ස්නේහය (පෙම් කතා)

Share With Friends

Facebook
WhatsApp
Telegram
LinkedIn
Email

“සුනීතා උඹ මොකක්ද ඔය නටන්න හදන නාඩගම” ගෙට ගොඩවන විටම අම්මා ඇසු ප්‍රශ්නය සුනීතා කම්පනයට පත් කළේය.
” මොකක්ද අම්මේ? ” ඇය පෙරළා ප්‍රශ්න කලේ කුතුහලයෙනි.
” දන්නෙම නෑ තොත්ත බබා” අම්මා ගස්සාගෙන යන්න ගියාය.
සුනීතා නාන කාමරයට වැදුනේ නැවුම් වීමටය. සීතල දිය දහර ගත වෙලා ගනිද්දී ඇයට අමුතුම සිසිලක් ගෙන ආවේය. ඇයට අද දිනය සුවිශේෂය. දිය හිදුනු කතරක අතරමංව සිටි ඇයට නැවුම් බලාපොරොත්තුවක් ගෙන ආවේ ඔහුය. ඇය සිය අත්ල සිඹ බැලුවාය.ඔහුගේ සුවද උණුසුම ඇයට දැනුනි. ඇය ඒ හැගුමෙන් කුල්මත් වූවාය.
” සුනීතා සුනීතා” අම්මාගේ හඬ දෝංකාර දුනි. සුනීතා වහ වහා පිරිසිදු වී පැමිණියාය.
” අම්මා” තිසල් දුවගෙන විත් සුනීතාගේ සායේ එල්ලුනේය. වෙනදාට බරක් ලෙස දැනුනු තම පුතු දෙස නිදහස් මනසින් යුතුව සුනීතාට බලා සිටීමට මං පෑදුවේ ඔහුය. තිසල්ට පියෙකු වීමට ඔහු සතුව සුදුසුකම් ඇති බැව් ඈ දැන සිටියාය.
” මේ උඹ දැනගනින් උඹ අම්මා කෙනෙක්. ළමයින්ගේ මූණේ දැලි ගාන වැඩ කරන්න එපා” අම්මාගේ ඉල්ලීම ඇයව සසල කරවීය.
‘අම්මෙක් වුනත් මටත් ආදරයක් ඕන නැද්ද?’ සුනීතාගේ ඇතුලාන්තයෙන් නැගුනු පැනය ඇසුනේ ඇයට පමණි. දෙලොවක අතරමං වූ ඇය ඇදට ගියේ පුතාවත් තුරුලු කරගෙනය.දහවල තිබූ සැනසීම ඇය කෙරෙහි නොවීය. අම්මලාගේ අනතුරු ඇගවීම් හමුවේ ඇය අසරණ වූ බවක් දැනෙන්නට විය. වෙනදාට දාහය නිවා සිසිලස කැන්දූ විදුලි පංකාවේ කිරි කිරිය ඇයට මහත් හිසරදයක් ලෙස දැනුනි.නිදන්නට තරම් හැගුමක් ඇයට නොවුනු බැවින් ඇය ඇදෙන් බැස පුටුවකට බර වූවාය.
ජංගම දුරකථනයේ ඇමතුම් දහයකි. කෙටි පණිවිඩද ඒලෙසමය. ඇය ඇමතුමක් ගත් සැනින් “මොකද ඔයාට වුනේ. ඇයි මොකක්ද ප්‍රශ්නේ.මගෙන් වරදක්වත් වුනාද?” ඔහුගෙන් ප්‍රශ්න වැලකි.
” නැහැ විකුම්, මට චුට්ටක් නිදහසේ ඉන්න ඕන”
” හරි ඔයාට කතා කරන්න හිතුනු වෙලාවක ගන්නකෝ එහෙනම්, පරිස්සමට ඉන්න” ඔහුම ඇමතුම විසන්ධි කලේය.
සුනීතා කැමතිම මේ නිදහසටය. ඇත්තෙන්ම විකුම් ඇයගේ චිත්තවේගයන් සමබර කලේ නිහඩව සිටීමට ඉඩ දෙමිනි.ඔහු තුල වූ විශ්වාසයත් ඒ ඉවසීමත් සුනීතාව ඔහු වෙත ආකර්ෂණය වීමට ප්‍රබලම හේතුවක් විය.
ඇය අල්මාරියේ වූ ඇල්බමය රැගෙන ආවාය. අසේල, අද ඇයට මතකයක් පමණි. දෙපාර්ශවයේම ආශිර්වාද මැද එක වහලක් යටට වූ දෙපලගේ සතුට හොරා ගත් ඒ දිනය සිහි වීමෙන් සුනීතාගේ හිස බමන්නට විය. රිය අනතුරකින් අසේල ඇයව තනි කරද්දී තිසල් සමග සුනීතා සිටියේ තවත් සටනකය. තිසල්ගේ ජන්මයත් අසේලගේ නික්ම යාමත් සමග සුනීතා කම්පනයට ලක්වූවාය. ඇයගේ තනියට සිටියේ ඇගේ වයෝවෘද්ධ මා පියනුත් අසේලගේ දෙමව්පියනුත් පමණි. හිත සනසන වචන වෙනුවට ඇයගේ සිත රිදවන වදන් ඇයගේ මනස ගිලන් කළේය.තම නොදරුවා මහා පව්කාරයකු ලෙස ලෝකයා සලකද්දී සුනීතාට කලහැකි වු එකම දෙය වූයේ ඇගේ වේදනාව කඳුළු වල දියකර හැරීම පමණි. අද වන විට තිසල් අවුරුදු සතරක් වයසැති දඟ කොලුපැංචෙකි. තම පියාගෙන් ලද පොකුටු කොණ්ඩයත්, හීනි දිගු දෑසත්, සමේ පාටත් අසේලව සිහිකරවන ලකුණු විය. එය විටෙක සුනීතාට සතුටක් ද විටෙක ලොකු වේදනාවක් ද ඉපැද්දුවේය.සුදු මල්දමක් පලන්දා සිටින අසේලගේ සේයාරුව දෙස බැලූ ඇයට පෙනුනේ ඔහු සිනාසෙමින් ඇයදෙස බලා සිටිනා සෙයකි.
