි වෙන්න සිතුනේ, උගේ විනාසකාරී ක්රියාවන්වලට ඒ දවස් වලට තරහ ගියත් ඒවා දැන් සුන්දර මතකයන් බවට පත්වී ඇති නිසයි.
නිම්මි හලාවත වැඩ කරමින් හිටි කාලයේ මම ඩැනී සමග කොලඹ හිටියේ. ඩැනීට මාස තුනක් පමන ඇති මේ සිද්දිය වුනු දවසේ. එයාට උණ ගැනිලා තිබුනු නිසා මම නිම්මිට කතා කරලා ඒ ගැන කිව්වම, බබාගෙ උෂ්නත්වය නිතරම චෙක් කරලා බලන්න කියලා එයා උපදෙස් දුන්නා. රෑ තිස්සෙ නැගිටලා බලනවට වඩා ලේසියි නේ කියලා බබාව පපුව උඩ තියාගෙන නිදා ගත්තා, එයාට උණ වැඩි උනොත් මට දැනෙන නිසා. එදා ඒකට පුරුදු වුනු ඩැනී අවුරුදු තුනක් වෙනතුරු නිදා ගත්තේ මගෙ පපුව උඩයි. ඒ නිසා නම් නෙවෙයි ඉතින් අපිට තව ලමයි නැත්තේ.
ඩැනී ඉපදෙන්න ඉන්න කොට ලංකාවෙදියි, මෙහෙ ඇවිල්ලා ඩැනී අවුරුද්ද උනාමයි අපි ලස්සන කෙලි කාමර එයා වෙනුවෙන් හැදුවත් එයා නෙවෙයි ඒ කාමරවල නිදා ගත්තේ. මමයි නිම්මියි එකිනෙකාට බැන ගනිමින් ‘ඔයා තමයි බබා නරක් කරන්නේ, අඬපු ගමන් ගිහිල්ලා ගේනවා ඇඳට’ කියමින්, බබා අඬපු ගමන්ම දෙන්නා සැරින් සැරේ එයාව කොට් එකෙන් උස්සලා අපේ ඇඳට ගෙනාවා.
කතා කරන්න පුලුවන් වුනු ගමන් ‘මම මැද ඉන්න එක්කෙනා’’ කිව්වා විතරක් නෙවෙයි නිම්මි මගෙ ලඟට ආවත් ‘මේ මගේ ඩැඩී, ඔයා යන්න ඔයාගෙ ඩැඩී ලඟට’ කියන්න ගත්තා.
ඉතින් අපි දන්න උප්පරවැටි සේරම දැම්මා, ආසයි කිව්ව සොෆ්ට් ටෝයිස්, පොඩි ටීවි එකක්, සින්දු අහන්න ස්ටීරියො එකක් ආදීය ඒ කාමරේ පිරෙව්වා. ඒත් කෙල්ල නෙවෙයි ඒකෙ නිදා ගත්තේ. ඒ දවස්වල එයාගෙ හොඳම යාලුවා එමලි ආවම දෙන්නා එක්ක එයාගෙ කාමරේ නිදා ගන්න යනවා. රෑ එමලිට නින්ද ගියාම ඩැනී හොරෙන් ඇවිල්ලා අපේ ඇඳට පනිනවා, මෙන්න ටික වෙලාවකින් එමලිත් ඇවිල්ලා අපේ ඇඳට පනිනවා.
අවුරුදු පහේදි විතර කිව්වා‘’මට බලු පැටියෙක් අරන් දෙන්න, එතකොට මම කාමරේ එයා එක්ක නිදා ගන්නව’’ කියලා.
‘ඔයා තවම පොඩියි බල්ලෙක්ව බලා ගන්න. අවුරුදු දහය වුනාම බල්ලෙක් අරන් දෙන්නම්’ කියලා බල්ලා ඕන කියපු කතාව එතනින්ම ඉවර කරලා දැම්මා.
නිම්මිට මෙල්බර්න් යන්න වුනා වැඩි දුර අධ්යාපනය සඳහා රෝයල් මෙල්බර්න් රෝහලේ, ඉතින් අපේ කැන්බරා ගෙදර කුලියට දීලා, අපි එහෙන් කුලියට ගෙයක් අරගෙන මෙල්බර්න් පදිංචියට ගියා. මෙල්බර්න් හොඳ පාසල් තියෙන්නෙ කියලා ග්ලෙන් වේවර්ලි පැත්තෙන් තමයි අමාරුවෙන් ගෙයක් හොයා ගත්තේ.
මේ අතර තුරේදී තමයි ඩැනීට අවුරුදු දහය ලැබුවේ. උපන් දිනේට මොනවද ඕන කියලා ඇහුවම, එයාගෙ පිලිතුර වුනේ
‘ඇයි ඔයාලා පොරොන්දු වුනේ බලු පැටියෙක් අරන් දෙනවා කියල’’
කිව්වම අපිට කියා ගන්න දෙයක් නැතුව ඉඳලා, පස්සෙ මට මතක් වෙලා
‘අනේ පැටියො, මේ කුලී ගෙයක් නේ. බල්ලො පූසො තියා ගන්නෙ නැහැ කියලයි අපේ කොන්ත්රාත්තුවේ තියෙන්නෙ’
කියලා වැඩේ ෂේප් කර ගත්තා.
