ඉන්දියානා ජෝන්ස්, ජුරාසික් පාක්, ටින් ටින් ජෝස් (Jaws) වැනි චිත්රපට ලොවට දායාද කළ මහා සිනමාකරු ස්ටීවන් ස්පීල්බර්ග්. දවසක් ඔහු බාර් එකක බියර් තොල ගාමින් සිටින අවස්ථාවක චීන ජාතිකයෙක් ද එහි පැමිණියා.
ස්පීල්බර්ගේ චිත්රපට රැසක නම් චීනාගේ මතකයට ආවා. ඔහු ඒ සිනමා සිත්තම්වලට බෙහෙවින් ආදරය කළා. ඒවායේ නිර්මාණකාරයා, ස්පීල්බර්ග්ටත් ආදරය කළා.
”මේක නම් කලාතුරකින් ලැබෙන අවස්ථාවක්.” චීනාට සිතුණා.
සමරු පොත අතට ගත් චීනා මහා චිත්රපට අධ්යක්ෂකවරයා දෙසට දුව ගියා. ”සර්. මගේ ජීවිතේ ම මතක හිටින්න මොකක් හරි ලියලා දෙන්ඩ. අත්සන් කරලා දෙන්න.” චීනා බැගෑපත් වුණා.
කැඩුණු ඉංග්රීසියෙන්, තේරුම් ගන්න අපහසු ආකාරයට තමා ඇමතූ මිනිසා දෙස ස්පීල්බර්ග් බලා සිටියා. සමරු පොත අත්සන් කරනු වෙනුවට, අත දිග හැර හොඳවයින් කම්මුල් පාරක් දුන්නා.
”තොපි, චීන්නු.. තොපි තමයි පර්ල් වරායට බෝම්බ දැම්මේ. පලයන් යන්න මෙතැනින්.” ස්පීල්බර්ග් කෝපයෙන් කෑ ගැසුවා.
”සර්. මාත් එක්ක කෝප ගන්න එක හරි නෑ නෙ. චීන්නු නෙවෙයි පර්ල් වරායට බෝම්බ දැම්මෙ. ජපන්නු.” චීනා දුක්මුසු ස්වරයෙන් කිව්වා.
”චයිනීස්, ජැපනීස්, තායිවානීස් …. මට උන් ඔක්කොම එකයි.” ස්පීල්බර්ග් පිළිතුරු දුන්නා.
චීනා මොහාතක් අධ්යක්ෂවරයා දෙස බලා සිටියා. දකුණු අත එසෙව්වා. දුන්නා ඔහුට කම්මුල් පාරක්. සැර එකක්.
”උඹ තමයි ටයිටැනික් නැව ගිල්ලුවෙ. මගේ සීයලා, ආච්චිලා ඒ නැවේ හිටියා.”
”මං වෙන්නෙ කොහොමද? අයිස්බර්ග් (Iceberg) එකක් තමයි නැව ගිල්ලුවෙ. මං නෙවෙයි.” ස්පීල්බර්ග් නිදහසට කරුණු කිව්වා.
”අයිස්බර්ග්, ස්පීල්බර්ග්, කාල්ස්බර්ග්…. ඔක්කොම එකයි.” චිනා අනෙක් කම්මුලටත් පාරක් දුන්නා.
උපුටා ගැනීම: මහින්ද ගුණවර්ධන.