“ඒයි.. ආං අර ආර්ට් ක්ලාස් එකට අළුතෙන් ආපු එකී”
විවේක කාලයේ දී පන්තියෙන් පිටවී කොරිඩෝව දිගේ අළුතෙන් ආරම්භ කල දොලහ වසර කලා පන්තියේ දොර පසු කර යමින් සිටි මම ඇතුළු අප හතර පස් දෙනාම චාමරගේ ඒ හඬින් ඉබේම ආපස්සට හැරුනි.
“ යමං.. රැග් එකක් දීල ගමු” ගයියා මාව ඉස්සර කලේය.
ඒ වන විට පාසලේ ජ්‍යෙෂ්ඨතම සිසුන් වූ අප කිසිඳු පැකිලීමකින් තොරව “දොලහ කලා” පන්තියට කඩා පැන්නේය. පාසලට අළුතින් පැමිණි මුහුණක් දෙවන පේලියේ කෙලවරට වන්නට ඉඳගෙන යමක් ලියමින් සිටියි.
“ඒයි.. මෙහෙ එනවා..” එය උච්චාරණය වූ ශබ්ධයට ඇය නැගිට්ටා නොව ඉබේම ඉහළට විසි වූවා යැයි කිවහොත් නිවැරදිය. එහෙත් “නැඟී සිටියා මිස” ඇය ආවේ නැත. එබැවින් මම ඇය ළඟට ගියෙමි.
“තමුසෙගෙ නම මොකද්ද ?”
“කොයි ඉස්කෝලේ ඉඳන්ද ආවේ ?”
“කතා කරනවා, මොකද කට නැද්ද ?”
එම වාක්‍ය තුනම මහ හඬින් ඇසුවද මුනිවත රැකි ඈ බිම බලාගෙනම සිටියාය. ඇයගෙන් කිසිඳු ප්‍රතිචාරයක් නොවූ තැන මා ද, අපහසුතාවයකට පත් වුනෙමි. ඇය වචනයක් හෝ කතා කලේ නම් ගැටළුවක් නැත. තවත් කීමට දෙයක් නැතිම තැන,
“හෙට එනකොට චොක්ලට් බිස්කට් එකක් අරන් එනවා. හරිද” යනුවෙන් උච්ච ස්වරයෙන් පැවසුවෙමි. එයට පමණක් මුවින් නොව හිස සොලවා පිළිතුරක් ලැබුනි.
පාසලට උසස් පෙළ සඳහා විවිධ පාසැල් වලින් විවිධ විෂයන් සඳහා සිසුන් පැමිණ සිටි අතර ඔවුන්ට විවිධ ආකාරයේ “පිළිගැනීම්” සිදු කල බැවින් මෙම සිද්ධිය මට එතැනින්ම අමතක විය.
පසුදින දවසම ගෙවී පාසැල අවසන් වීමට පැය භාගයක් පමණ තිබිය දී පෙර දින කණ්ඩායම ම සමඟ මා කොරිඩෝව දිගේ “ප්‍රධාන ශාලාව” අසලින් ගමන් කරමින් සිටියෙමි.
“ඒයි අන්න අරකි..”
ගොළු කෙල්ල තවත් කෙල්ලක් ද සමඟ ප්‍රධාන ශාලාව ඇතුලත කොට බිත්තිය මත හිඳ සටහනක් පිටපත් කරමින් සිටියි.
“ආ.. තමුසෙට මතකද මාව ?”
“මම ඊයේ කියපු එක ගෙනාවද ?”
“කතා කරනවා, තමුසේ ගොළුයි ද”
කට හොල්ලන්නේ නැත.
“අයියා.. එයා ගෙනාපු බිස්කට් එක පන්තියේ පිරිමි ළමයි අරන් කෑවා..”
“මම ඔයාගෙන් ඇහුවේ නෑනේ.. තමුසේ බලෙන් දෙන්නේ නැතුව ඉන්නවා..”
අනූෂා එතනින්ම කට වසා ගත්තාය.
“මම තමුසෙගෙන් අහන්නේ කොයි ගෙනාපුවා..”
ඇයගේ හඬ මා අඳුනගත්තේ ඒ ඉකිබිඳුමත් සමගින්ය. මාගේ දහසකුත් සැර පරුෂ වාග් ප්‍රහාර උසුලාගෙන සිටි ඈ බැරිම තැන කඳුලු කන්දක් ද සමඟ ඇයගේ වේදනාව මා ඉදිරිපිට දිය කර හැරියාය.
තවදුරටත් එතැන සිටීමට හැකියාවක් මට නොවූ බැවින් අනෙක් පිරිසද සමඟ එතනින් පිට වීමි.