එයින් මාස දෙක තුනකට පසුව මගේ යාලුවා මයිකල් සති අන්තයේ අපේ ගෙදර ආපු වෙලාවේ නිම්මියි, ඩැනියි ඉස්සරහ ඇහුවේ මිනිහගෙ බර්ගර් ඇක්සන්ට් එකෙන්,
‘මචං, උඹලට බල්ලක් ඕන ද’ කියා. (බල්ලෙක් නෙවෙයි)
‘සොරි මයිකල්, මේක කුලියට ඉන්න ගෙයක්. පෙට්ස්ලා තහනම්’ කියා චැප්ටර් එක ක්ලෝස් කරලා දාන්න හැදුවත් මයිකල් අත හරින්නෙ නැහැ
‘ෂෝක් බල්ලක් බං, උඹ දැක්කොත් ආස හිතෙයි ’’
ඩැනී අපේ කතාවේ මැදට පැන
‘ප්ලීස් ඩැඩී, ප්ලීස්’
උඩ පැන පැන කියන විට නිම්මි නිෂෙද බලය පාවිච්චි කරමින්
‘මයිකල්, කිව්වෙ දැන් මෙහේ කන්ට්රෑක්ට් එකේ හැටියට පෙට්ස්ලා බෑ කියල. බල්ලා ෂෝක් නම් ඔයා තියා ගන්නකෝ’’
කිව්වේ ඇස් රෝල් කරමින්.
‘නිම්මි, මම එයාව අපේ ගෙදර තමයි තියා ගෙන හිටියේ. මේකයි කතාව. එයා අල්ලපු ගෙදර බල්ලා, හැබැයි ඌට පොඩ්ඩක්වත් අයිතිකාරයො ආදරේ නැහැ, වත්තේ ඉන්නේ. උගේ වැඩේ බුරන එක පාලු නිසාද කොහේ ද. මම වැට ලඟට ගියාම ඌ දූවලා ඇවිල්ලා වලිගෙ වනනවා බිරිල්ල නවත්තලා. මම ඉතින් ඌව පොඩ්ඩක් හුරතල් කරනවා එතකොට ඒකා සතුටට දුවනවා උගේ බෝලෙ අරගෙන එනවා සෙල්ලම් කරමුද කියලා අහනවා වගේ.
දවසක් වැඩ ඇරිලා ගෙදර එන්න පරක්කු වුනා, ඉතින් කාර් එකෙන් බැස්සා විතරයි කලුවරේ මොකෙක්ද එකෙක් ඇඟට කඩන් පැන්නා. මම මාර බයවෙලා බලන කොට අර බල්ලා. ඌ වැට කඩාගෙන ඇවිල්ලා මාව හොයා ගෙන, මම එනතුරු මග බලාගෙන ඉඳලා තියෙන්නේ. මම ඉතින් ගේ ඇතුලට අරගෙන ඌව නාවලා එහෙම හොඳට බලා ගත්තා. අල්ලපු ගෙදර උන්ට බල්ලා ගියා කියලා ගානකුත් නෑ.
මගේ ගෙදර ඉන්න අනික් ග්රීක් කාරයා කියනවා බල්ලා ගේ ඇතුලට ගන්න එපා කියලා. ඕකට අපි දෙන්නා බැන ගත්තම බල්ලට තේරිලා වගේ අරූට බුරා ගෙන ගියා. ඌ බය වෙලා කෝල් කලා සත්තු බලාගන්න ආයතනයට (RSPCA) අයිතිකාරයෙක් නැති බල්ලෙක් ඉන්නවා කියලා. ඒ පාර අනේ ඒ කට්ටිය බල්ලව අරන් ගියා.
ඌ පිට්බුල් මිශ්ර නිසා ඒ පෙනුම තියෙනවා, පිට්බුල් ලා භයානක ජාතියක් නිසා අයිතිකාරයා දවස් තුනකින් ආවේ නැතොත්, ඊට පස්සෙ ඌව බාර ගන්න කෙනෙක් නැත්නම් ඌව මරා දාන වලු. මගේ ගෙදර ගෙනි යන්න බෑ අර ග්රීක් එකා නිසා, ගර්ල්ෆ්රෙන්ඩ් මේ දවස්වල මෙල්බර්න් නැහැ එන්නේ සති දෙකකින්, ඒ සති දෙකේ හරි මෙහේ තියා ගන්න ප්ලීස්’ කිව්වෙ අඬන්න ලං වෙලා.
ඒ වුනත් අපි අපේ ගිවිසුම කඩලා බල්ලව බාර ගන්න සූදානම් වුනේ නෑ. මයිකල් දුකින් යන්න ගියා. ඊ ලඟ දවසෙ උදේ ආයේ මයිකල් කතා කරලා
‘මචං හෙට බල්ලව මරන බව දන්න නිසා, මට නින්ද ගියේ නැහැ. බීච් එකේ කාර් එක නතර කරගෙන එලිවෙන කම් ඇඬුවා, මම නිසානේ ඌ මැරෙන්නෙ. මාව හොයා ගෙන ආවෙ නැත්නම් ඌට ඒ දේ වෙන්නෙ නැහැ නේ’ කිය කියා අඬනවා.
මට තවත් අහගෙන ඉන්න බැරි කමට
‘හරි අරං වරෙන් බල්ලා. හැබැයි සති දෙකයි, ඕකේ. මේක කරන්නෙ ඌව මරනවා කියලා උඹ මැරෙන්න යන නිසා‘’
මම කිව්ව්ම
‘තැන්ක් යූ මචං, තැන්ක් යූ’’ කියලා කෝල් එක කට් කලා.
අපේ කතාව අහං හිටපු නිම්මිත් කිව්වේ
‘ඔව් අනේ මට ඊයෙම කියන්න හිතුනා බල්ලා ගේන්න කියල’’
මා සමග මොකක් හරි එකකට කලාතුරකින් වාද නොකර නිම්මි එකඟ වූ අවස්ථාවක් නිසා, එය මට ලේසියෙන් අමතක නොවෙයි.
