කාන්තා දිනය වෙනුවෙනි.
ගැණු ජාතිය
ජරා ජාතිය
ගලේ ගහපිය
මරාදාපිය!
පුංචි පංතිවල පාසල් සිසුවන් සම වයසේ එදා සිසුවියන්ට ඇහෙන්නට පංතිකාමරයේ සිට මෙසේ කී බව අමතකද?
කොහොමද මේ හැඟීම මේ තරම්ම පොඩි පිරිමි හිත්වලට ඇතුලු වුණේ.? පොඩ්ඩක් හිතන්න.
පෙරපාසල් වයසේ දරුවන් අතරේ ගෑණු පිරිමි හැඟීම් නැත. හැමෝම එකය. හරි පුදුම ඉස්කෝලේ නාන සෙල්ලම වගේ ය. පෙරපාසලේ කෙල්ල පෙරපාසලේ කොල්ලාට වැටෙන්නට දෙන්නේ එක පහරකි. ඒ කෙල්ල ම ඇඟෙන් ටික ටික ලොකුවෙද්දී සමානව උස යන අර ගුටිකාපු කොල්ලා ඉදිරියේදී ම දළුලන මේ
‘ගැහැණු බය’ කොහෙන් එන එකක්ද.? පිරිමි දෑත් විසින් ගැහැණු උරහිස තදකරද්දී නිහඬව බිම බලාගන්නා ඇස් ගැහැණුන්ට එන්නේ කොතැනින්ද..?
සමරන අතරතුරේ ම සොයාබැලිය යුත්තේ මේවාය ඔය ජාත්යන්තර කාන්තා දිනයේදී.
අම්මා බුදුවේවා යැයි ත්රීවිලරයේ පසුපසත් ලියාගෙන යන මේ පිරිමි සමාජය නරකට පත්වන්නේ කොතැනින් ද.? තැන් නම් එමට ඇත. දැනට එකක් ලියමි.
ප්රාථමික ශ්රේණි (අ)ධ්යාපනය පටන්ගන්නේ ම ගැහැණු පිරිමි ළමුන් පංතිකාමරයේ දෙපැත්තකට කරමිනි. ළමා මනෝවිද්යාව යහමින් පාඩම්කළ මේ ගුරුවරු ඒ කරන්නේ ම ළමා සිතට අපයෝජනයකි. විරසකයකි. එකිනෙකාගේ අනවබෝධය වැඩිකිරීමට තාප්ප බැඳීමකි.
මෙසේ කරන ගුරුවරයා පංතියේ වැරැද්දක් කරන පිරිමි ළමයාට දඬුවම සේ දෙන්නේ ඒ පිරිමි ළමයාව පංතියේ සිටින ගැහැණු දරුවන් දෙදෙනෙකු මැදින් වාඩිකරවීමය.
ළමා මනෝ විද්යාව ගැන ජින් පියාජේ ගැන නිදිමරාගෙන පාඩම්කළ මේ ගුරුවරු කරන්නේ කුමක්ද.? පිරිමි ළමා මනසේ ගැහැණු ශරීරයක් යනු ම දඬුවමකි කියා අමතක නොවන සේ කොටා තැබීම නොවේද. ඒ දඬුවම විසින් අර පිරිමි ළමා මනස තුළ ගැහැණු ශරීරය ගැන රෝපණය කරන්නේ ම ප්රතිවිරෝධයයි. තරහවයි. ද්වේශයයි. නොසළකා සිටීමයි. ළමයා ලොකුවන තරමට ඒ හැඟීම් ද ස්ත්රී ඇඟවල් ඇති අය ට එරෙහිව ලොකුවෙති.
පිරිමි කටවල් වලින් ඉතින් අම්මා බුදුවේවා කියා කියවුණාට බිරිඳ,ගැහැණිය, ස්ත්රීත්වය ගැන මෝදුවන්නේ ම අර කෙල්ලන් දෙන්නෙක් මැදින් තමන්ව වාඩිකරවා ගුරුතුමිය දුන් දඬුවම දා හිතේ පැළවූ නොගැලපීමම ය. නොඑකඟතාවම.
කාන්තා හිංසනය නතරකරන්නට නම් පාසලේ සිට මේ හිතාමතා මෝදුකරන ගැහැණු පිරිමි විරසකය නතරකරන්නට ඉල්ලමු. පෙරපාසලේ අර පොඩි කෙල්ල සහ කොල්ලා අතර ඇති ඒ සමීපකම උසස් පෙළ පන්තිය දක්වාද එකදිගට එළෙසම පවත්වාගෙන යන්නට අවශ්ය පරිසර සාධකය ගුරුවරයා ප්රමුඛ වැඩිහිටියන් විසින් තම මෝඩකම් තේරුම්ගෙන ගොඩනැඟිය යුතුය. යුතුම ය. සංස්කෘතිය,ආගම නැමති වටිනා සංකල්ප ද අපචාරයට ලක් කරමින් ඒවායේ කියවෙනා සේ යැයි බේගල් ඇද නොබා කෙලිපැටව් කොලුපැටව් වයසේ සිට ම එවුන්ට එකට ඉන්නට,කන්නට, බොන්නට, ගැවසෙන්නට ඉඩ තිබෙන පරිසරයක් වෙනුවෙන් මහ සමාජය ක්රියාත්මක විය යුතුය.
හපොයි! එහෙම වුණොත් අර කුණුහරපෙ වෙනවා නොවේදැයි ඇස් ලොකුකරගෙන හිතන කෙනෙක් වේ නම් මම ඒ අයට මෙසේ කියන්නම්.
එක,,
ඒ හිතෙන එක කිසිවිටෙකවත් කුණුහරපයක් නම් නොවන බවය.
දෙක,,
කුඩාකළ සිට එසේ ලංව සිටිද්දී ඒ කියන එක ඔය කියන හැඩවලින් සිදුනොවන බවය.
උපුටා ගැනීම: උදයා දේවාමුල්ල