ගම හරහා දිවීම…. (වැල් වටාරම්)

Share With Friends

Facebook
WhatsApp
Telegram
LinkedIn
Email
ඔයාලා හිතන්නෙ ගම හරහා දුවන්නෙ සිංහල දෙමළ අලුත් අවුරුද්දට කියල නේද, අපොයි අපි නම් එහෙම නෑ.අපෙ ගෙදර ඈයො හිටි හැටියෙ ගම හරහ දුවනව ඕන්.ඒ ඉතින් අපෙ දඩෝරිස්ගෙ හපන්කම් නිසා.
දඩෝරිස්ගෙ නම ලියෝ.
ලියෝ තුමා හරි හෝදිසියෙන් හැම වෙලාවෙම ඉන්නෙ.එක තැනක නම් ඉන්න බෑමයි. නළියනව.එහාට දුවනව.මෙහාට දුවනව. ගේට්ටුවට යටින් පාර දිහා බලන් ඉන්නව. ඇති උනාම බැල්කනියට ගිහින් උඩින් පාර දිහා බලන් ඉන්නව. ඕව තමා රාජකාරි. වටේ පිටේ ඕප දූප හොයන්න තියෙනව නම් කෑමත් ඕනෙ නෑ.සැරින් සැරේ අපි ඉස්සරහ පෙනී ඉදල එයාගෙ ගෙදරට අපි ඇවිත් ඉන්නෙ වගේ බැල්මක් දාල යනව.හැබැයි ඔන්න මොන තරම් වැඩ්ඩෙක් උණත් ලියෝ තුමාටත් නීති තිබුණ ඒව ඉහළින් ආව නීති තමා ඕන්… ඒ කීවෙ අප්පච්චි දාල තියෙන නීති.
“මොන හේතුවකටවත් බවුස්ට ගෙට්ටුවෙන් එළියට යෑම තහනම්” ඒ තමා පළවෙනි නීතිය. ගෙදර වටේම බැම්ම තියෙන නිසා එයාට ඕනි විදියට ඉන්න පුළුවන්.. ලියෝ තුමා අකමැතිම නීතියත් ඒක තමා. කොයි වෙලේද ගේට්ටුවෙන් එළියට පැන ගන්නෙ කියල තමා උන්දෑ බලන් ඉන්නෙ,
එකමත් එක සාමකාමී නිවාඩු දවසක උදේ ලියෝ තුමත් ඉතින් ගේට්ටුවට උඩින් ගේට්ටුවට යටින් ඕප දූප බල බලා හිටියෙ.ඒ අතරම අම්මා මල් පැළ වලට සාත්තු කරන හැටිත් අධීක්ෂණය කරන ගමන් ඒවටත් සැරින් සැරේ තෙත හොම්බ ගගහ තමා එතුම හිටියෙ.අනේ මට කියල නම් ලියෝට තරම් රාජකාරි එදා තිබුනෙ නෑ. ඉස්කෝලෙ නිවාඩු නිසා ටිකක් වෙලා ගිහින් නැගිටලා අම්ම හදල දුන්නු තේ එක බිබී තමයි මමත් හිටියෙ.රෑ එළි වෙනකල් එසයිමන්ට් එකක් කරපු අපේ නගා ඇදෙන් බහින්න හිතලවත් තිබුණෙ නෑ ඕන්.ඔය අල්ලපනල්ලෙ තමා කලින් සතියෙ ඕඩර් කරපු සෝෆා එක ගේනවා කියල කෝල් එක ආවෙ.. දැන් ඒ වාහනේ ගන්න ගේට්ටු අරින්න එපැයි.
රාජකාරි කර කර හිටිය ලියෝ තුමා අල්ලගන්න එක තමා අමාරුම වැඩේ.