පසු දින මයිකල් සහ බල්ලා එනතුරු ඩැනී නොඉවසිල්ලෙන් බලා සිටින ගෙන ඉන්න අතරේ, දොරේ බෙල් එක වැදුනු විට දොර විවුර්ත කල ගමන් මම දැක්කේ ඇඟේ මඩ නා ගෙන ලේ පෙරාගෙන ඉන්න මයිකලුත් හැඩි දැඩි පිට්බුල් කෙනෙකුත් ය. එය භයානක දර්ශනයක් විය.
‘අඩෝ බල්ලා උඹව ඇටැක් කරා ද?’ බය වුනු මට ඇසුනේ නිරායාසයෙන්.
‘නැහැ බං, මාව දැක්ක සතුටට ඌ දූවලා ඇවිල්ලා මගෙ ඇඟට පැන්නා මම වැටුනා. ඌ හිතුවේ සෙල්ලමක් කියලා. ඊට පස්සෙ ඌව පැත්තටකට තල්ලු කරාම ආයෙ ඇඟට පැන්නා. මගෙ ඇඟ හැම තැනම හීරිලා.’
කියා සිනා සුනේ ය.
‘මොකක් ද මුගේ නම?’
‘ටයිසන්’
‘නියම ගැලපෙන නම. මයික් ටයිසන් වගේ පෙනුම. මොකෝ බං මුගේ මූනේ කැලැල්. මාර කරා ලුක් එකක් නේ තියෙන්නෙ. බලු ෆයිට් වලට ගිහිල්ල ද?
‘නෑ බං මුගේ වැඩේ වැට කඩා ගෙන එලියට යන එක නේ. ඒවට හීරිල’’
මම බල්ලව ටෙස්ට් කිරීමට
‘ටයිසන්, මෙහෙ එන්න’
කී විට, ඌ වලිගය වනමින් ඇවිත් මාව ලෙව කෑ විට ඌ කීකරු බල්ලෙක් බව වැටහින.
ඉන් පසු‘’වාඩි වෙන්න’ කිව්වම වාඩි වුනේ ය.
ඌ ටෙස්ට් එක පාස්, ඒත් වැඩිය අල්ලන්න බය හිතුනේ පිට්බුල් ඇටෑක් ටෙලිවිෂනයෙන් දැක තිබූ නිසයි.
මයිකල් යන්න ලෑස්ති වී ටයිසන්ව බදා ගෙන හාද්දක් දී‘’බායි ටයිසන්’ කී විට ඌත් මයිකල් පසු පස යන්නට විය. මයිකල් ඌව ඇතුලට තල්ලු කර විට මම දොරවසා මයිකල් සමග ඔහුගේ වාහනය ලඟට ගොස්, ඔහු ගියාට පසු ගේ ඇතුලට යන්නට දොර ඇරිය විට ටයිසන් එලියට පැන දුවන්නට විය. අපි හිතුවේ මයිකල් හොයා ගෙන යනවා ඇති කියලයි.
ඉතින් ඩැනීත් මමත් දැන් ටයිසන් පස්සෙ දුවනවා, ටයිසන් දුවන එක අත හැරලා ඇවිදිනවා, ඒත් අපි දෙන්නට බයයි උගේ කොලර් එකෙන් ඇදලා ආපහු ගෙදර එක්ක ගෙන යන්න. මූ අපේ ලේන් එකෙන් මහ පාරට ගිහිල්ලා, පාර ක්රොස් කලේ පාර දිහා නොබලා. හොඳ වෙලාවට කාර් දෙකක් නවත්ත ගත්තෙ, නැත්නම් එදාම හැප්පිල මැරෙන්නේ. ටයිසන් ඔහොම ගිහිල්ලා පෙට්රල් ස්ටේෂන් එකකට ගියාම, ලොකු ට්රක් එකකට ඩීසල් ගගහා හිටපු ට්රක් ඩ්රයිවර් කෙනෙක් ටයිසන්ට කෑ ගැහුවම, ටයිසන් හැරිලා මගේ ලඟට දුවගෙන ආවා. ඒ කියන්නෙ ඌට මාව විස්වාසයි කියපු සලකුනක් වගේ කියලා හිතලා කොලර් එකෙන් අල්ලලා ඩැනීගෙ අතේ තිබුනි ලීෂ් එක ඒකට හයි කරලා ඌව ආපහු ගෙදර ගෙනාවා.
අපි තීරණය කලේ, අපි රෙදි හෝදන සහ වේලන කාමරයේ කාපට් කෑල්ලක් දමා එහි ටයිසන්ගේ දවල් කාලයේ ගත කරන ස්ථානය බවටත්, ගරාජයේ දමා තිබූ කාපට් එක ඌ රෑට නිදා ගන්න ස්ථානය බවටත් පත් කිරීමටයි. එයාගෙ දවල් කාලයේ කාමරය අපේ ටීවි බලන කාමරයට යාබදව තිබුනු නිසා, ටයිසන් මුලු කාලයේම ඒ කාමරයේ දොර ලඟට වී ඔලුව ටීවී කමරයට දමා අපේ දිහා ඇසිපිය නොසොලා බලා ඉන්න අන්දම දුටු අපගේ හිත උනු වී, එයාගේ කාපට් එක අපේ සෝපාව අසලින් දැමූ විට, ඌට අප කාගේ හෝ කකුල්වල ගෑවි ගෑවි ඉන්නත්, ඒවා ලෙවකන්නටත් පටන් ගත්තේ ආදරෙන් බව තේරුනා.