“ඒකි හෙන දුප්පත්ලු බං” ඒ නාමල් ය.
“දැන් ද බල්ලෝ කියන්නේ”
මට තරහා ගොස් සිටියේ කා සමඟ දැයි මා හරි හැටි දන්නේ නැත. නමුත් මම මහා සංවේගයකින් පෙලීමට පටන් ගත්තේය. පාසැල් ඇරී යන විටද ඇය බසයක් එන තුරු බස් නැවතුමේ සිටියාය. මා දුටු විගස ඇය ඉවත බලාගත්තේ අහංකාරකමකින් නොව බියත්, සංවේගයත් මුසු හැඟීමක් දෙන මුහුණකින්ය. මා ඇය පසුකර, මා බසයට ගොඩවන නැවතුම දක්වා පැමිනියෙමි.
ඊට පසු දින වූ සෙනසුරාදා සහ ඉරිදා දින මා ජීවිතයේ ගත කල දිගුම දින දෙක යයි මට හැඟේ. මා ඉදිරිපිට මැවී පෙනෙන්නේම ඒ අහිංසක මුහුණමය. බැලූ බැල්මටම චාම් බව ඉතිරී පැතිරී තිබූ ඈ, සැබවින්ම ඉතා අහිංසක, සුන්දර දැරියකි. මා මහා තිරිසනෙක් යන හැඟීම මගේ සිත තුල පහළ විය.
සුන්දර යමෙකු දුටු පමණින් ආදරය හිතෙන්නේ නැත. ඒ සුන්දර නැවත නැවත ආවර්ජනය කරමින් විඳින විට අපටත් නොදැනීම අප ප්‍රේම කිරීමට පටන් ගනී. මා ද නොදැනුවත්ව මම ඇයට “පෙම් කිරීමට” පටන් ගතිමි.
සඳුදා සිට මම ඇය දෙස ලෙංගතු ලෙස බැලීමට උත්සහ ගත්තද, මගේ ඇති නුපුරුදුකම සහ මා කෙරෙහි ඇගේ සිත තුල, මවිසින්ම සිතුවම් කරන ලද අඳුරු සිතුවම නිසා මා ඇයට ප්‍රේම කරන බව සැක හැර දැන ගැනීමටම ඇයට සෑහෙන කලක් ගත විය. මා කෙතෙරම් නම් ඇයට ආදරය ප්‍රකාශ කලාද..
නමුත් ඇයට මා කෙරෙහි එවන් හැඟීමක් ඇති වූයේම නැත.
සතියේ දින පහට අඩුම හතර වතාවක්වත් මම ඇගෙන් කැමැත්ත විමසුවෙමි. ඇය කැමති නැත. ප්‍රධාන ශාලාවට එක් පසෙකින් ඇති බරාඳයේ ඈ තනිව සිටි එක් දිනක ඇයව බරාඳයේ පැති බිත්තියකට හේත්තු වන සේ මගේ දෑත් ඇයගේ සිරුර මැදි කොට බිත්තියට තබා ඇයට පිට වීමට නොහැකි වන සේ සිර කර තදින්ම විමසුවේ
“ ඇයි ඔයා මට කැමති නැත්තේ” කියාය.
වැඩි විස්තර නැතිවම ඈ කීවේ “මට බෑ” කියා විතරක්මය.
හය මසක් පමණ එක සේ ඇය පසුපසින්ම සිටි මට,අවසානයේ එක් සඳුදා දිනයක ඇගේ ආදරය ප්‍රකාශ කලාය.ඇයගේ යෙහෙලිය අත පනිවිඩය එවූ ඈ, ඒත් සමඟම පෙම් හසුනක්ද එව්වාය. එය කියවීමට නිවසට යනතෙක් ඉවසා සිටිය නොහැකි තැන වැසිකිළියට ගොස් එය දිග හැර කියවීමි. ඇයගේ අවංක ආදරය ඇය එහි වචන වලට පෙරලා තිබුනි. පොතක පිට කවරය තුල සඟවා නිවසට රැගෙන ආ “පළමු පෙම් හසුන” සිය වරක් පමණ එදින මා කියවන්නට ඇත.
මගේ පළමු පෙම ඇරඹුනේ එහෙමය. ඇය “දම්මි” නම් විය. අහිංසක බවේ ප්‍රතිමූර්තියක් බඳු ඇයගේ ගමන බිමන පවා ඉතා සංවරය. දුප්පත් පවුලක යුවතියක වූ නමුදු ඇය පිළිවෙලය, පිරිසිදුය, කොන්ඩ කරල් දෙක ඉනෙනුත් පල්ලෙහාටය. පාසලේ ප්‍රසිද්ධ පෙම් කතාවක චරිත දෙකක් බවට අප පත් වූයේ එලෙසය.