“සුදු පුතා, කිරි පුතා, ලියෝ, ලියුන්, සූටික්කා, බට්ටිච්චගෙ ඉදන් ගස් ගෝනා, බලු තඩියා , මැට්ටා ආදී එකී මෙකී නොකී නම් වරුසාවක් කියාගෙන ගේ වටේ රවුම් දෙක තුනක් දුවල උන්නාන්සෙ අල්ලගත්ත අන්තිමෙ.ඇයි අනේ ඔහොමත් කැරකිල්ල හැදෙනකල් ගේ වටේ දුවන්න පුළුවන්ද,අනික අල්ලගන්න හදනකොටම අගර දගර ඩාන්ස් දදා එහාටයි මෙහාටයි පැන පැන, මේ උදේ පාන්දර, අන්තිමේ නැට්ටෙන් ඇදල අල්ලලා ගෙට දාල දොර වැහුව .
ඕන් ඉතින් පැය භාගයක් විතර ගියා. ආපු කස්ටිය වැඩේ ඉවර කරල ගියා. ගෙට දැම්ම ලියෝ එළියෙ මොනාද වෙන්නෙ කියල බලන්න බැරුව දුක කියන ගමන් දෙරේ හැන්ඩ්ල් එකට අතින් ගගහ හිටියෙ.
බව්.බව්ව්.බුහ් ..
අපි ඉතින් කාන්තාවොනෙ. කාන්තා ගතිය කොයි වෙලේ හරි එළියට එනවනෙ. ඉතින් අම්මයි මමයි නිදි මරගාතෙ හිටිය නංගිවත් ඇහැරවගෙන සෝෆා එකේ හැඩ බලන්න ගියා.අපෙ ගෙදර උඩ තට්ටුවයි පහළයි සෙපරේට් හදල තියෙන්නෙ.ගේ ඇතුලෙන් උඩට යන්න බෑ.ඉතින් පහළ දොර වහල තමා අපි ගියෙ.ඒ ලියෝ ගේ නිසා . අදටත් මතක් කරනකොට දොර හොදට වැහුව කියල තමා මතක. ඒත් වැහුව කීවට වහල තිබුන් නෑ ඕන්.
ලැබුණ අවස්ථාවෙන් උපරිම ප්රයෝජන ගත්තු ලියෝ තුමා තප්පරේට අපිත් පහුකරගෙන ඊය වගේ උඩට ගියා කියලද හිතුවෙ.
නෑ ආයිබොවන්…
අපිත් පහුකරගෙන කෙලින්ම ගේට්ටුවෙන් එළියට දුවල එතනින් කෙළින්ම ප්රධාන පාර පැත්තට දුවන්න ගත්තෙ නැතැයි. ඔලිම්පික් වගෙ උපරිම වේගෙන්.ගේ ඇතුලෙ උන්නු ලියෝ ඊට පස්සෙ තප්පරේ ගේටුවෙන් එළියෙ දුවනව තමයි මම දැක්කෙ.මොකද වෙච්චි ඇබැද්දිය කියල හිතාගන්න බැරුව ගල්වෙලා හිටිය මමයි නංගියි මේ ලෝකෙට ආවෙ අම්ම කෑ ගහගෙන බවුස් පස්සෙ දුවන්න ගත්තම තමා.
ඕන් ඔහොමයි ගම හරහා දිවීමේ මහා තරගය ආරම්භ වුණේ.