රෑට මම
‘ටයිසන්, නිදා ගන්න වෙලාව හරි’
කී විට, ටයිසන් අමාරුවෙන් මෙන් නැගිට හෙමින් හෙමින් මගේ දිහා බල බලා දොරෙන් එලියට ගියේ නිකමට හරි මම තීරණය වෙනස් කරාවි යන බලාපොරොත්තුවෙන්.
මම ඩැනී දිහා බලා
‘ඩැනී බලන්න ටයිසන් කොච්චර කීකරු ද කියලා. මම කිව්ව ගමන් වචනයක්වත් නොකියා නැගිටලා ගියා. ඔයාට ටීවී ඕෆ් කරලා පාඩම් කරන්න කිව්වම ඔයා කොච්චර දේවල් කියනවද ඒක නොකරන්න’
කිව්වෙ ඩැනී තරහ ගැස්සීමට
‘ඩැඩී, ටයිසන් බල්ලෙක්, මම කෙල්ලක්. මමත් බල්ලෙක් වුනා නම් කතා නොකර ඉඳීවී‘’
කිව්වේ හිනා වෙමින්.
එලියට ගිය ටයිසන් අපි නිදා ගන්න යන තුරු වීදුරු දොරෙන් අප දෙස බලා සිටින අයුරුත් අපට දුක හිතෙන දර්ශනයක් විය. ඒ නිසා අපි අපේ තීරණය දවස් දෙක තුනකට පසු වෙනස් කොට, ගේ ඇතුලේම ඌට නිදා ගන්නට දුන්නේ ය. අපේ සෝපාව ලඟ කාපට් කෑල්ලේ වාඩි වී සිටිය යුතු ටයිසන් දවසක් මම ටීවි බලන්න යන විට සෝපාවේ ජයට වාඩි වී, මා දිහා බැලුවේ උඹලට වාඩි වෙන්න පුලුවන් නම් මට ඇයි බැරි වැනි ලුක් එකකිනි.
‘බහිනවා බහිනව’’ කියා සැර කලාට පසු ඔහු කිසි දවසක ආයේ සෝපාවට නැග්ගෙ නැත. ඒ අතරම කුස්සියට යෑම තහනම් කල පසු, කුස්සියේ දොරක් නොතිබුනත් නොපෙනෙන රේඛාවකින් එහාට නොයන්නත් ඔහු දැන ගත්තේ ය.
සති දෙකකින් මයිකල් ටයිසන් ගෙන යන්නට පැමිනි විට, අපි තුන් දෙනාම එකාසේ ටයිසන් ගෙන යන්න දෙන්න බැරි බව පැවසූ විට
‘ඔව්, ඔයාලා මට වඩා ඌව ආදරෙන් බලා ගනී වි. ඌත් වඩා සතුටු වෙයි පවුලක් එක්ක ඉන්න’
කිව්වෙ අප සමග එකඟ වෙමින්.
එදා සිට ඩැනී එයාගෙ කාමරේ නිදා ගන්නට ගියත් බල්ලා ඇඳට ගැනීම තහනම් විය. එහෙත් පසු කාලයක ඩැනී කිව්වේ බය හිතුනු දවසට ඌව ඇඳට ගත් බවයි.
මම පසුව ගෙදර අයිතිකරුට කතා කොට ටයිසන් තබා ගැනීමට අවසර ලබා ගත්තාට පසු, ඔහු අපේ පවුලේ අලුත්ම සාමාජිකයා විය. අපි තුන් දෙනා තුරුලු වී ඉන්නවා නම් ඔහුත් ඒ අස්සටම ඒම මුලදි හිනාවට කරුනක් වුවත් පසුව එය සාමාන්ය දෙයක් බවට පත් විය.
ටයිසන් සුරතල් බල්ලෙක් මෙන්ම ඉතා විනාසකාරී බල්ලෙක් ද විය. අපි වැඩට හෝ වෙන ගමනක් ගොස්, ආපසු එන විට හැමදාම අපට අලාභ හානී කරන දෙයක් කර තිබුනි. අධි ශීතකරනයේ අධි ශීත කල ආහාරත්, වියලි ආහාර පෙට්ටිවල දමා ගරාජයේ තිබුනේ උවමනා වෙලාවට ගන්නයි. දවසක් එන විට ඒ පෙට්ට් කඩා පාස්ටා, හාල්, කරවල ආදිය ගරාජය පුරා වපුරා තිබුනි. ටයිසන් තමා වරදක් කල බව දන්නා නිසා, කකුල් හතර පන නැති වී බඩ ගාගෙන එනවිට මගෙ තරහා නිවී හිනා ගිය නිසා දඩුවමක් දීමට බැරි විය.
නමුත් මැස්සන් මදුරුවන් ග්රීෂ්ම කාලයේ ඒමෙන් වැලැක්වීමට ඇති දැල් දොර ටයිසන් කඩා එය ඇදගෙන ගොස් වත්ත පහල දමා තිබුනු දවසේ නම් මගේ ඉවසීම සීමාව පැන, කොස්සත් අරගෙන කෑ ගහගෙන යනවිට, ටයිසන් වෙව්ලා චූ ගිය බව දුටු මා කොස්ස විසි කර ඌව තුරුල් කරගත් පසු මගේ මූන ලෙව කෑවේ ආදරෙන්.