ජීවිතයේ පූජනීයම අත්දැකීම වසරක් පුරා අප නිදහසේ අත්වින්දේය. ඒ සොඳුරුතම යුගය අවසන් කරමින් උසස් පෙළ විභාගය සඳහා පෙනී සිටීම සඳහා මාගේ පාසැල් ගමන අවසන් කරන දිනය එලඹිනි. පාසැල් ඉඩමේ පිටුපසම ඇති නැටුම් කාමරය පිටපසට මා ඇදගෙන ගිය ඇය එහිදී මගේ දෙපා වැඳ “ මාව අමතක කරන්න එපා. මම හැමදාමත් ඔයාට ආදරෙයි” කියා ඉකිබිඳ වැළපෙන අයුරු මට ඉවසා ගත නොහැකිව ඇයගේ මෘදු කම්මුලකට “හාදුවක්” දුනිමි. ඒ මම ඇයට දුන් ප්‍රථම හාදුවයි.
දින, සති ගෙවෙමින් කාලය ඉගිල යන විට අපටද නොදැනුවත්වම අපගේ ජීවිත වෙනස් වීම් වලට භාජනය වෙයි. ආදරයට පුරා වසර දෙකක් පමණ ගෙවී ගියද දම්මි පෙර සේම අඩුවෙන් කතා බහ කරන යුවතියක්ම විය. මා කෙරෙහි වූ අප්‍රමාණ වූ ආදරයක් ඇගේ සිත තුල ඇති බව මා දැන සිටි නමුත් ඇය ප්‍රේමය වචන වලට පෙරලුවේ ඉතාම අල්පවය. ප්‍රේමය තබා ඇය අන් දෙයක් ගැන වුවද කතා කලේ ඉතා අඩුවෙනි.
යොවුන් වියේ හොඳම අවදියේ සිටි මා හට ඇයගෙන් ඊට වඩා දැනෙන ප්‍රේමයක් අවැසි විය. ඇය මට කිසිවකට තහංචි දැමුවේ නැත. මම කොන්ඩය වැව්වේය, ඇය කිසිවක් කීවේ නැත. මම කොන්ඩය පිටුපසින් පාට කලේය. ඇය ප්‍රශ්ණ කලේ නැත. මම ඩෙනිම ඉරා විච්චූරණ මෝස්තර දමා ඇන්දෙමි. ඇය විමසුවේවත් නැත.
මාව වෙනස් කල නොහැකි, මගේ අඩුපාඩු නිවැරදි කල නොහැකි, මා කරන කියන සියළු දෙයම “මල කඳක්” මෙන් ඉවසා සිටින ප්‍රේමය මට අප්‍රිය විය. මට ඇයගෙන් මිදෙන්නට ඕනෑ විය. ඒ තවත් පෙමක් සඳහා නොවේ. මෙවන් බැඳීමකින් ඵලක් නැතැයි මට සිතුණු නිසාය.
මම ඇයගෙන් වෙන් වීමට තීරණය කලෙමි. ඒ වන විට මගේ වෙනස ඇයටද දැනී තිබෙන්නට ඇත. ඇය හැඬුවාය. එහෙත් වැළහින්නක මෙන් වැළපුනේ නැත. ඒ ඇගේ හැටිය. ඉතා කෙටි වචන ස්වල්පයකින් අප දෙදෙනාගේම ප්‍රථම ප්‍රේමය එසේ නිමා විය.
වචන වලද ප්‍රේමය ඇත. තහංචි තුලද ප්‍රේමය ඇත. නිහඬ බව තුලද ප්‍රේමය ඇත. එහෙත් ප්‍රේමය සිත තුල සඟවා ගත්තාට ඵලක් නැත. එය හැඟිය යුතුය. එය දැනිය යුතුය. ඇය මට බොහෝ සේ පෙම් කල බව මම දනිමි. නමුත් එය මට දැනුනේ නැත.
වෙන්වන මෙහොතේ පවා ඇගේ යටි හිත එළියට නොදැමූ ඈ සඳ එළියවත් නැති පාළු මහ රැයක අඳුරු කාමරයක මුල්ලට වී මගේ නමින් උපන් ප්‍රථම ප්‍රේ්මයේ විරහ කඳුළු ගංගාව රහසේම පිට කරන්නට ඇති බව නම් මට විශ්වාසය.
උපුටා ගැනීම: Sherlock Holms