ඉතින් බවුස් ඉස්සරහින් දුවනව. ඊට පස්සෙ අම්මා දුවනව.නිකම් නෙවෙයි. බවුස්ට බැන බැන.” හිටහන් මට අහු වෙනකල් අද කෝටුමස් කරනව. දවසම ගැට ගහල තියනව.කන්න දෙන්නෙ නෑ.. බ්ලා…බ්ලා… “
ඊට පස්සෙ නංගි දුවනවා … ඒත් නිකම් නෙවෙ.බවු උතුමාණන්ට ආයාචනා කර කර… ” අනේ ලියුන් ඔහොම නතර වෙන්නකෝ. ඔයා හොදයිනෙ. කියන දේ අහනවනෙ.බ්ලා… බ්ලා…”
මමත් ඉතින් ඔක්කොටම පස්සෙ දුවනව… ” අනේ අම්මා ලියුන්ට ගහන්න නම් එපා හොදේ…බ්ලා… බ්ලා…”
මේ බවුස් නෙමෙ අපි කියන ඒව කනකට ගත්තෙ . මේ උන්දෑ වේගෙ අඩු කරෙත් නෑ. කෙළින්ම ප්රධාන පාර දිහාවට දුවනව. මේ උදේ පාන්දර මොන නාඩගමක්ද මේ කියල බලන්න දැන් දැන් අහල පහල ඈයොත් ගෙවල් වලින් එළියට ඇවිත්.ඇයි ඇයි අහගෙන දෙතුන් දෙනෙක් පස්සෙනුත් එනව. ඇයි අනෙ රොකට් එකක් වගෙ දුවන බවුස් දැක්කෙ නැද්ද අෆ්ෆා. ඉස්සරහට මුණ ගැහෙන අයට අම්ම කෑ ගහනව .
“අනේ ඕකව අල්ල ගන්න . හපන්නෙ නෑ ඔය සතා, පාරක් ගහල හරි .කොහොම හරි.”
ඒත් ඉතින් මේ කොහෙවත් යන දඩෝරිස් කෙනෙක් අල්ලන්න ගිහින් හැපුම් කන්න කවුද කැමති. ඉස්සරහට හම්බවෙන හැමෝම පාරෙන් අයින් වෙනව.කොහොමින් කොහොම හරි මීටර් දෙසීයක් තුන්සීයක් විතර දුවල දුවල දැන් ප්රධාන පාරත් පේන මානෙ. මේ උන්දෑ කෙළින්ම පාරට දුවනව.
දැන් දැන් අම්මට ඇඩෙන්නත් එනව.ඇයි මේ බුල්ලා පාරට පැන්නොත්.
ඔන්න ඔය වෙලාවෙ තමා මේ ජරමරේ දෙවියන්ට පෙනුණෙ.කවර කවමදාවත් පාරට ගිහින් නැති අපෙ දඩෝරිස් හෝන් ගහගෙන ආව ටිපර් එකකට බය වෙලා දුවන දිශාව වෙනස් කරල පාර අයිනෙ තිබුන කඩයක් පැත්තට දුවන්න ගත්තා.හැබැයි ඉතින් ඒ පැත්තෙ දුවන්න තැනක් තිබුනෙ නෑ. බලුස් කඩේ දොර ළගදි අම්මට අහුවුනා.අම්ම දුන්න පස්ස රත් වෙන්න කෝටු පාරවල් දෙක තුනක්.කොහෙ තිබුණු කෝටුවක්ද මන්ද .ඉතින් නාට්ය බලන්න ආව ප්රේක්ෂකයො කෑ ගහනව අම්මට..
” අක්කෙ ගහන්න එපා හපයි.. හපයි… “
අන්න එතකොට තමා මම හරියට වට පිට බැලුවෙ.තත්වය කොයි තරම් ශෝචනීයයිද කියනව නම් කඩේ අයිතිකාර උන්දෑ හිටියෙ පුටුවක් උඩ.ඇයි මේ හතර රියන් දඩෝරියා හපල දැම්මොත්.ඒත් ඉතින් පුටුවක් උඩ නැගල මේ දඩෝරිස්ගෙන් බේරෙන්න බෑ කියල ඒ මනුස්සයට මේ අවු අස්සෙ වැටහිලා නෑ… මොකද මේ බව් උන්දෑ වයසින් පොඩි උනාට හතර රියන් නාම්බෙක්… කොහොමින් කොහොම හරි පස්සට දෙක තුනක් දීල ඉස්සරහ කකුල් දෙකෙන් උස්සල අල්ලගෙන දැන් ඉතින් මේ උතුම ගෙදර එක්ක යනව.නගයි මමයි පස්සෙන් යනව පෙරහැරෙ වගෙ .මගක් එනකොට නගාට හිකිස් ගාල හිනාවක් පැන්නා.මෙහ් ඔයාගෙ හැටි බලන්නකෝ අක්කී. නගා කියපි.