අපි පසුව බල්ලනගේ මනෝ චිකිත්සකයෙකුගෙන් ඒ ගැන ඇසූ විට, ඔහුට වෙන්වීමෙ සාංකාව (separation anxiety) එන නිසා ඔහු එසේ හැසිරෙන බව කියා, ගරාජයේ රේඩියෝව දමා යන ලෙස අවවාද කලේ ය. ඉන් පසු අපි එලියට යනවා නම්, රේඩියෝව දමා යන්නට පුරුදු වූ පසු විනාශකාරී වැඩ අඩු වුනත් සම්පූර්ණයෙන්ම නතර නොකලේ ය.
ඌට වෝක් කියන වචනය ඇහුනොත් පිස්සු වැටෙයි. මුලු දවසෙම තනියම වත්තේ ඉන්න ඌට පාරෙ ඇවිදීම මට ක්රිකට් මැච් එකකට යනව වගෙයි කියලයි ඩැනී කිව්වෙ. අපි ඌව කුලප්පු කිරීමට හිටපු අගමැති බොබ් හෝව්ක්, පෝක්, ටෝක් වගේ ඒ සමාන වචන කිව්වත් ඌ නිදා ගෙන හිටියත්, ඔලුව උස්සා කන් කෙලින් කර ගෙන අප දෙස බලා උගෙ ලීෂ් එක එල්ලල තියෙන තැනටත්, එලියට යන දොර ලඟටත් බුර බුරා දුවයි.
‘ටයිසන්, අපි කිව්වෙ රෑට පෝක් හදනවා කියලා. වෝක් නෙවෙයි’’ කියලා අපි හිනා වුනාම ඔලුවට පහතට කඩා දාගෙන දුකෙන් ඇවිත් වාඩිවෙන අයුරු දකින අපේ පපු හෝස් ගා ගෙන දවාගෙන ගිය නිසා, අන්තිමට අපිට ඌව ඇවිදින්නට එක්කගෙන යාමට සිදු විය.
ටයිසන් නාන්නට ප්රිය නැත. අපි ටයිසන් නෑව්වේ ෂවර් කියුබිකල් එක ඇතුලේයි. ඌව බාත් රූම් එකේ දොර ලඟට එක්ක ගෙන එන විට, ටයිසන් හෑන්ඩ් බ්රේක් ගසයි. එවිට මොනව කලත් ඌ හෑන්ඩ් බ්රේක් බුරුල් නොකර යි. එවිට ගෙදර සිටින ටයිසන් හැර අනෙක් එකම පිරිමියා වූ මට ඒ කිලො තිස් දෙකේ බලු රාජයා උස්සන්නට සිදු විය. ඌගෙ ඇඟට වතුර වැටුනු විට ගල් ගැසෙන නිසා, අපිට කිසි කරදරයක් නැතිව ඌව නාවන්නට හැකි විය. හෙයා ඩ්රයර් එකේ සද්දයට බය නිසා, එය පාවිච්චි කරන විට ඔහුව වේලීමට යන්තම් ශබ්දයක් දැම්මත් මම සැර කල විට ආයෙ ගල් ගැහෙන විට, නිම්මි මට කෑ ගසන්නේ‘’වැඩිය කෑ ගහන්න එපා, මට තමයි ඌට චූ ගියොත් පොලව හෝදන්න වෙන්නෙත්’ කියලයි.
මමත් ඩැනීත් පූල් එකේ පීනන විට බුර බුරා පූල් එක වටේ දුවන ටයිසන්, අපි එක කොනකට ආ විට, දිවගෙන ඇවිත් ලෙව කන්නේ‘’අම්මෝ ඇති යන්තම් උඹලා ගිලුනේ නැහැ, මම බය වෙලා හිටියේ උඹලා ගිලෙන්න යනව කියල හිතලා. දන්නවනේ මම වතුරට ආසත් නැහැ, පීනන්න දන්නෙ නැහැ’ කියල වගේ ලුක් එකක් මූනේ තියාගෙන. ආයෙත් අපි වතුරට පැන්නම ආයෙත් එම සෙල්ලමමයි.
අල්ලපු ගෙදර පූස් තඩියා ටයිසන්ගේ පරම හතුරා විය. අපි ටයිසන් සමග ඇවිදින්න යන විට, ඌ ටයිසන්ට තග දමන්නේ ටයිසන්ට කටකලියාවක් දමා තිබෙන නිසා හපන්න බැරි බව දැන ගෙන වගෙයි. පූසා එක එක සද්ද දාලා, අතින් හූරන්න වගේ පාට් දාන කොට නම් ටයිසන්ට මල පැන අපිවත් ඇදගෙන ඌ ලඟට යන විට, පූසා තාප්පය උඩින් පැන අතුරු දහන් වෙයි. මේ සෙල්ලම දන්න අපි පූසා දැක්කොත් පාරෙ අනික් පැත්තට යනවිට, පුසා නියම තග් කෙනෙක් සේ පාර හරහා පැන අප දෙසට ඇවිත් උගෙ සෙල්ලම දාන්නේ ටයිසන්ට විතරක් නෙවෙයි මගේ ඉවසීමේ සීමාවත් පන්නවමින්.
අපි කෑ ගහගෙන යන විට ඌ පාර පැනලා තාප්පෙනුත් පැන ගියේ හිනා වෙමින් වෙන්නැති. නමුත් අපි මෙල්බර්න් අතහැර යලින් කැන්බරා එන දවසේ, ඒ පූසා අපේ පිහිනුම් තටාකය අයිනේ මැරී සිටීම ගැන අපි ටයිසන්ගෙන් ඇසුවේත් නැත, ඔහු අපට ඒ ගැන කීවේත් නැත. අයිතිකරුවන්ට පූසාගෙ දේහය දීමට තරම හිතේ හයියක් නොතිබුනු නිසා, අපි ඌව වලලා අවසාන ගෞරවය පුද කැන්බරා ආවෙමු.
