කසාද බැඳපු අලුත මම ප්රධාන බස් නැවතුම්පොළක එක් බසයකින් බැස තවත් බසයකට ගොඩවුනේ පිටුපස දොරෙන්. උඩම පඩියේ හිටගෙන පිටුපස අසුන දෙස බලමින් මඳක් පමා වුණේ එහි හිස් අසුනක් ඇතැයි සිතුන නිසා. කිසිවකු මගේ පශ්චාත් පෙදෙසේ වැදුනු බව තේරුණ නිසා පිට කොන්ද දිගේ විදුලි සැරක් වැදුනු කලෙක මෙන් එක්වරම පිටුපස හැරෙද්දි මිනිහෙක් පහළම පඩියේ සිටගෙන මගේ පසුපස පෙදෙසට මුහුණ ඔබාගෙන (සිඹිමින් මෙන්) සිට මා හැරෙනවාත් සමඟ පසුපස පෙදෙස හපා කා බසයෙන් පැන දිව්වේය.
ආරූඪ වූ කලෙක මෙන් වියරු වැටී ඒ අමනුස්සයා හඹා සෑහෙන දුරක් මා දිව ගියා. මුහුණ හරිහැටි නොදැක්කත් කෙට්ටු උස අවුරුදු 50 ඉක්මවූ කිළුටු පෙනුමැති මිනිසා ගොඩනැගිලි දෙකක් අතර වූ පටු ඉඩක හැංගුනේ තව දුරටත් මගේ පැන්නීම නවතමින්.
එදා මගේ දෑසින් කඳුලු පැන්නේ එකී මිනිහාට දඬුවමක් දීගත නොහී හිතේ ඇති වූ කේන්තියටයි.
මා මීට පෙර ලිපියෙන් කිව් පරිදි අවුරුද 13ක් වන දැරිවියක සිටියදී මුහුණ දුන් මට මතක ඇති පළමු අතවරයෙන් පසු කිහිප වරක්ම එවන් සිදුවීම්වලට මුහුණ පෑවෙමි.
ඉන් අනතුරුව මම කාලියක වීමි. ඒ මෙසේය.
අවුරුදු 16ක් වයසැති මම යෙහෙළියන් දෙදෙනෙකු සමඟ බසයක ඉදිරිපස දොරෙන් බහින්න සූදානම් වී සිටියෙමි. එක්වරම පිටිපසින් පැමිණි පුද්ගලයෙකු මගේ පසුපසින් හේත්තු වෙනු දැනී එක්වරම හැරී බැලීමි. වයස 35ක් පැනපු හැඩි දැඩි පිරිමියෙක්.
“ඇයි ඇයි මොකද” මම හැරී බලද්දිම මගෙන් ඔහු මගෙන් සැරෙන් අසා සිටියා.
“පොඩ්ඩක් එහාට වෙලා ඉන්නවද” ඔහු අහපු නිසා මමත් කිව්වා.
“මොනවද තමුසෙ කියන්නෙ, හරි අපි බැහැලා බලමුකෝ”. මට හිතාගන්න බැරි උනා. වැරදි විදියට හැසිරුණු මිනිහා මම හැරී බැලූ පලියට එසේ කියන්නේ ඇයි කියා.
එකල නුගේගොඩ සව්සිරි ගොඩනැගිල්ල අසලින් බැසගත් අපි ඒ අසල බස් නැවතුමට දිව ගියේ වැස්සෙන් බේරෙන්න. වැස්ස නිසා එතන සෙනඟ පිරී සිටියා. මිනිසාත් මා පිටුපසින්ම පැමිණ සියලු දෙනාටම ඇසෙන ලෙස, තර්ජනාංගුලියද උරුක් කර “තමුසෙ දැනගන්නවා, තමුසෙ වගේ නෙමෙයි ලස්සන කෙල්ලෙක් මට ඉන්නවා” කියා සිටියා. මා නරක ගැහැණියක ලෙස අනිත් මිනිසුන්ට දන්වන්නට ඔහු මෙසේ කීවේ ඔහුගේ ක්රියාවට මා විරුද්ධ බව පෙන්වූ නිසා යැයි තේරුම් ගත් මගේ කාලිය ප්රථම වතාවට ඉපදුනා.