ඇයි,
ඇයි, මට මොකද වෙලා තියෙන්නෙ.ටිකක් හති දාගෙන දාඩිය පෙරාගෙන තමා ඉතින්.
ඔය වෙලාවෙ තමා මම පියවි සිහියට ආවෙ.දෙයියනේ කියල කොන්ඩෙ කඩාගෙන. සෙරෙප්පු දෙකත් නැතුව.තේ කෝප්පෙත් අතේ.
” අන්න ඔයාගෙ ගෝලයො බලන් ඉන්නව” ඒ අස්සෙ නංගි කීව. දැන් නම් පොළව පළාගෙන පළාගෙන යන්න හිතයි.ඇයි දෙයියනේ මම සදුදට ඉස්කෝලෙ ගිහින් උගන්නන්න එපැයි. මම ඉතින් ගෙදර කොහොම හිටියත් ගේට්ටුවෙන් එළියට ගිය ගමන් හෙන තැම්පත්. වැස්සකටවත් දුවන්නෙ නැති හරිම ශීලාචාර ආචාර සම්පන්න ගුරුතුමියක්. අද නම් මගෙ ප්රතිරූපෙ කැඩිල බිදිල ඇහිද ගන්න කෑලිවත් නෑ ඕන්. අම්මප මේ බල්ල. එන තරහ ඉතින්. මැරුවත් බලන්නෙ නෑ නෑමයි.මම නෙවෙ බේරන්නෙ.
කොහොමින් කොහොම හරි ගම හරහ දිවීමෙ තරගෙ අවසන්.ලියෝව ඇදගෙන ඇවිත් ගේට්ටුවත් වැහුව.බලන්න ආව කස්ටිය විසිර ගියා, දැන් නඩු අහන වෙලාව,
“ගෙට ගන්නව එහෙම නෙවෙයි බල්ලව. කතා කරන්න එපා අද දවසම” අම්මා වරදට දඩුවම් නියම කරනව.ඒ අස්සෙ මූණත් නොරොක් කරන් නංගියි මගෙයි දිහා බලනව.
” මම කියල තියෙනව සිහියෙන් වැඩ කරන්න කියලා. ටීචර් කෙනෙක් නේද. බ්ලා… බ්ලා… ඒ කියන්නෙ මට…
” හැමදාම කියනව දවල් වෙනකල් නිදා ගන්න එපා කියල… තියෙන වැඩක් දවල්ට කරන්න බැරිද… ඊට පස්සෙ මෙතන නිදිමරගාතෙ විකාර කරනව…බ්ලා.. බ්ලා… ඒ නංගිට.
ඔය බලු ගෙඩිය මොනා කරත් අන්තිමෙ මේ අහිංසක අපි දෙන්න තමා බැනුම් අහන්නෙ..
අපි දෙන්නගෙ විතරද එතකොට සම්පූර්ණ වැරැද්ද. ඇයි වදේ ඔය බලු ගෙඩියට දුවන්න ගම හරහා දිවීමේ මහා තරගය සංවිධානය කලේ අපිද.
” සුදු පුතා එන්න බෝ නාවන්න යන්න, පාරෙ දූවිලි, කෑවෙත් නෑ නේද උදේට, නාලම කමු හොදේ ” ඒ කියන්නෙ මේ තප්පරේකට කලින් හොද නැටුමක් නටපු බවුස්ට.
ඇද්ද ඔය දෙන්නට…අපි දිහාට ඔන්න ඔය වගෙ පල් බලු බැල්මක් දගෙන ලියෝ උතුමාණනුත් ගිහින් සැපට නාගත්ත ඕන්.
උපුටා ගැනීම:  Rangila Kusangi

Read More Like This

PHP Code Snippets Powered By : XYZScripts.com
error: Content is protected !!