නිම්මි ටයිසන් වෙනුවෙන් මින්ස් මීට් සමග එලවලු දමා සතියකට ඇතිවෙන්න කෑම ඉරිදා උයයි. ඌට එය ලැබෙන්නෙ උදේ කෑමට. එය ඉතා ආසාවෙන් කන ටයිසන්ට කොච්චර දුන්නත් කන්න පුලුවන්, අනෙක් බල්ලො වගේ ම. හවසට අපි උයලා කන්න ලෑස්ති වෙන කොට, ටයිසන් මගේ මූන දිහා බලාගෙන ඉන්න හැටි දුටුවම මට ඌට නොදී කන්නට බැරි නිසා, උගේ පිඟාන තියෙන කාමරේට වියලි කෑම දමා‘’ටයිසන්, රෑ කෑම ලෑස්තිය’’ කිය කෑ ගැසූ විට දුවගෙන ආවත් මම ‘කන්න’ කියන තුරු ඔහු කෑවේ නැත. කෑම පිඟානට මූන දා නැවත මගේ දිහා බලන්නේ
‘උඹ විහිලු කරන්වද (are you kidding?’)
ලුක් එකෙන්.
‘උඹල සුවඳ ගහන කෑම කන ගමන් මට මේ වේලපු කෑම ද දෙන්නෙ’,
ආයෙත් මම ‘කන්න’ කිව්වම අකමැත්තෙන් කා ගෙන කාගෙන යයි.
ඒ කෑම වල සුව්ඳක් නැති නිසා, මම නිම්මිට හොරෙන් බිත්තරයක් කඩලා දැම්මම සතුටෙන් කෑවත්, ඒක නිම්මි දැකපු වෙලාවට ‘ඌට ඕනවට වඩා ප්රෝටීන් දීලා අක්මාවෙ ලෙඩක් ආවොත් ඔයාගෙ වරද’ කියා මට කියා ඇයත් හොරෙන් ඌට බිත්තරයක් දී පසුව ‘පව් නේ, කොල්ලට ඩ්රයි ෆුඩ් විතරක්ම කන්න කැමති නෑ නේ’’ කියයි.
ඩැනී සමග නිදා ගන්න යන ටයිසන්, ගොරව ගොරවා නිදා ගන්නේ හරියටම ශීතල කාලයේ උනුසුම එන කවුලුව (අවුට්ලට් එක) උඩයි. ඌට රස්නෙ වැඩි වුනාම ඩැනීව ඇහැරවයි. ඌ එතකොට හොට් ඩෝග් කෙනෙකි කියලා ඩැනී ඌට විහිලු කරයි. උගේ පෙනුම රෞද්ර උනත්, ඩැනී උගේ නියපොතු රතු පාටින් රෝස පාටින් පාට කොට, බැන්ඩෙනා එකක් මූන වටා බැඳ අව් කන්නාඩි දා ෆොටො ගන්න ඔහු ඉඩ දුන්නෙ මොඩල් කෙනෙක් වගෙයි. ඩැනී සමහර දවස්වලට බය උනාම එයාගෙ බ්ලැන්කට් එකත් අරන් අපේ ඇඳට එනවිට ටයිසනුත් ඇය පස්සෙ එයි. මමයි ටයිසනුයි ගොරවන නිසා ගැහැනු පක්ෂයට නිදා ගැනීම අපහසු වූ විට ඩැනී නිම්මිට කතා කොට කියා තියෙන්නේ
‘අම්මි, ඔයා තාත්තව ඇහැරවන්න, මම ටයිසන් ඇහැරවන්නම්’ කියලයි. ටයිසන් සද්දෙන් පිට කරන වාතය කඩල තම්බන සුවඳ බව අපි අවිවාදයෙන් පිලිගත්තෙමු.
ටයිසන් උදෙ ඇහැරුනු ගමන්ම මාව සොයා ගෙන කාමරයට එයි. මම බාත් රූම් එකෙ විනාඩි තිහක් පමන අරගෙන කොන්ඩෙ හදන තුරු දොරෙන් එබී ගෙන මගෙ දිහා බලාගෙන හිඳ, ඉන් පසු වෝක් ඉන් රෝබ් එක ඇතුලේ මම ඇඳුම් අදින විට එතනට වී සිටියි, ඉන් පසු මගේ වලිගය මෙන් මම යන යන තැන මා පසු පස එයි. මම කෑම දී, ගරාජයට ගොස් පිඟානට වතුර පුරවා, කාපට් එක පෙන්නා වාඩි වෙන්න කිවූ විට වාඩි වී බලන්නෙත් අදවත් ගෙදර ඉන්න බැරිද කියලා අහනවා වගේ.
හවසට අපි ආවම කාර් එක ඩ්රයිව් වේ එකේ නවත්වා ගරාජ් එකේ දොර අරින විට එන සතුටට ටයිසන් වලිගය වන වනා ගරාජය මැදට වී සිටින නිසා, වාහනය ඇතුලට ගන්නට බැරි විට, ඩැනී හිනා වෙමින්
‘බලන්න අර මෝඩයා මැදට වෙලා ඉන්න හැටි’’
කියා වාහනයෙන් බැස්ස විට, ටයිසන් ඇය ලඟට දිව ආවේ ය. ඉන් පසු මම දොර අරින විට, අපි අතරින් ඉදිරියට එන ඔහු අපි සේරටම කලින් ගේ ඇතුලට පනින්නේ ආයේ එලියට දාලා දොර වහයි කියලා බයේ ද, නැත්නම් හොරු ඇතුලේ ඉන්නවද කියලා බලන්නද කියල අපි එකිනෙකාට කියා ගත්තත්, ටයිසන් ගැන දන්න නිසා එයින් පලමුවැන්න නියම හේතුව බව ස්ථිර වශයෙන්ම මම දනිමි.