“එහෙනම් ගිහින් මිරික ගන්නවකෝ ඒ කෙල්ලගෙ පස්ස. අහිංසක අපිව අල්ලගන්නෙ නැතුව” මගෙ කටිනුත් සද්දෙන් පිට වුණා. අනිත් මිනිස්සු ඔහුට හිනා වුණා.
මෙවැනි බොහෝ අසහනකාරයින් තමන්ගේ ක්රියාවන්ට එරෙහිව වචනයකින් හෝ නැගී සිටින කාන්තාවන් අවමානයට පාත්ර කිරීමට මෙවන් උත්සාහයන් දරණවා පමණක් නොවේ, කුපිත වූ ආකාරයක් දක්වා බිය වැද්දීමට උත්සාහ කරනවා.
වරක් එකෙක් නොමනා ස්පර්ශයක් කරන පළමු මොහොතේම ඔහුට රවා පසෙකට වූ විට මගෙන් ඇසුවේ “ඇයි තමුසෙ පත්තිනි අම්මාද” කියාය. මගේ පිළිතුර වූයේ “නෑ මම කාලි අම්මා” කියා ඌ දවා අළු කරන රුදුරු පෙනුමක් ගෙන දත් මිටි කමිනි. උගේ බෙල්ලට පැන හපා කන්නට ශක්තියක් එවෙලේ මට ඇති වී තිබිණි. හෝ! එහෙනම් අපි බස්වල යන අසහනකාරයන්ගෙ අසහනය නැති කරන්නට උපන් “පත්තිනි අම්මා” කැටගරියෙන් පිට සත්ත්ව කොට්ටාසයක් නිසා ඒ නොහොබිනාකම් ඉවසා සිටිය යුතුයි යන්න උන්ගේ මතයයි!
තවෙකෙක් දිනක් මෙවන් විරුද්ධ වීමකදී “හිතන් ඉන්නෙ හරි ලස්සනයි කියලද” කියා ඇසුවේ ඔලොක්කුවට හිනාවක් දමමිනි. මමද ඔලොක්කු හිනාවක් පා කියා සිටියේ “ඒක තමයි මාත් හිතුවෙ මම වගේ කැත කෙල්ලෙක් දැකලා මෙච්චර අසහනේ නම් තව කොහෙද ලස්සන කෙල්ලෙක් ඔහේ වගේ අසහනකාරයෙක්ගෙන් බේරිලා කෝච්චිවල යන්නේ කියලා”. මම මේවා කියන්නේ හයියෙන්. මොකද කවුරු උදවුවට නාවත් මට ලජ්ජාවක් නෑ, මෙතන පීඩිත පාර්ශ්වය මම. එතකොට ලැජ්ජා වෙන්න ඕනෙත් මමද? නැත්නම් කැත වැඩ කරන උන්ද?
දවසක් පැරැණි වර්ගයේ කෝච්චියක පෙට්ටි දෙකක් අතර කොටසේ දොර ළඟ යන්නට සිදුවුනේ කට කපා සෙනඟ සිටි නිසාය. මට ඉදිරියෙන් සිටියේ තරුණ විය ඉක්මවමින් සිටි එක් පෙම් යුවලක් පමණි. පිරිමියා ගැහැණියගේ බඳ වටා අතක් දමා සිටි අතර දෙදෙනාම සිටියේ මට පිටුපාය. ඇඟිල්ලක් ගසන්නට ඉඩක් නැති මොහොතේ මෙකී හස්තය මගේ කලවය දිගේ ඉහළට ගමන් කරනු දැණිනි. නමුත් දෙදෙනාම සිටියේ පෙම් ලෝකයේ සහ දොරෙන් ඉවත බලාගෙනය. උගේ අත මගේ අත් දෙකෙන්ම ඩැහැගෙන ලස්සනට වවා තිබූ නියවලින් හම ඉරෙන තුරු බරු ගැසුවෙමි. අත ගලවා ගන්නට උත්සාහ කලේ ඌ සිටි අයුරින්ම හිඳිමින් ඉවත බලාගෙනම තමන්ගේ රංගනයේ ඉරියවු වෙනස් නොකරමය. බොහෝ විට තමන්ගේ පෙම්වතියට හෝ මුවා වී ඇයව ආවරණයක් කොටගෙන මේ ක්රියාවන්ගේ යෙදෙන්නේ උන්ගේ ආරක්ෂාවටය. මා හඬ නැගුවොත් “අහිංසක පෙම් යුවලේ” කාන්තා පාර්ශ්වය මට විරුද්ධ වනු නොඅනුමානය. ඒ කාන්තාව ගැනද මට අනුකම්පා සිතිනි.
