සොල්දරේ හොල්මන (හොල්මන් කතා)

Share With Friends

Facebook
WhatsApp
Telegram
LinkedIn
Email
(සත්ය අත්දැකීමක මතකය)
ඒ හරියටම 2004 අවුරුද්දේ මැදය. මා හිටියේ ගම්පහ දෙකටනය. පුතාට මාස නමය වන විට පුද්ගලික හේතුවක් මත අපගේ නිවස අතහැර යන්නට සිදුවූයෙන්, මමත්, පුතාත්, ස්වාමියා හා සවාමියාගේ 17 හැවිරිදි මල්ලීත් අප සිටි ගමටම ආසන්නයේ වූ කළුකොදයාව නම් වූ ප්රදේශයෙන් කුලීපදනම මත ලබාගත් නිවසකට ගියේ වෙන කරන්නට දෙයක් නොවූ නිසාමය.
තරමක් විශාල වත්තක් මැද පිහිට් පරණ මොස්තරයක පරණ පෙනුමැති නිවස ඇතුලත තරමක් අදුරු පෙනුමකුත්, කොස් ගහක් හතරට පලා දැම්මාක් මෙන් පෙනුන තඩි දොර ජනෙල් උලුවහුත්, ලි සොල්දරයත්, දෑතින් බදන්නට තරම් ලොකු බිත්තිත් ගෙ⁣දරට මහ අමුතු පෙනුමක් දුන්නේය. පඩි දෙක තුනක් නැග විත් ගොඩවදින්නට තිබු ඉස්තෝපුවද, එතනින් ඇතුල්වූ පසු සොල්දරය සහිත සාලය හා දකුණු පසින් වසා දමා ඇති කාමරයක්ද, කෑම කාමරයත් ඊට යාබඳ නිදන කාමරයකුත් විශාල ⁣කුස්සියකුත් විය. කොස් කදන් හා ඝනකන් ලෑලි දමා හදා තිබූ දුම්මැස්ස යට බිම කල්දේරම් තබන්නට තරම් විශාලව තැනූ ලිප් දෙකක් සහ එක කුඩා ලිපකුත් විය. කුස්සියෙන් එලි යට ගිය තැන නැවත කොට බිත්ති බැද වහලය තෙක්ම කොටු දැල් යෙදූ කොටසකුත් මිුදු⁣ලේ කොනක බොලොක්කයක් සහිත ගැඹුරැති ළිදකුත්ය. ගේ වටම වූ මහ විශාල රඹුටන් ගස්වල අතු එකිනෙකට ලංව වහලයට උඩින් වියනක් බැද තිබුණි.
පෙර දාක මේ ගෙය බලන්නට මා පැමිණියේ නැත. එනිසාම මේ සියල්ල මට අමුතුය. හැබැයි ගෙතුලත් වටපිටාවේත් රැදුණු දැඩි නිසල බවට මගේ හිත තදින්ම ඇලී ගියේය.
කොට බෝලයක් මෙන් මහතැති ගේ අයිතාකාර තැන වූ “සිත්තර මහත්තයා ” (ඔහුගේ නම පමණක් මදක් වෙනස් කරමි.) අප ඒමට ප්රථම ගෙදර දොාර ජනෙල් අැර අතුපතු ගා දමා ගොස් තිබුණත් යලිත් මදවෙලාවකින් පැමිනියේ දිග පිත්තල යතුරු කැරැල්ලකුත් අරගෙනය.
” මේ තමා ගෙදර යතුරු. මහත්තයල ගෙදර ඕන තැනක ඕන දෙයක් කරගන්න හැබැයි මේ කාමරේ මෙහෙමම මම වහල දාලා යනවා”
සොල්දරය ගසාඇති ඇති සාලය කොටසට දකුණු පස ඇති කාමරය පෙන්වා සිත්තර මහත්තයා කිව්වේය.
” ඇයි .ඒකෙ මොනවද තියන්නෙ “
එතැන් පටන් ගෙදර ඉන්නේ අප නිසා මම එලෙස ඇසුවෙමි.
ඒ ප්රශ්නයත් එක්කම අප ඉදිරියේ ම ඔහු ඒ කාමරයේ දොර අරියේය. සොල්දරයට නගින තරප්පුවත් විදුලි ය සම්බන්දකර ඇති ස්වි්ච් බෝඩයත් ඇරෙන්නට කිසි දෙයක් එහි තිබුනේ නැත.