පාසල ඇරී අපේ ගෙවල් ලඟ උන් ජයන්තගේ වාහනයෙන් ඔහුගේ ලමයි දෙන්නත් එක්ක ආ දවසට ටයිසන් කලින්ම ගේ ඇතුලට පැන ගනියි. මා වැඩ ඇරී ගෙදර ආ විට, ඩැනී‘’හායි ඩැඩ’’ කියා ටීවි එකෙන් ඇස් දෙක නොගනියි, ඒත් ටයිසන් මගෙ වලිගය නැවතත් මා පසු පසම ඇවිදින්නේ, මිනිහ එලියට එක්කගෙන යාවි යන බලාපොරොත්තුවෙන්. මම ඉතින් එයාගෙ බලාපොරොත්තු ඉෂ්ට කරමින් එයා සමග ගෙය ඉදිරිපිට ඇති කන්ද නගින්නේ මටත් එය හොඳ ව්යායාමයක් නිසයි.
අපි නිවාඩුවට ලංකාවට හෝ වෙන රටකට යන විට, ටයිසන්ව සුරතල් සතුන් බලා ගන්නා තැනක රඳවා ගියේ සතුටෙන් නොවෙයි. ඒත් අපි හොඳම care එක තිබෙන ස්ථාන සොයා, කම්මැලි කම යන්න සිංදු ටීවි තියෙන කාමරයක්, අමතර සෙල්ලම් කාලය දීමට වැඩි මුදලක් ගෙවා ගියේ අපේ හිත සනසා ගන්නයි. ඒ යන මුදලින් ඔහුට ටිකට් එකක් අරන් ලංකාවට ගෙනෙන්නත් තිබුනා. අපි ආපහු ඔහු ගේන්න ගියාම ටයිසන් දුවගෙන ඇවිත් මගෙ ඇඟට පැන්නත්, කාර් එකේ ගෙදරට එනතුරුම අහක බලාගෙන හිටියේ මාත් එක්ක තරහවෙලා වගෙයි.
මම ‘ටයිසන්’ කියා කතා කලාම
‘දැන් බොරුවට ටයිසන් කියලා ෂේප් වෙන්න එනවා, මාසයක් විතර මාව දාලා ගිහිල්ලා’
ලුක් එක දාලා නැවත අහක බලා ගත්තේ දුකෙන් වෙන්නැති.
පොඩි ලමයි ආ විට, ඔවුන් ටයිසන්ගෙ කනෙන් වලිගයෙන් අදින නිසා, පොඩි ලමයි ගෙදර එන විට ම ටයිසන් ගොස් ඩැනීගෙ කාමරයෙ හැංගුනේ අර ලමයින්ගෙන් බේරීමටයි. අපේ ගෙදර පාටි තිබුනු විට, මම නිම්මිත් එක්ක ඩාන්ස් කරන විට ඔහුටත් ඩාන්ස් කරන්න අවශ්ය විය. ඉස්සරහ අත් දෙක අල්ලා ගත් විට, පස්සෙ කකුල් දෙකෙන් එහාට මෙහාට යමින් මා සමග නටපු නිසා ඔහු ‘පාටි ඇනිමල්’ කෙනෙක් බව කවුරුත් කීවෝ ය..
අපේ ඒ කාලෙ ගෙදර ඉස්සරහ සාලය, කෑම කාමරය පසු කර ආ විට පඩි තුනක් බැස්ස විටයි ෆැමිලි රූම් එක තිබුනේ. එතන තමයි ටීවි, මියුසික් ආදිය තිබුනේ. ටයිසන් දුව ගෙන ඇවිත් පඩි තුන බහින්නෙ නැතිව පැන්න විට, බ්රේක් ගසන්නට නොහැකි වී ලිස්සා ගොස් හීටරයේ වැදී මුන තුවාල කර ගත් වාර අනන්තයි.
දවසක් මමයි ඩැනියි ටයිසන් පාක් එකට එක්කගෙන ගියාම, කවුරුවත් හිටපු නැති නිසා උගේ කටකලියාව ගලවලා ඌත් එක්ක සෙල්ලම් කරන්න ගත්තා. කෝටුවක් බෝලයක් විසි කරාම දූවලා ගිහිල්ලා ගෙනාවට ආපහු දෙන්න දන්නෙ නැති මෝඩයෙක් ඌ. ඉතින් බලෙන් තමයි ආයෙ උගෙ කටෙන් ගන්න ඕන. ඉතින් ඔහොම සෙල්ලම් කර කර ඉන්න කොට, ලස්සන ගෝල්ඩන් රිට්රිවර් බැල්ලියෙක් ආවා කොහේද ඉඳලා. ටයිසන්ව ගේන කොටම ඩිසෙක්ස් කරල තිබුනෙ පිට්බුල්ලව බෝ කරන්න නොදෙන්න. දැන් ටයිසන් ඒ බලු කෙල්ලත් එක්ක සෙල්ලම, ඔය අතරේ ඒ බලු කෙල්ලගෙ අයිති නෝනත් ආවා. ටික වෙලාවකින් ටයිසන් අර වැඩේට සෙට් වුනා, ඩැනීට ලැජ්ජ හිතිලා ටයිසන්ගෙ පස්සට ගැහුවම
‘උඹ පාදඩයෙක් (you pervert)’
කියලා ටයිසන් මගෙ ලඟට දුව ගෙන ආවා. මම ඉතින් ලීෂ් එක දාලා අර ගැහැනු එක්කෙනා ලඟට ගිහිල්ලා
‘සොරි වෙච්ච දේට’
‘ගනන් ගන්න එපා. මෙයා තරුණ බල්ලෙක් නෙ. හරි හැන්ඩ්සම් බල්ලෙක්, මම බැල්ලියෙක් උනා නම් මෙයාව ඩේට් කරනව’’
කියා හිනා වෙලා
‘මෙයා ගෙ නම මොකක් ද?’
