නම් පටලැවිල්ල (ඉස්කෝලෙ කාලෙ රස කතා)

Share With Friends

Facebook
WhatsApp
Telegram
LinkedIn
Email
මම A/L කරන කාලේ භෞතික විද්යාව සඳහා ගියේ අපේ ඉස්කෝලේ ලඟම තිබුන පංතියකට. පංතිය 2.45 වගේ පටන් ගන්නවා. ඉතින් දවසම ඉස්කෝලේ ඉඳල, හවසට ඒ පංතියට යන්න කලින් යාලුවෝ එක්ක බත් පාර්සල් දෙක තුනක් කාලා ඉවර වෙලා ගිහින් පංතියේ ඉඳ ගත්තාම හොඳටම නිදි මතයි. ඉතින් සමහර දවසට දැන් නම් පැයක් විතර ගිහින් ඇති කියලා හිතල වෙලාව බලනකොට විනාඩි දහයක් වත් ගිහින් නෑ.
හැබැයි මේ පංතියේ නිදි කිරන්න බෑ. මොකද අපේ භෞතික විද්යාව සර් හරිම සැරයි. ඒ මදිවට එක පාරටම පංතියේ තැනින් තැන ළමයි නැගිට්ටවලා ප්රශ්න අහනවා. හරි උත්තරේ දීගන්න බැරි වුනොත් ඉතින් දෙවියන්ගේ පිහිට තමයි. පොඩ්ඩක් හරි නිදි කිරන්න පුළුවන් තියරි උගන්වන වෙලාවට විතරයි.
හැබැයි අපි සර්ගෙ ප්රශ්න ඇහිල්ලෙන් බේරිලා ඉඳල හිටලා ෂේප් එකේ නිදි කිරන්න ක්රමයක් හොයා ගත්තා. ඒ තමයි පලවෙනි පේලිය.
සර් වැඩි අවධානයක් දෙන්නේ පංතියේ මැද පේලි හා අවසාන පේලි ගැන කියල තේරුම් ගන්න අපේ චූටි මොල වලට වැඩි කාලයක් ගියේ නෑ. ඉතින් අපි හොඳ ළමයි වගේ හැමදාම පලවෙනි පේලියේ ඉඳගන්න පටන් ගත්තා.
හැබැයි සර් ප්රශ්න අහන්න ගන්න පටන් ගත්තාම හැමෝම බලන්නේ ඉක්මනින්ම ඊලඟ ගාන හදන්න. මොකද ඊලඟට කාගෙන් අහයිද කියලා හැමෝම බයයි.
ඉතින් සර් ප්රශ්න අහන්න පටන් ගත්තම අපි ඊලඟ ගාන හදන්න ට්රයි කරනවා මිසක් ඒ ළමයා හරියට උත්තර දෙනවද බල බල ඉන්නෙ නෑ.
ඉතින් දවසක් සර් ප්රශ්නයක් අහලා ” මනෝරි කියන්න උත්තරේ කිව්වා ” මම මනෝරි නෙවෙයි නිසා ඉතින් සුපුරුදු පරිදි ඊලඟ ගාන හදනවා.
සර් දෙපාරක් විතර මනෝරි මනෝරි කියනවා ඇහුනා. ඒත් ඉතින් අපි අපේ පාඩුවේ ගණන් හදනවා.
එක පාරටම මොන සිහියෙන් ද පංතියේ ඉන්නේ කියලා සර් බනින්න පටන් ගත්තා. සර් ගේ හැටි නොදන්නා මේ මනෝරි කවුද බලන්න මමත් වටපිට බැලුවා.
සර් අපේ පේලිය දිහා ආලවක වගේ බලාගෙන බැනගෙන බැනගෙන යනවා. ඒත් ඉතින් අපි හතර දෙනාගේ නම් වල මුල මැද අග කොහෙවත් මනෝරි කියලා කෑල්ලක් නෑ කියලා හොඳටම විශ්වාසයි.
” තව කැරකි කැරකි මොනවද කරන්නේ මම තමුන්ගෙන් තමයි මෙච්චර වෙලා ඇහුවේ කියලා සර් මං දිහාට රවාගෙන කිව්වා “
නමේ මනෝරි කෑල්ලක් ගෑවිලා වත් නැති වුනත් මං ඉබේම හිට ගත්තා බය වෙච්ච පාරට.
උත්තරේ හරියටම දුන්නත් නම කියන කොට සිහියෙන් හිටියේ නෑ කියලා හොඳටම බැනුම් අහල ඉඳ ගත්තා. ඒ වෙලාවේ සර් ට මගේ නමේ මනෝරි කියලා කෑල්ලක් නෑ කියලා කියන්න පුලුවන් කමක් තිබුනේ නෑ.
