වෙහෙසකර දවසක ගිනි ගහන මද්දහනෙ ආපහු ඩියුටියට ගිය අල්ලපනල්ලෙ සුදුම සුදු බෝලයක් වගේ පුංචි කොළු පැංචෙක් බඩත් අල්ලං ආවා, අවුරුදු අටක පොඩිත්තෙක්.
“ඔයා ආච්චිද?”පොඩ්ඩා එක්ක උන්නු වයසක කාන්තාවගෙන් මං ඇහුවා.
” නෑ මිස්,මේ ___________ නිවාසෙ ලමයෙක් …වදකාරයො,මහ උන් දාල ගියාම අපි එපැයි නහින්න මෙතන,….”තවත් ආඩපාලි කෝටියක් එක්කම වියපත් උන්දෑ ආරෝව පිරිමහයි.
පුංචි එකාගේ ඇස් අග්ගිස්සේ පිරිච්ච කඳුළු ගුලි දෙකකි.
රුධිර සාම්පල, කැනියුලා, සේලයින් ඔක්කෝම පොඩිඑකාට ඇත.
ලෝකෙ ඉන්න හොඳම දොස්තර පොඩි උන් බැලුවත් මට යකා නගින්නේ උන්ට කැනියුලා දමන්නට ඇති විටය.ඒ දොස්තර මහත්තුරු එක්කමය. බාගවිට හෙදකමට කාන්තා වැඩි නියෝජනයක් ඇත්තේ ඒ නිසා වන්නට ඇත.
කලමනා සියල්ල රැස් කරගෙන මං පුංචි ස්ටූල් එකක් එක්ක පොඩි එකාට ලංවුණා.
තාමත් ඇස් අග්ගිස්සේ පෙරලෙන්න බලං ඉන්න ලොකු කඳුළු කැට දෙකක්.
“සුදු මැණික,නැන්දි පුතාට ලස්සන සමනල කටුවක් ගෙනාවනෙ,අපි එයාව අතේ ගැටගහල පුතාගෙ බඩ රිදෙනවට සමනලයට බෙහෙත් දෙමු මැණික….”
කම්මුල් දිගේ රෝල්වෙලා හැලිච්ච කඳුලු කැට අස්සෙන් පොඩ්ඩා ලස්සනට හිනා වුණා .
” මං ඔයාට අම්මේ කියන්නද?”
හිත පොඩ්ඩකට ගැස්සුනත් පැංචට කතා කරන්න මං පාර හදල දුන්නා.
“අම්මාගෙන් පස්සෙ මට ආදරෙන් කතා කලේ ඔයානෙ,අම්මි මාව ඒ හොස්ටල් එකේ දාල ගියානෙ,ආයෙ හම්බුනේ නෑනෙ,හැමෝම මට නම කියද්දි ඔයා විතරනෙ මට පුතා කිව්වෙ,අනේ නැන්දෙ නෙවෙයි අම්මා කියන්නංකො”
දරුවා නොව අසරණ වූයේ මාය.අනේකයක් අහිංසකයන් මේ ලොව තුල මෙසේ ආදරය සොයනවා ඇත.
“පුතා ආස එහෙමනං එහෙම කියන්න”
වෙන කියන්නට මා දන්නා පිළිතුරක් නැත.
“හවස අම්මා යද්දි මාවත් එක්කං යන්නකො ගෙදර”
පොඩි එකා රවටන්නට හිත නොදේ.
“මැණික , මං ඉන්නෙත් ඔයා ඉන්නවා වගේ හොස්ටල් එකක, එහෙ ඉන්නෙ මං වගේ අය, පුතාගෙ හොස්ටල් එකේ ඉන්නෙ පුතා වගේ අයනෙ..ආන්න ඒ වගේ තමා…පුතා ආයෙ හොස්ටල් ගියාම මං එන්නං ඔයා බලන්න..”
“අම්මා ඔයා හොස්ටල් ඉන්නෙ ඔයාගෙත් අම්මා දාලා ගියාද?”
තවත් එතන රැඳෙන්නට හිතට අවැසි නැත.අපේ දෙමාපියන් මල් මෙන් අප රැක්ක වග සහ රකින වග කියන්නට පැංචාට නොහේ.මෙවන් කැකුළු ලොව කොහේ හෝ තැනක අම්මා කෙනෙකු අප්පච්චී කෙනෙකු සොයනවා ඇත.ඉතිං මොහොතකට ඔවුන්ට ආදරේ වෙන්න ; ආදරේ දෙන්න. ලෝකෙම නැතත් එකම එක සප්රාණවාචී නාම පදයක ලෝකය එළිය වනු ඇත.
උපුටා ගැනීම: Thilini De Silva