‘ටයිසන්’
‘ආහ් පුදුමයක් ය, මෙයා මගේ කෙල්ලව දූෂනය කරන්න ගිය එක’ (මයික් ටයිසන්ගෙ රේප් කේසස් ගැන) කියා නැවත්ත හිනා වී අපෙන් සමු ගත්තා ය.
වසර ගනනාවකට පසු ඩැනී මට කිව්වෙ
‘ඩැඩී, දැන් ටයිසන්ට මම පහු කර ගෙන දුවන්න බැහැ නේ ’’ යනුවෙන්.
එදා මට තේරුනෙ ඔහු වයසට ගොස් ඇති බව. වෙනදා අර කලින් කිවූ පඩි තුනෙන් පැනපු ටයිසන්, අමාරුවෙන් කාලයක් බැස පසුව එතනට වී කෙඳිරිගාන්නෙ මට කිය ඔහුව උස්සා පහලට ගන්න ලෙස කියමින් වගේ. මම එසේ කිව්විට එලියට ගොස් ඔහුගේ ශරීර කෘත්ය කලත් පසුව ඔහුව ඔහුගේ සීට් එකේම එය කරන්නට ගත්තේ ආතරයිටීස් වැඩිවීම නිසයි. මට ඔහුව උස්සා ගෙන ගොස් නාවන්නට උනේ, වැඩ ඇරී ගෙදර ආ විට ටයිසන් ජරා ගොඩේ ඉන්නවා බලා ගෙන ඉන්න බැරි නිසයි. ඔහුට සීතල නිසා රත් කල හැකි හීටරයක් සමග ඩෝග් බෙඩ් එකක් ගෙනා නමුත් රෑට කෙඳිරි ගෑවේ ඇඟේ අමාරුව නිසයි.
දවසක තාත්තා සමග ස්කයිප් හරහා කතා කරන කොට මම ඔහුට කිව්වේ
‘තාත්තට මට කරන්න බැරි වුනු දේවල් ටයිසන්ට කරනව’’
කියා. ඔහුගේ පිලිතුර වුනේ
‘ඒකත් ලොකු පිනක් නේ පුතේ‘’ කියලයි.
දිගට හරහට වේදනා නාෂක දීමෙන් මම හිතන්නේ ඔහුගේ අක්මාවත් ලෙඩ වෙන්න ඇති. මේ වෙනවිට ඩැනී ඔහුගේ භාර කාරයා වී තිබුනු නිසා, ඇය ඔහුව රැගෙන පශු වයිද්යවරයා හමු වීමට ගියත්, ලෙඩාගෙ විස්තර සහ දොස්තර කිවූ කිසි දෙයක් ඩැනී අපට කීවේ නැත. වරක් මම ටයිසන් අරගෙන ගිය විට, ටයිසන් බොහෝම දුකක් විඳින නිසා ඉන්ජෙක්ෂන් එකක් දී ඔහුගේ ජීවිතය අවසන් කරන ඔහුට කරන සාධාරනයක් බව මාස ගානක් ඩැනීට කිව්බව දොස්තර පැවසූ විට පුදුමයට පත් වුනෙමි.
එදා රෑ කෑම මේසයේදී මම ඩැනීගෙන් ප්රශ්න කල විට ඇයි අපට ඒ ගැන නොකීවේ
‘කියන්නෙ මොකටද? අපි කවදාවත් ටයිසන්ට ඒක කරන්නෙ නැති නිසා‘’
ඇයගෙ පිලිතුර විය.
‘ඒ ගැන හිතලා තීරණය කරන්නෙ අපි නේ‘’
කියා මම කිව්වම
‘දැන් ඔයාලා නාකි උනාමත් මම එහෙනම් ඔයාලවත් පුට් ඩව්න් කරන එක ගැන හිතන්න වෙනවා’
කිව්වේ අඬ අඬා. එතනින් කතාව නැවතුනත් සති ගනනක් රෑ තිස්සේ ඔහු නැගූ කෙඳිරිය දරා ගන්න තරම් අපහසු විය.
අපි අලුත් ගෙදරට ඇවිත් දවස් දහයකින් පමන ඔහු අප අතහැර ගියේ අපව දවස් ගනනක් හැඬූ කඳුලෙන් තබමිනි. අපි කොතරම් බල්ලන්ට කැමති උනත් ටයිසන්ගෙ වියෝව නිසා අලුත් හුරතලෙකු ගැනීමට තවමත් හිත හදා ගැනීමට නොහැකි විය, ඩැනී මගේ පසුගිය උපන් දිනයට බල්ලෙකු අරන් දීමට සැරසුනත්, නිම්මි කිව්වෙ ඇයට තව කාලය අවශ්ය බවයි. අපි තීරණය කලේ අපි විශ්රාම ගිය කාලයක අලුත් හුරතලෙක් ගැනීමට, මොකද අපේ සියලුම අවධානය ඔහුට හෝ ඇයට එවිට දීමට පුලුවන් නිසායි.
උපුටා ගැනීම: Devapriya Siriwardena