මගේ ස්වාමිපුරුෂයාගේ හදා තිබෙන දේ බෙදාගෙන / බදාගෙන කෑම සහ උයා තියන දේ පිහාගෙන ම කෑම ගැන මා දැනුවත් වෙන්නට පටන් ගෙන තවමත් සිව් වසරකි.
මුල්ම වෙඩි මුරය පත්තු වූයේ කසාද බැඳ වසරක් පිරීමට මත්තෙනි. එය එතරම් පරක්කු වූයේ මන්ද යන්න ප්‍රශ්නයක් නොවේ.විවාහ වී මාසෙන් කොළඹ පැමිණ ඔහු මාරුවක් හදාගෙන පැමිණෙන තුරු මාස දහයක් ම සතියේ දිනවල තනිකඩව සහ සති අන්තයේ දීගකෑමට අපිට සිදුවිය.ඉතින් මෙය සිදුවන්නේ ඔහු මා හා කොළඹ පදිංචියට ආ අලුතය.එවිට විවාහය වසරක් පරණ වන්නට ඔන්න මෙන්න වුව ද අපි විවාහ දිවියේ අත් පොත් තබන්නට පටන් ගත්තා පමණය.
මෙතක් දවස් නංගී සමඟ හිතුන දෙයක් කා බී සැනහුන මට ද, විවාහය සෙරමනි එකක් පමණකැයි සිතා සිටි, එතෙක් සුපුරුදු නිවසේ මව්පිය සෙනෙහේ විඳිමින් , නුවරට වී කූල් එකේ සිටි ස්වාමිපුරුෂයාට ද විවාහයේ බරපැන දැනී දැනී එමින් තිබුණ අවදියකි.
මුලින්ම ඔහුට උයා පිහා දෙන්නට සිදු වූ දා වැඩ ඇරී ඔහු වත් මගට ගෙන්නාගෙන දෙන්නාම සුපිරි වෙළඳ සැලකට ගොඩ වැදුනේ කෝඩුකාර විලාසයෙන් ය.වෙනදාට මැගි නූඩ්ල්ස්, කිරිපිටි, තේ කොළ, චීස් , යෝගට්, කඩල පැකට් , ටිපිටිප් ආදී සුකුරුත්තන් කෑම පමණක් මිලට ගන්නා මා වගකීම් සහගත භාර්යාවකගේ ආවේසය පෙරටු කොටගෙන ට්‍රොලිය ද තල්ලු කරගෙන ලොක්කී වගේ එළවලු තෝරන්නට වීමි. මගේ පසුපස පැමිණි ස්වාමිපුරුෂයා මා අත තබන තබන එලවලු දෙස බලා “මං කන්නෑ ඕවා.. මං ආස නෑ ඕවට..” ආදී වශයෙන් මා තෝරන දෑ ප්‍රතික්ෂේප කරන්නට විය.අන්දුන් කුන්දුන් වූ මම එහෙනම්
මේක? අරක? කියා අසමින් යාන්තම් කැරට්, බීට්, අල
, බොංචි ටිකක් එකතු කර කූඩයට දා ගත්තෙමි. එයින් ද නොනැවතී මා පසු පස පැමිණෙමින් ඔහු කැමති පළතුරු බිස්කට් ආදියෙන් පමණක් කූඩය පුරවාගනියි. ඒ ඔක්කොම දොක්කන් කැෂියර් එකට ගොස් අඩු තරමේ දැන් ඔහුගේ වගකීම බාර ගන්නා වරය නොවේදැයි සිතමින් වට පිට බැලීමි.
කවුන්ටරයට පිටතින් හිඳිමින් ඔහු ටිපිටිප් එකක් තනිව කයි.ඒකට බිල ගෙවාගෙනය. මේ ටික මට ය.නෝන්ඩිය වහගෙන මම ම බිල ගෙවා දැමීමි. අලි බෑග් හතරක් පහක් එල්ලාගෙන හෑන්ඩ් බෑගය ද උර ලා ගෙන මා එතැනින් එලියට එන්නට හිතද්දී මුන්දෑ එළියටත් ගොස් ය.