කමක් නෑ ඉතින්. මිනිස්සුන්ට වැරදීම් වෙනවනේ කියලා හිත හදාගත්තා.
ආයෙත් සති දෙක තුනකට පස්සේ “තනූජා කියන්න උත්තරේ කිව්වා “
මං තනූජා නෙවෙයි නේ. ඉතින් මං සතුටින් ඊලඟ ගාණ හදනවා . ” මේ ළමයා මොන සිහියෙන් ” කියනකොටම මං සැකේට වගේ සර් දිහා බැලූවා. කියන්න සන්තෝසයි පින්වතුනි සර් ඉන්නවා සුපුරුදු පරිදි මං දිහාට රවාගෙන.
ඉතින් සුපුරුදු විදියට සර්ගෙන් බැනුම් අහන ගමන් මම හෙමිහිට පංතියේ අනිත් ළමයි දිහා බැලුවා.
1. මගේ නම දන්න ළමයි ” මේකිට තනූජා කියලා කෑල්ලකුත් තියෙනවා ද වගේ බලාගෙන ඉන්නවා
2. මගේ නම දන්නේ නැති ළමයි මේකිට මෙලෝ සිහියකුත් නෑ , මෙහෙම බැනුම් අහන්න ලැජ්ජාවකුත් නෑ වගේ මගේ දිහා බලාගෙන ඉන්නවා.
සර් එදත් හිටියේ මගේ පැහැදිලි කිරීම් අහන්න පුළුවන් මානසිකත්වයක නෙවෙයි කියල මට තේරුණා. ඉතින් එදත් යාලුවෝ එක්ක දුක කියලා හිත හදාගත්තා.
ආයෙත් සති දෙක තුනකට පස්සේ සුපුරුදු විදියටම සර් ” උමයංගනා , උමයංගනා කිය කිය පොලවෙ අඩි හප්පමින් කෑ ගහනවා. මගේ නමේ මුල ඉඳන් අගට ගත්තත් ” උ ” යන්නක් නැති නිසා මම පාඩුවේ හිටියට අන්තිමට ඒ උමයංගනා ත් මමම තමයි.
සර් රටේ ලෝකේ තියෙන ගෑණු ළමයිගේ නම් ඔක්කොම මට තියෙනවා කියලා හිතාගෙන මට සිහිය නෑ කියලා බනින එක ඉවසන්න තවත් බැරි නිසා එදා පංති ඉවර වුනාම සර් ව මුන ගැහෙන්න ගියා.
මෙහෙම අනුන්ගේ නම් කිය කියා සිහිය නෑ කියලා බනින එකෙන් මගේ මානව අයිතිවාසිකම් කොච්චර උල්ලංඝනය වෙනවද කියලා සර් ට පැහැදිලි කරන්න ඕනි වුනාට ඒව ඉතින් නිකම් සිතුවිලි විතරයි.
” සර් මගේ නම නයෝමි සමාධි රුක්මල්දෙනිය ” මගේ නමේ උමයංගනා කියලා කෑල්ලක් නෑ”
බොහොම අමාරුවෙන් කියා ගත්තා.
” ආ ඇත්තද හරි හරි මට මතක උමයංගනා වගේ, කොහොම උනත් සිහියෙන් ඉන්න ඕනි පංතියේ ඉන්න කොට ” කියලා සර් කිව්වා
මමත් ඉතින් ඔලුව වනලා සතුටින් ආවා මීට පස්සේ අනුන්ගේ නම් වලට බැනුම් අහන්න වෙන්නෙ නෑනේ කියලා.
ඉතින් ඒ සතුට හේදිලා යන්න සති දෙකයි ගියේ. සර් ආයෙත් රුක්ශාංජනා කියලා කෑ ගහන්න ගත්තා. සිහියෙන් පංතියේ ඉන්නේ නැති ඒ රුක්ශාංජනාත් මමම තමයි.
ඉතින් එදායින් පස්සේ උමයංගනා, රුක්ශාංජනා නෙවෙයි ” සිරිපාල , සිරිපාල ” කියලා සර් දෙපාරක් කියනකොට සිරිපාල කියන පිරිමි ළමයා හිටගත්තේ නැත්නම් මම ඒ වෙනුවට නැගිටල උත්තර දෙන්න බලාගෙන තමයි පංති ගියේ.
උපුටා ගැනීම:  Nayomi Samadi Rukmaldeniya

Read More Like This

PHP Code Snippets Powered By : XYZScripts.com
error: Content is protected !!