මුහුණට මුහුණ ලා දිගු පේළි වශයෙන් ආසන ඇති දුම්රියක බොහෝ ආසන ඉඩ තිබියදී දුම්රියට නැග මගේ අසලින්ම වාඩි වී, අත් බැඳ ඉතා ඉක්මණින් නින්දට ගොස් සිටි මිනිසාගේ අත මගේ ඉණ ප්රදේශයෙන් ඇඟට ගොඩවිය. “මේ පොඩ්ඩක් එහාට වෙනවද?” මම ඇසූවිට “සොරි මට නින්ද ගියා ඇයි මොකද” කියමින් බුරන්නට විය. “නෑ ඔයාට නින්ද ගිය වෙලේ ඔයාගේ අතට නින්ද ගිහින් නෑ. ඒක විතරක් ඇහැරලා මගේ බඩ පැත්තට ආවා. ඒකයි”. “තමුසෙ හිතන්නෙ මම කවුරු කියලද, මම කකුලක් ආබාධිත රණවිරුවෙක්” කෝච්චියටම ඇහෙන්න කියා සිටියා වගේම මේ වනවිටත් ඔහු තවදුරටත් අත් බැඳගෙනම සිටියා. “කකුල මිසක් අත කැඩිලා නෑනෙ. ගන්නවා අත අහකට”.
බහින්බස් වීම දුරගොස් ඔහු මට අත ඉස්සුවා. මම නැඟිටලා ඔහුට පහර දෙන්නට වූයේ යක්ෂණියක ලෙසය. “දැන් බැහැපන් බැල්ලි මගෙ හැටි පෙන්වන්නයි” ඌ මොරදුන්නේය. මා ඔහුට තර්ජනය කලේ “බැහැලා මොනවා කරන්නද, පුලුවන් දෙයක් මේ දැන් කරලා බලනවා මේ දැන්! ඔච්චර හයියක් තියෙනවා නම් ගෑණුන්ට හයි කාරකම් පෙන්වන්නෙ නැතුව මීරිගමින් බැහැලා බලනවා මුලු ටවුමෙන්ම කන හැටි බලන්න” කියා කීවේ බොරුවට දුරකථන ඇමතුමක් ගෙන “අප්පච්චී අයියලත් එක්ක ස්ටේෂන් එකට ඇවිත් ඉන්න මිනිහෙක් මට කරදර කළා” කියන ගමන්මය. මීරිගම තෙක් නොආ ඌ ළඟම නැවතුමෙන් බැස ගියේය. මෙතරම් දෙයක් වනතුරු බලු මැක්කෙකුවත් වචනයකින්වත් මට සහාය නොවීය.
මේ බස් කෝච්චිවල යන වැදගත් නෝනා මහත්වරු සිතනවා ඇත්තේ අහක යන නයි අපේ ඔඩොක්කුවේ දාගන්නේ මන්දැයි කියාය. බස් කෝච්චිවල අතවර වලදී මා අත පුපුරන්න මිනිසුන්ට ගහන බව දැනගත් එතෙර සිටි අප්පච්චි කීවේ මම ඒවාට එරෙහි වී ආරක්ෂා වන එක හොඳ නමුත් ආපස්සට උන් මට කරදරයක් කල හැකි බවයි. අප්පච්චි අදහස් කලේ නැවත යන මඟ රැක සිට කරදර කිරීම හෝ සඟවා සිටින පිහියකින් ඇනීම වැනි දෑය. කොහෙවත් යන පිස්සන්ට මගේ සිරුර අත පත ගාන්නට දෙනවාට වඩා පිහි ඇනුමකින් මිය යනවා සැප යයි සිතූ මා මගේ “කාලි” ක්රියාවන් නැවැත්තුවේ නැත!
