සා. පෙ අවසන්ය. දැං තිබෙන්නේ උ.පෙ ය. එකට හිටිය උන් වෙන් වෙලාය. සමහරුන්ගෙ පාසැල් ජීවිතය පුල්ස්ටොප්ය. සමහරු තාම අඬනවාය.
අයිලන්ඩ් රෑන්ක් දාන මට්ටමින් හිස උදුම්මවා ගෙන සිටි අය බිමටම ප්ලැට්ය. උන්ගේ මූණවල් දිහා කෙලිං බැලීමට පවා බයය. හරි සෝචනීයය. දොස්තරලා වීමට පෙරුම් පුරමින් සිටි සමහර අයවලුන් සැළලිහිණි සංදේශ විචාරය සඳහා තම හිත හදා ගත්තෝය. ගුරුවරුන්ටද ප්‍රතිඵල අප්රබංසයකි. අනාවැකි බොරු වී ඇත. තරු පොළවේය. හාල්මැස්සන් පියාමැස්සන් වෙලාය.
මේකෙ වෙනියා බලන්නෑ යකෝ යැයි පවසා බ්රයිටාගෙ ගණන් පේපරය උස්සා කොප්ප ගැසූ මැස්සා ද විභාගය ඉහළින් සමත්ය . ඌ මැත්ස් කරන්නට තීරණය කලේ උගෙ සිහින කුමරිය ජීවනීද එය තෝරා ගැනීම නිසාය.
අපේ කාලයේ විභාගයේ ගණිතය හා විද්‍යා විෂයයක් දෙක බැගින් විය. එකක් අමාරු එකය. අනික ලේසි එකය. මට අමාරු ගණිතයට විශිෂ්ඨ සාමාර්ථයකි. ලේසි එකට සාමාර්ථයකි.ඒ මගේ හැටිය. ලේසි දේ අමාරු කර ගැන්මත් අමාරු දේ ලේසි කර ගැන්මත් ජන්ම ගතියය. දැං ඇත්තේ උ.පෙ විෂයයන් තෝරා ගැන්මය. තව දුරටත් ගණිතයට ආසාවක් නැත.
පුලුල් අධ්‍යනයක් කිරීමෙන් පසුව ජීවවිද්‍යාව, කෘෂිවිද්‍යාව හා රසායන විද්‍යාව හැදෑරීමට මා සහ සහචරයින් තීරණය කලේ සාධාරණ කරුණු රැසක් සහිතවය. කණ්ඩායම් තීරණයට පිටුපා භෞතික විද්‍යාව හැදෑරීමට ගිය අතලොස්සක් දෙනාට අප සමාව දුන්නේ මාස හයකට පසුව.භෞතික විද්‍යා ගුරුතුමිය විශ්‍රාම ගිය පසු එම පරිච්ඡේදය ඉගැන්වීමට ගුරුවරයෙක් නොමැති වීමෙන් පසුවය.
ගුරුවරයෙක් නොමැතිව දිනකට කාල පරිච්ඡේද 4 ක් පමණ උන් විඳින සතුට දරා ගැන්මට නොහැකිව මම ද කෘෂි විද්‍යාවට සමුදී භෞතික විද්‍යාවට මාරු උනෙමි. එම මාරු වීමත් කෘෂි ගුරුතුමියට වැල මදුලකින් ගැසීමත් අතර කිසි සම්බන්ධයක් නැති බව මම අද ද දිවුරා පවසමි.
ජීව විද්‍යාව අප කල්ලියේ ප්‍රියතම විෂයය වූයේ ආරම්භයේ පටන්මය. ගුරුතුමියගේ කරුණාවන්ත බාවයත්, ජන්මාන්තරික කුතුහලයත් ජීව විද්‍යා උනන්දුව ප්‍රගුණ කලේය. එක් දිනක අන්වීක්ෂයෙන් සෛල නිරීක්ෂණය පාඩමට “මලා” කාටත් හොරෙන් උගේ ජන්මාණු රැගෙන විත් තිබුනේ දුම් පානය නිසා තම පරම්පරාවට හානියක් වී ඇත්දැයි සැක හැර දැන ගැනීමටය. මලාගේ ආරාධනයෙන් අන්වීක්ෂයට ඇස තැබූ ටානියා ඉස්ගෙඩි පැටව් නැරඹීමට අනෙක් කෙල්ලන්ට ද ආරාධනා කිරීම කෙලවර වූයේ ගුරුතුමිය ට වැඩේ මාට්ටු වීමෙනි.