විකුම් සුනීතාගේ කාර්‍යාලයේ සගයකු විය. ඔහු ද තම භාර්‍යාව මියයාමෙන් තම දියණියත් සමග තනිවූ තාත්තෙකි. සුනීතා සමග රාජකාරියේදී ගැටෙද්දී ඇතිවූ දැනහැදින ගැනීම මත සිදු වුවත් වසර දෙකකට පසුව දෙහිත්තුලම මිත්‍රත්වයට එහා ගිය බැදීමක් දක්වා වර්ධනය වී ඇත. භාර්‍යාව මියගියද ඇයගේ දෙමාපියන්ට ඉටුවිය යුතු සියලු යුතුකම් ඉටුකල බෑනෙකුට වඩා පුතෙකුට සමවූ විකුම් ගැන සියලු දෙනා තුලම වූයේ යහපත් ආකල්පයකි. විකුම් හා සුනීතා එකම දිශාවට ඇදෙනා ඔරු දෙකක් වැනිය. වෙන් වෙන්ව යාම වෙනුවට එකම ඔරුවක යාමට ඇත්නම් දෙදෙනාටම පහසුය.
උදෑසන ඈලී මෑලි කමින් සිටි සුනීතාගේ හිසට බර ගතියක් දැනුනි. නින්ද මද ගතියත් සිතේ පීඩාවත් මත වැඩට යාමට තරම් සිතක් ඇයට නොවීය. සුව නින්දේ පසුවන තිසල් දෙස බැලූ ඇයට අසේල සිහියට නැගුණි.’තාත්තාගේ කපාපු පලුව’ ඇයගේ අභ්‍යන්තරයේ හඩ ඇයට දැනුනි. දොරේ සීනුව නාද වීමෙන් සුනීතා කලබල වූවාය. ‘මේ උදේ පාන්දර කවවුදැයි?’ ඇයටම කියා ගනිමින් සීරුවට ඇදෙන් බැස්සාය.
දොර විවර කල ඇය දුටුවේ විකුම් හා ඔහුගේ දියණියත් ඔහුගේ මවත්‍ ය. ඊට පිටුපසින් අසේලගේ අම්මාත් තාත්තාත් වූහ. ගැහෙන හදින් යුතුව ඇය ඔවුන්ට ගෙතුලට කතා කලාය. ඇගේ ඇස අසේලගේ සේයාරුව තුල මදකට නතරවිය. අසේලගේ සුන්දර සිනාවේ හඩ ඇයට කනට වැටුණි. එය සිතේ ඇතිවු මායාවක් ද යන්න ඇයට නිනව්වක් නොවීය.
……………………
‘තිසුවිල කන්ස්ට්‍රක්ෂන්’ ව්‍යාපාරයේ සමාරම්භක දිනය සැමට කාර්‍යබහුල දිනයකි.
” පුතේ අම්මාට වාඩි වෙලා ඉන්න කියන්න.” විකුම්ගේ හඩ කන වැකුනු සුනීතාට මද සිනාවක් පහලවිය.ඇගේ සුරත උදරයට ගියේ නිතැතින්මය. එහි තමාගේත් විකුම්ගේත් ආදරයේ සංකේතය සුවසේ නිදන බැව් ඇයට දැනුනි.
” අම්මේ” ඈ හඩ ආ දෙසට හැරුනාය. දැන් තිසල් සය හැවිරිදි දරුවෙකි.ලතිකා සත් හැවිරිදිය. අක්කාත් මල්ලීත් එකවර හඩනගා දිවවිත් සුනීතාගේ දෙපස සිට ගත්හ.ඇයට ඈ කෙරෙහි සතුටක් මුසු සැනසීමක් දැනුනි. උරහිසට දැනුනු උණුසුම් ස්පර්ශය සුවදායකය. සතර දෙනාගේම දෑස් අභිනව ගොඩනැගිල්ල දෙසට හැරී ඇත.
වෙන්වෙන්ව තැනූ කැදලි විසිරි ගිය පසු තනාගත් මේ කැදැල්ල තුල එකිනෙකාගේ අවබෝධය මත ගොඩනැගුනු විශ්වාසයත් ආදරයත් තුල අනාගතය සවිම්ත් බව සුනීතාට පසක් විය.තිසල්ට පියෙක් මෙන්ම ලතිකාට මවකුත් අද ලැබී ඇත. ලේ ඥාතීන් නොවූ ඔවුන් අද සහෝදරයෝය. ඇය විකුම්ට වත්තම්වී පීත්ත පටිය කපා දැම්මාය.

 

උපුටා ගැනීම: Waruni Kanchana Mahaliyanage

Read More Like This

PHP Code Snippets Powered By : XYZScripts.com
error: Content is protected !!