” පොල් ටිකක් හරි ගොඩ කරන්න පුලුවන් නෙ මහත්තයා. මට හදිසියට. මේකෙන් වැඩක් ගන්නත් බෑ මහත්තයලට. අර උඩ දූවිලි ඔක්කොම හුලගට පහලට එනවා. ඒකයි වහලම තියෙන්නෙ. “
” අපිට හදිසියකදි් කරන්ට් එක ඔෆ් කරගන්න ඕන වුනොත් මොකද කරන්නෙ “
ටික වෙලාවක් කල්පනා කල සිත්තර මහත්තයා,
” ⁣එහෙනම් මම යතුරු නොදා වහල යන්නම්. ඕන වුනොත් මහත්තයා අැරගන්න “
තැන වෙනස් වුනාට සුපුරුදු ජීවන රටාව වෙනස් නොවූ හෙයින් , මා පාන්දර නැගිට උයන්න පිහින්නත්, බන්දුල හා මල්ලී වැඩට යන්නත්, එතැන් පටන් නමමස් වියැති පුතා හා මම ගෙදර තනිවෙන්නටත් විය. වැඩකටයුතු නිසා තරමක් අවිවේකි ද විය. උසට උසේ වූ පාලු පෙනුමැති කාමරය තුල පුතු නිදිකරවා තනියම දමා යාමට සිත් නොවූවත්, සැරින් සැරේ දුව විත් බලමින්,ගෙයත් මිදුුලත් අතුගා ලිදෙන් වතුර ඇද රෙදිත් හෝදා වනා එනතුරුම පුතු නිදන්නේය. හැමදාමත් උදේ හත හමාරට ගෙදරින් යන සැමියා සහ මල්ලී නැවත එන්නේ හවස හය හමාරට පමණය.
මසක් පමණ කිසිදු හැල හොල්මනකින් තොරව ගෙවී ගියේය. ඉන් පසු දිනක හවස මා පුතු සමග අනිත් දෙන්නා එනතුරු බලා ඉද්දී ලී සොල්දරය උඩ බර අඩි තබමින් කවුදෝ ඇවිදිනවාක් මෙන් ඇහෙන්නට විය. බොහෝ වෙලාවක් එහාටත් මෙහාටත් ඇවිද ගිය ඒ අඩි හඩ..නෑසී ගියේය.
වැඩ ඇරී ආ දෙදෙනාට තේ හදාා දී පුතුද ඔව්න් ලගින් තබා, රාත්රියට කෑම ඉවීම දවසේ වෙනස් නොවන මගේ තව
රාජකාරියකි.
” අද සොල්දරේ උඩ ගොඩක් වෙලා කවුද ඇවිදිනනවා වගේ ඇහුණනනේ “
” කවුරු අවිදින්නද කලවැද්දෙක් වෙන්න ඇති ” බන්දුල එක්වරම කීවේය.
” අක්ක බය වුනාද “
හිනාවෙවී මල්ලී ඇහුවේය. ඇත්තට නම් මට බයක් හිතුනේ නැත. කතාවද එතනින් ඉවරය. ඉන් පසුද හවස් කාලයේ ලෑලි සොල්දරය මත බරට අඩි තබමින් ඇවිදයන හඩ නිතර නිතර මට ඇහෙන්නට විය.
මල්ලීත්, බන්දුලත් ගෙදර හිටි එක් හැන්දෑවක ඔවුන් පළමු වරට ඇසූත් මම නිතර ඇසූත් ඒ අඩි හඩ නැවත නැගෙන්නට විය.
” බලමුද ගිහින් සොල්දරේ උඩ ට මොකෙද්ද ඉන්නෙ කියලා.”
කතාවුන අයියත් මල්ලිත් පොලු දෙකකුත් විදුලි පන්දමකුත් ගෙන, ආවදාා සිට අරින්නට උවමනාවක් නොවුන කාමරයේ දොර ඇරගෙන ⁣සොල්දරයට යන පඩි පෙල දිගේ නගින්නට විය. එවිටම අඩි හඩ නතරවිය.
“හැම තැනම බැලුවා. මොකෙක්වත් නෑ. දූවිලි පිරිලා උඩ. පරණ බඩු තියෙනවා⁣ ඒකෙ ගොඩගහලා”
ඔවුන් පහලට ආ එවිටම ආයේ ඒ අඩි හඩය.
ඔවුන් දෙදෙනා නැවත ගොස් බැලූවත් සතෙක් හෝ වෙනකිසිවෙකුත් ඉද නැත. ඊට පසු, තනිපංගලමේ ඉදිනා විට
හුළං හමනවා මෙන් , කොළ හෙලවෙනවාක් මෙන් ඒ හඩද මට සාමාන්ය දෙයක් සේ හුරුවිය
දහවල තනියම ගෙය තුල රැදෙනා කල ඇසෙන එක එක හඩවල් මම ගනන් ගත්තේ නැත. හිත හෙල වුනේද නැත . දවස් ගෙවී යන කල එක්තරා රාත්රියක මහ රෑ නින්දෙන් ඇහැරිගිය මම දුටුවේ ටිකක් අරුම පුදුම දෙයක්ය.
