මේක පොඩි කතාවක්. මීට ටික දවසකට කලින් ලියලා තිබ්බ තක්ෂිලාගේ මීයාගේ කතාව (තක්ෂිලා මීයෙක් ගැන ලියපු කතාව) කෙයෙව්වම මීට කාලෙකට කලින් මගේ හිතෙවතෙක් කියපු සුපිරි කතාවක් මතක් උනා.
මේකේ කතා නායකයා බැංකු නිළධාරියෙක් වගේම එයාගේ බිරිඳත් බැංකු නිළධාරිනියක්. දෙන්නම ඉතින් ටිකක් දුර ශාඛාවල් වල වැඩ කරලා ගෙදර එද්දී රෑ වෙනවා. ඒ ගෙදරත් ටිකක් වලව් තාලේ පරණ ගෙයක්. මේ මගේ හිතවතා සත්තුන්ට පුදුම ආදරයක් තියෙන්නේ. කොටින්ම මදුරුවෙක් වත් මරන්නේ නෑ. ෆුල්ම අවිහින්සාවාදියා.
මේ ගෙදර ටිකක් මීයෝ ඉන්නවා. එහෙම හිටියත් කවදාවත් මී කතුරක් පාවිච්චි කරන්නේ නෑ. ඒ වෙනුවට මී පෙට්ටිය කියල අයිටම් එකක් තමයි පාවිච්චි කරන්නේ. පොල් කෑල්ලක් මේකට ගහන්න ඕන. එතකොට මීයා පොල් කෑල්ල කන්න ආවම ඒ පෙට්ටිය වැහෙනවා මීයා ඇතුලේ. ඊට පස්සේ මෙයා මීයා ගෙනිහින් කැලේකට දානවා. ඔය වගේ ඩයල් එකක්.
කොහොම හරි එදා මෙයාගේ වයිෆ් ලෙඩ වෙලා කලින් නිදාගෙන. මිනිහත් නිදාගන්න ගිහින් ටික වෙලාවකින් මීයෝ කානිවල් එක පටන්ගෙන. දැන් මෙරිගෝ රවුන්ඩ්, කතුරු ඔන්චිල්ලා, රෝලර් කෝස්ටර්ස් ඔක්කොම යන අතරේ තව මීයෝ සෙට් එකක් මාරක ලිඳේ මෝටර් බයිසිකල් පදින එක බලන්න ටිකට් ගන්න පොරකනවත් ඇහෙනවලු. එතකොට තමයි මිනිහට මතක් වෙලා තියෙන්නේ යකෝ මී පෙට්ටියට පොල් කෑල්ල ගැහුවේ නෑ නේද කියලා.
ඒත් එතකොටත් ලයිටුත් ඕෆ් කරලා ඇඳේලු. පස්සේ මිනිහා කල්පනා කරාලු වයිෆ් අවදි උනොත් පවුනේ. ලෙඩ වෙලත් නිදාගනිපු එකනේ කියලා. ඒත් කානිවල් එකේ මියුසිකල් ශෝ එකත් පටන් ගනිපු නිසා මී පෙට්ටියට පොල් කෑල්ලක් ගහලා එන්න හිතුවලු. ඒත් දැන් ලයිට් දාන්න ගියොත් වයිෆ් අවදි වෙන නිසා ලයිට් නොදා යන්න හිතුවලු.
මෙතන ඉඳලා ලියන්නේ මට කියපු විදියටමයි.
දැන් මම ඔන්න හෙමී..න් ඇඳෙන් බැස්සා. මේ රෙද්දේ ඇඳවල් රාජසිංහ රජ කාලේ ඒවා නිසා හැරුනත් ජර බර ගානවා. ඒක නිසා හෙමීන් බැහැලා බැලුවා වයිෆ් දිහා. නෑ.. අවුලක් නෑ.. එයා නිදි.
මට කුස්සියට ලයිට් නැතුව යන්න පුලුවන්නේ. ඒක නිසා මම දැන් හෙමින්.. හෙමින්.. හෙමින් අඩි තිය තිය කාමරේ දොර ලඟට ගියා. ගිහින් හැරිලා බැලුවා. අවුලක් නෑ. වයිෆ් නිදි. කුස්සිය ලඟම කාමරේ නිසා මේ මගුලේ ලයිට් එක දාන්නත් බෑ. කාමරේට එළිය වැටෙනවා. ඒක නිසා කුස්සියේ ලයිට් එකත් නොදා හෙමීන් ගියා ෆ්රිජ් එක ලඟට. මොකද පොල් කෑල්ල තියෙන්නේ ෆ්රිජ් එකේ නිසා.
හෙමීන් ෆ්රිජ් එක ඇරියා. පොල් කෑල්ල තියෙනවා පිටිපස්සෙම. ඉස්සරහා තව දහසක් දේවල්. හෙමින් එකින් එක බිමින් තියලා පොල් කෑල්ල අතට ගත්තා. හම්මෝ ඒ සැප. ඊට පස්සේ අර බඩු ටික හෙමීන් තිබ්බා ආයෙත් ෆ්රිජ් එකේ.
මල මගුලයි. පොල් කෑල්ලක් ගලවා ගන්න පිහිය හොයා ගන්න බෑ. දැන් ඒකට ලයිට් දැම්මොත් මෙච්චර වෙලා පරිස්සමෙන් කරපු කිසි දෙයක් වැඩක් නැතුව යනවා. එක පාරට මතක් උනා යකෝ .. මේ තරම් දත් ඇඳි දෙකක් තියෙද්දී මොකටද පිහි කියලා.
එහෙම හිතලා පොල් කෑල්ල කටේ තිබ්බා විතරයි කුස්සියේ ලයිට් එක පත්තු උනා. මම පොල් බෑයත් කටින් හපාගෙන ස්විච් එක පැත්තට හැරෙනකොට වයිෆ් ඉන්නවා ඉනටත් අත් දෙක තියාගෙන.
පොල් කෑල්ල තාම කටේ.
අනේ.. අනේ.. ඕයි .. තමුසෙට ලැජ්ජා නෑනේ. ශික් මේ වගේ පිරිමි. මේ මහ රෑ හොරාට පොල් කන්න. ලොකු ලමයි දෙන්නෙකුත් ඉන්නවා නේද? තාම හොරාට පොල් කන්නේ.
ලොකු පුතා පොඩි පුතා දිහා බලනවලු.
අඩෝ වයි බං තාත්තා හොරාට පොල් කන්නේ වගේ සීන් එකක.
උපුටා ගැනීම: Sajitha Roshan