ගැහැණු දරුවෙක් හෝ කාන්තාවක් ඇගේ දෙමාපියන් විසින් දුක් මහන්සියෙන් පරිස්සම් කර හදන්නේ එක එකාට ඔබ ඔබ ඉන්නට නොවේ. ස්පර්ශයෙන් හෝ වචනයෙන් හෝ බැල්මෙන් හෝ අතවරයකට ලක්වන්නට සූදානම් නොවූ මා මළත් කමක් නැතැයි සටන් වදින්නට උගත්තෙමි. ඒ සඳහා ලැජ්ජාවක් හෝ බියක් මට නැත. වයසට වඩා වැඩුනු සිරුර නිසා කුඩා කාලයේ පටන් මෙවන් දේට මුහුණ දුන් මා වැඩුනු පසු මගේ අඩි පහයි අඟල් අටේ ස්කන්ධය සහ ආත්ම ශක්තිය ප්රයෝජනයට ගතිමි. ඕනෑම අවස්ථාවක හූරා බරු ගසන්නට, හපන්නට පමණක් නොව අවශ්ය විටෙක ගෙල මිරිකන්නටත් මා සූදානමින් සිටියෙමි. වෙනත් කාට හෝ මෙවන් දෙයක් සිදුවන විට උදවු කරන්නටද මම පසු බට නොවෙමි. නිහඬව දරා සිටීමෙන් උන්ට උල්පන්දම් දිය යුතු නැත! ඉන් උන් දිරිමත් වී තවත් කෙනෙකුට කරදර කරනු ඇත.
මේවා කිසිවක් නොකරන පිරිමි මහත්වරුන් මෙවන් අවස්ථාවලදී නිදිගත් ස්වරූපයෙන් සිටින්නේ මන්දැයි මම නොදනිමි. ඔවුන්ගේ මව, සහෝදරිය, බිරිඳ හෝ දියණියට මෙවන් දෙයක් සිදුවන විටත් ඔවුන් තම අත් බැඳ තමන්ගේ පාඩුවේ සිටිනු ඇත්ද?
මගේ පෙර ලිපියට අදහස් දැක් වූ සොයුරියක් කියා සිටියේ පාසැල් නිල ඇඳුම හැඳ බසයෙන් බැසීමට යනවිට කකුල් අතරට අත දැමූ මිනිසෙකුට ඇගේ අත තිබූ පොත් මිටියෙන් ගැසූ විට ඒ තිරිසනා පෙරලා කණේ පහරක් ගැසූයේ කණෙන් ලේ ගලන්නට සහ කණ පැළදි කරාබුව ඇදවන තරමට කියාය. එතෙක් කොන්දොස්තර, රියැදුරු ඇතුළුව සියලු පිරිමින් නිශ්ශබ්දව සිටි බවයි. ශෝචනීයයි නේද? ඒ සිටියේ තමන්ගේ අනාගත දියණිය නම් දියණියට අතවර නොකරන පියෙකු ලෙස ඔවුන් හැසිරෙන්නේ කෙසේද?
සිද්ධ වෙන්නට ගියා වූ දරුණුතම අතවරය වළකා මා පැන ගිය සැටි මා මෙහි නොලියමි. කිසි දිනක එය ලියන්නට අදහසකුදු නැත.
මෙවැනි පහත් උන්ගෙන් කිළිටි වී තවත් “සේයාවක්” මිය යන තුරු සිට නිසදැස් ශෝකාලාප ලියා පලක් නැත. කාන්තාවනි, මහත්වරුනි මිනිසත් බවේ නාමයෙන් නිහඬව නොසිටින්න…
උපුටා ගැනීම: .Nilmini Gunawardana