බිත්තියත් වහලයත් අතර හිදසේ ඉද, කිබුලෙක් මෙන් විශාල තල ගොයෙක් මගෙ දිහා බලාගෙනන හිටියේය. මම ඒකා දිහා කොයිතරම්වෙලාවක් බලා සිටියාදැයි මතක නැත.අවසන බන්දුල ට කතා කොට පෙන්නූ පසු
‘” ඕකා වෙන්න ඇති සොල්දරේ උඩ ඇවිදින්නෙ ” කිව්වේය.
එ⁣හි රැදි සිටි මාසයක දෙකක කාලය තුල එක දවකවත් වත්තේ කොතනකදිවත් හා ජීවිතේ කිසිම දිනකත් මේ තරම් විශාල තල ගොයෙක් මම නම් දැක නැත.
” බලමුද මේකා යන්නෙ කොහෙටද කියල “
බන්දුල ට කියූ මම තලගොයා දෙස බැලුවෙමි. තලගොයා එතැන නැත. බන්දුල ත් ආයෙම නිදිය. ඊට පසු වහලයත් බිත්තියත් අතර ඇති කුඩා ඉඩ දකින දකින වාරයක් පාසා මම හිතුවේ අර තරම් විශාල සතෙක් මෙතන හිටියේ කොහොමද යන්නය.
තව දිනක උදෑසක මල්ලී තවත් අපූරු කතාවක් කිව්වේය. රෑ මැදියම ඔහු එකවරම ඇහැරී ඇත. එවිට ඔහු දැක ඇත්තේ ඔලුවෙ සිට රෙද්දක් පොරවාගෙන දොර ලග සිට ඔහු දෙස බලා හිදින කෙනෙකි.
” ඔයා බයවුනේ නැද්ද “
” නෑ මම හිතුවේ අක්කා උදේ වෙනද වගේ නැගිටලා උයන්න යනගමන් කියල”
” මම කවදාවත් රෙදි පොරවගෙන යනවයැ උයන්න. ඊට පස්සෙ “
” මමත් ඔලුවෙ ඉදන් රෙද්ද පොරොවගෙන මම අනිත් පැත්ත හැරිල බුදියගත්තා”
” ඒ මම නෙවේ, ඔයා හීනයක් දකින්න ඇති “
” නෑ අප්ප…ඇරගෙන හිටපු ඇස් දෙකට දැක්කේ “
මොනවා වුනත් මොනවා දැක්කත් අපි ඒ ගැන හිතන්නට නොගියේ ඒ ගැන එතරම් තැකීමක් නොකල නිසාය. බන්දුල වැඩ ඇරී එන්නට බොහෝ රෑබෝවෙන දවස් අනන්තය. රැයක වුවද ගෙට ටිකක් දුරින් පිට ත තිබූ වැසිකිලියට යාමටත්, හැමදාමත් ගෙදර වැඩ ඉවරකර නමයට දහයට තනියම මිදුලේ කොනක තිබූ ළිද ලගට ගොස් ඇඟ සෝදාගෙන ඒම කලත් මට බයක් නොවුනේය.
⁣හිතට වද දෙන්නම වූයේ පුතු නිතර නිතර ලෙඩවන්නට පටන් ගැනීමය. ලෙඩ වූ පුතු බලන්න ට රාත්රිය පැමිණි අම්මා එහි විදුලි එලිය තුලත් මොකද්ද අදුරක් පේන බවත් මෙහේ නොඉද ඉක්මනින් අපේ ගෙදර යන ලෙසත් කිව්වා මතකය.
එහෙත් තව දුරටත් අපි එහි රැදී සිටියෙමු. එසේඉදි එක දිනක බන්දුල ත් මල්ලීත් වැඩට ගිය පසු වෙනදාට වඩා පාලුවක් මගෙ හිතට දැනෙන්නට විය. දැඩි නිහඩබවක වටපිටාව ගිලි තිබුණි. දහවල පහුවී යනවාත් සමගම අහස කළු වී මහ හුළඟක් හමන්නට විය. ඒ හා සමගම ඇද හැලුණු වර්ෂාව කවදාවත් නැතිව මසිත බය කරන්නට විය. මට හිතුනේම වහලයට උඩින් වියන් බැද ඇති තඩි රඹුටන් අතු කඩා වැටී මමත් පුතුත් ගෙට යටවී මිය යාවියැයි කියාමය. ගෙදර අනිත් දෙදෙනා ගැන මට එවලේ ආවේ කවදාවත් නැති කේන්තියකි. අදවැනි දවසකවත් ගෙදර නවතින්නට එක්කෙනෙකුටවත් බැරි වූ හැටි කියමින් හිතෙන් බොහෝ සැරට උන්දලා දෙදෙනා කෙරෙහි නැගි තරහව එ⁣හෙමම තබාගෙන පුංචි පුතා කරේ දමාගෙන එලියට යන දොර ලඟටම වී හිටියේ අත්තක් ගේ උඩට කඩා වැටුනොත් එලියට පනිනවා යන හිතුවිල්ලෙනි .