හිත හදාගෙන මම දැන් බරට බරේ මලු එල්ලාගෙන ඔහු පසු පස්සේ ය.බැක් පැක් එක එල්ලා ගෙන ඔහු මට ඉදිරියෙන් ටිපිටිප් කමින් ෆෝන් එක බලමින් පාඩුවේ ගමනේ ය.පොල් ගෙඩි දෙකක් ද සහිත බෑග් හතර පහ දැන් නම් මට ඔහුගේ සනුහරයේ ඇත්තන් එකින් එකා මතක් කරගෙන එන අතරය.දත් මිටි කාගෙන පසු පස යමින් බලා උන්නේ එක බෑග් එකක් හරි ඉල්ලාගනී යැයි බලාපොරොත්තුවෙන් ය.නැත නැත.ඔහුට වගේ වගක් නැත.කිලෝ මීටර බාගයක් පමණ අපි මේ පයින යන්නේ නිවසට ය.ත්‍රීවිල් වල යන තරමට මහ දුරක් නැති නිසා පයින් යන එක ඇඟට ද හොඳ බව ඔහු කීවේ මෙහි ආ දා මය.ඒත් මේ දුර ටික බඩු මහගොඩක් එල්ලා ගෙන යන්නට තනිව බැරි ය. ගෙදරට එන තුරුම මා දෙස බලන්නට වත් ගාණක් නොවූ හේ ගෙදර දොර අරින්නට කියා යතුර ද මට දික් කළේය.
දෙකොණ විලක්කුව දල්වා ගත් බිරිඳගේ ආවේසයේ තරම ඔහු දුටුවේ එදා ය.මේ ගෙදරට බඩු ගෙන එන්නේ ඔහුට පමණක් කන්න නොවන බවත් , සල්ලි හම්බ කරගෙන මහන්සි වී ගෙදර එන තවත් මනුස්ස ප්‍රාණීන් දෙන්නෙක් ( නංගී සහ මම) ඉන්නා බවත් , ඔක්කොම එයාට ඕනෙ කෑම ගන්නත්, අපිට ඕනෙ දේවල් කාගෙන් ඉල්ලාගෙන කෑ යුතු ද යන්නත් , දන්න සිංහලෙන් සහ කලවම් බාසා යොදාගෙන කියද්දී ගල්බීත වී සිටි දේහදාරියාගේ රුව අදටත් මගේ මනසින් මැකී නොයෙයි.
ඊට ද අඩු නැතුව , ගෑණියෙක් බිල ගෙවන කල් උඩ බලාගෙන ටිපිටිප් කෑම, බඩු මලු එල්ලාගෙන මෙතරම් දුරක් එද්දීත් එක මල්ලක් වත් ඉල්ලා නොගැනීම, ආදී බරපතල වැරදි රාශියකට වරදකරු වූ හෙතෙමේ ඒ මංගල රාත්‍රිය බඩගින්නේම ගෙවා දමන්නට විය.
පසු ලිපි:
දැන් දෙබස්:
මම: මේහ්, අපි කැකිරි අරන් යන් ද? ඇඹුලට හැදුවම මරු.
ඔහු: මම නං කන් නෑ ඉතින් ..ඔයා හැදුවම රසයි නෙ.ඔයා ආස නං අරන් යං ඉතින්…
කියා මාරු වෙයි.මදිවාට මගේ හෑන්ඩ් බෑග් එක ද දෙනෝදාහක් මැද හෝ එල්ලාගෙන මගේ වැඩ අහවර වනතුරු ෆෝන් එක කොට කොටා ඉඳියි.සියලු බඩු එල්ලාගෙන එයි.සුපිරි වෙළඳසැල පුරා හක්කලං කරන මගේ පසුපස ට්‍රොලිය තල්ලු කරගෙන පැමිණෙයි.ඔහු කැමතිම බිස්කට් කලින්ම තෝරාගෙන දෙවන වතාවටත් රාක්කය අසළ ට විත් මං ආසා ඒවා මොනවාදැයි අසයි.
බැරි තැනකදී මගේ කාඩ් එක ඉල්ලාගෙන හෝ ඔහු ම දැන් බිල ගෙවයි.
-බෙදාගෙන කෑමේ රසබර මතක තව එහෙමම ය-
උපුටා ගැනීම: භාග්‍යා අබේසේකර.