” බැලුවට කමක් නෑ. ගාපු හැම තැනම හෝදල දාන්න ඕනා” යැයි මලාට නියම කල ඇය ශිෂ්‍ය කේන්ද්‍රීය අධ්‍යාපනය අගය කලාය.
වටේ ගියා ඇතිය.
දැං ඇට සැකිල්ලේ කතා වස්තුව ඉදිරිපත් කරමි..
ජීව විද්‍යා විද්‍යාගාරයේ ඇට සැකිලි දෙකකි. එකක් ඇත්තම ඇට සැකිල්ලකි. අනෙක ප්ලාස්ටික් එකකි. පණ පිටින් ඉන්න උන්ට කොතෙක් හිරිහැර කලත් මළගිය උන්ට එසේ නොකිරීමේ ප්‍රතිපත්තියක් අප සතුවිය. එබැවින් සියලු අඩන්තේට්ටම් වලට ලක් වූයේ ප්ලාස්ටික් ඇටසැකිල්ලය.
කශේරුකාව, ඌර්වස්ථිය, ත්‍රිකාස්ථිය, අනුත්‍රිකාස්ථිය, පර්ශු, අන්වරාස්ථිය, හස්තකුර්චෝපරී වැනි කුණුහරුප නම් වලින් හෙබි අස්ථි පංජරයේ ඇට සියල්ල සදාඅනුස්මරණීයව අද ද සිහියේ තැන්පත්ව ඇත්තේ ඇට සැකිල්ලට කල අපචාර වල පිහිටෙනි.
ඇට සැකිල්ලා දුම් පානයේ රුසියෙකි. ඌ හැමදාම පාඩම පටන් ගන්නට කලියෙං කුමක් හෝ කටේ ගසා ගනී. එය එක්කෝ පැන්සලකි, නැත්නම්, හුණු කූරකි, එසේත් නැත්නම් රෝල් කල පොතක පිටුවකි.
ජීව විද්‍යා ගුරුතුමිය පන්තියට පැමිණි සැනෙන් බලන්නේ ඌ දිහාවය. ඌට කර ඇති අඩංතේට්ටම නිවැරදි කල පසුව පාඩම පටන් ගන්නා පුරුද්දක් ඈට විය. එය සංසාරගත බැඳීමක් විය යුතුය.
එදත් සැකිල්ලාගෙ කටේ හුණු කූරකි. හිස්කබලේ කොස්කොළ ඔටුන්නකි. පුරුදු පරිදිම ඈ නියෝගය දුන්නාය. නියෝග ඉටු කරන්නෙ පතෝලයාය. පතෝලයා මෙලො රහක් නැත. ගුරුවරුන් ට මිස අපට උගෙන් ඇති පලක් නැත. පතෝලය නැගිට ගොස් සැකිල්ලාගෙ දුම් බටය පැහැර ගත්තේය. පැලැදූ ඔටුන්න ඩැහැගත්තේය.
ඈ නොදුටු යමක් ඌ දුටුවේය.
මොකෙක් හෝ නොසන්ඩාලයෙක් සැකිල්ලාට කොටු කොටු අමුඩයක් ගසාලාය. “ටීචර් මේ ලේන්සුව” යැයි පතෝලයා පවසනවාත් සමඟම තම ලේන්සුව පික්පොකට් කර සැකිල්ලාට අමුඩය ගසා ඇති බව දුටු ටානියා වහා ක්‍රියාත්මක විය. වහා පැන අමුඩ ලේන්සුව කඩා තම අතට ගත්තාය.
තත්වය සෝචනීයය. සැකිල්ලා නිරුවත්ය.
අමුඩයට යටින් ශ්‍රෝණි මේඛලාව අලංකාරවත් කරමින් තඩි වම්බටු ගෙඩියකි. ටානියා පතෝලයාට රෞද්‍ර බැල්මක් එල්ල කර වාඩි විය.

පතෝලයා සිහි මූර්ජා වීමට මෙනි. ඌට මේවා දරා ගත නොහැක.අමාරුවෙන් ඌට පුටුව පෙන්නූයේ මාය.
ගුරුතුමිය ට දිව හපාගෙන හිනාය.
අපට පෙන්වීමට බැරි කමට ඇය කලු ලෑල්ල දෙසට හැරී පාඩමක් පටන් ගත්තාය.

එදා පටන් සැකිල්ලා ගුරු මේසය අසලින් ස්ථාන ගත විය.
ප.ලි- එවැනි දහපදුරා වැඩ වලට මාගේ කිසි සම්බන්ධයක් නොමැත.
උපුටා ගැනීම: Vidura Wickramasinghe