එහෙත් එක්වරම අපිට දොර වසා තියන්නටයැයි කියා සිත්තර මහත්තයා වසාදමා ගිය කාමරයේ ඇති තරප්පුපෙල දිගේ ලොකු කළු ගලක් මෙන් දඩ දඩ සද්දයට මොකද්දෝ පෙරලීගෙන පෙරලීගෙන විත් දඩාං හඩිං දොර පියනේ වැදී නතර විය. දොර පලු දෙක සට සට ගාමින් දෙදරුම් කන්නට විය. කේන්තිය පිට හිටි මට මේ මොනවාදැයි සිතී ලියන්නට නොහැකි වචනයක් ද කියමින් අර බරැති දේ වැදී හෙලවෙන දොර පියන් දෙකට පයින් ගැසුවෙි නොනිමී තිබූ තරහත් සමගමය. දොරේ ඒ බරැති දේ වැදීමත් දොරපලු වෙව්ලුම් කෑමත් මගේ පහරත් අතර පරතරය තප්පර ගණන් සේ විය. දොර පලුදෙක ක්ෂණයෙන් දෙබෑවිය.
අහන්න…කිසිවෙකුත් විස්වාස නොකරන ඒ අත්දැකීම ලැබුවේ මා පමනකි. එහි කිසිවක් . නැත. තරප්පු පෙල සහ හිස් කාමරය එලෙසම විය. මා නොදුටු වා පමණය. එහෙත් හොද හැටිම ඇසුවෙමි. යමක් පෙරලී එන හඩත්, එය රෝල් වී විත් දොරේ වදින හඩ හා දොර වෙව්ලුම් කනවාත් දෑහටම දැක්කේය. මොකෙක් හෝ වැටුනානම් ඒ වැදුන පහරට තප්පරේට දෙකට නැගිටින්නට බැරිය. යමක් උඩින් පෙරලුණා නම් ඒ මොහොතේ එතන එය තිබිය යුතුය. එහෙත් කිසිත් නැත. පුතු කරේ දාගෙනම නැවත ඒ දොරවසා එලිය බලද්දී අර මුරුගසන් වර්ෂාව පායා තිබුණි .
ඉදායින් මාසයකට පමණ පසු අපි අපේ ගෙදර නැවත එනතුරු ම මට අර සොල්දරයෙන් ඇසුනු අඩි හඩ ඇසුනේ නැත. කිසිම දිනක හොල්මන් අවතාර ගැන විශ්වාස නොකල මා නොපෙනෙන ⁣බලවේගයක පළමු අත්දැකීම සහ අන්තිම අත් දැකීම එලෙස අත් විදි නමුත් මගේ හිත ඒ මොහොතෙත් බියට පත් නොවූයෙත්, ඇත්තටම එවන් බලවේගයක් තිබුණි නම් , ඒ මහ පාලු ගෙදර පැ දොලහක් පමණ තනිව විසු පුතුට මට අනතුරක් නොවූයේත්, කුමක් නිසා⁣ ද අර විශාල තලගොයා, මල්ලීදුටු රුව…ඇවිදින හඩ මට අදටත් මහත් කුතුහලයක් ඇති කරවයි. සිත්තර මහත්තයා ඒ කාමරේ දොර වසා තබන්නට කියා කිව්⁣ේ කිසියම් හේතුවක් නිසාමද කියා ඉන්පසු අනන්තවත් මට සිතුනේය
අවුරුද්ද ක් පමණ සිට ඒ ගෙයින් අපි පිටමන් වුනාට පසුව නම් එක එක අය එක එක කතා කිව්වේය. සිත්තර මහත්තයාගේ සීයා ගෙල වැලලාගන ඒ නිවස තුල මැරුණ බවත් ඇසුවේය. දොර ජනෙල් ඇර තිබුණ ත් කවුරුත් ඒ නිවසට නො⁣එන බවත් කිව්වේය. කෙසේ වෙතත් දිනක මම ඒ නිවස ගැන විමසු විට ඒ ප්රදේශයේ ජීවත් වෙන මේ මුහුනු පොත හරහා හමුවූ Irann Krishantha Rukmal Jayathilake කිව්වෙ තවමත් ඒ නිවස ඒ විදිහටම තියෙනා බවය.
මට නම් හිතෙන්නේ කවදක හෝ තව වරක් එහි ගොස් බලන්නට ඇත්නම් කියාමය.
උපුටා ගැනීම: Priyanka Nanayakkara

Read More Like This

PHP Code Snippets Powered By : XYZScripts.com
error: Content is protected !!