අද තෝරාගත් ගීතයෙන් කියවෙන්නෙ ආගමික සීමා මායිම් වලින් බැද ඇති ආදරයක් ගැන. මේ ගීතය රචනාකලේ නජාත් අක්රම් සොහොයුරා. සංගීතය තරිදු දම්සර සොහොයුරා. ගායනය දුෂානි මධුෂිකා සොයුරිය.
හිමිකමක් නැති
සිහිනයක් දැක
නුඹ මගේ යැයි නොකියමි
හිස් වසන ෆර්දාව
ඇස් වසා බැඳි දිනෙක
රාමලානයේ සඳ මියැදුණි
මේ කියන කාන්තාව හිමිකමක් නොමැති සිහිනයකට ආදරය කරනවා. අපිට උපකල්පනය කරන්න පුලුවන් එයට හේතුව වෙනත් ආගමක තරුණයෙකුට ආදරය කිරීම කියල. ඉතින් අපි මනුස්සයෝය කියන කරුණ සිංහල ද්රවිඩ මුස්ලිම් යන පදනම් මත දෙදරා ඇති බව ඉදිරි පද දෙකෙන් කියවෙනවා. හිස වසන ෆර්දාව ඇස් වසාගත් දිනයක රාමලාන් සද හෙවත් අදරය මියදුන බවක් කියනවා. මෙය හුදෙක් ෆර්දාවක් ඇසේ බැදගැනීමක් නොවෙයි. මෙහි ෆර්දාවෙන් සංකේතවත් කරන්නේ ආගමික විශ්වාසයි. එය සියලු ජාතීන්ට පොදු සාදකයක්. මෙම ජාති ප්රශ්නය ආදරය වැනි මානුෂීය දෙයකට මැදිහත් වීම කොයි තරම් අභාග්යසම්පන්නද?
“සිහිනයෙක මැවෙන මිරිඟුවක් සොයමි
ක්ශේමයක් නොදුටු සව්මයේ
සීතල ම රැයෙක උණුහුම් ම කඳුළ
සහරයේ මැද ඇහැරමි”
මේ ආදරය සැබෑ නොවන්නක් බව මේ තරුණියට තේරුම් යනවා. ඉතින් සව්මය නැමති නෝම්බි කාල සීමාව, උතුම් රාමලාන් මාසයේ කොතෙක් සෙනෙහස වැපිරුවද තමන්ගේ ආදරයට වටිනාකමක්, ක්ෂේම භූමියක් ඇයට හමු නොවන බව මෙන්ම සිහිනයක් මිරිගුවක් වගේ ආදරයක් පසුපස ඇය ලුහුබැද යනව බව ඇයට වැටහෙනවා. නෝම්බි කාලසීමාවේ උදෑසන හතරට ආහාරගෙන යාඥාකොට අවසන් කර ඇය එලිවනතෙක් නිදි වර්ජිතව තම ආදරය ගැන කදුලු සලන බව කියවෙනවා.
“ප්රේමයක් නොදත් හදවතක්
කර්කශ ම රළු පොළොවකී
සබඳ, ආදරය ඊමානයෙම කොටසකී”
ඒ වගේම ඇයට සිතෙනව ආදරයක් නැති ජීවිතය කර්කශ පොලවක් වගේ කියල. මේ කර්කශ පොලවට වැටෙන දියබිදු තමයි ආදරය කියන්නෙ එතුලින් බොහෝ තෘප්තිමත් ජීවිතයක් ගතකල හැකිබව නොරහසක්. මෙහි ඊමානය යනු විශ්වාසයි. එහි විශ්වාස කිරීමට කරුණු හතක්ද පිලිපැදීමට කරුණු පහක්ද ඇතිබව කියවේ. එමෙන්ම සඳකා යන කොටසට අනිත් අයට උපකාර කිරීම, දානමය පිංකම් ආදිය ඇතුලත්. පරෝපකාරය, ආදරය කරුණාව වැනි දේවල්ද මේ විශ්වාසයට ඇතුලත් බව තරුණිය අවධාරණය කරනවා. ඉතින් ආගමේ නාමයෙන් මේ තරුණියට තහංචි බදින ආදරය තම ආගමේම කොටසක් බව ඇය ලොවට කියා සිටිනවා.
“නැවතුමක් නොදැන දිග ගඟක් ගලන
ඉරිතැලුණු මිටියාවතේ
ලස්සනම මල් පිපෙන බිමක් වේ එහි ප්රේමයේ”
ඇයගෙ ආදරය නම් ගඟ ගලා බසිනවා. සාමාන්යයෙන් ගංගාවක් ගලාබසින්නෙ මුහුද සොයාගෙන. ඉතින් මේ තරුණියගෙ ආදරය නැමති ගඟ තරුණයා නැමති මුහුද සොයාගෙන ගලා බසිනවා. නමුත් නැවතුමක් දන්නෙ නෑ. ගඟ ගලා බසින්නෙ ආගමෙන් ජාතියෙන් ඉරිතැලුන පොළොවක. ඉතින් මේ ඉරිතැලුනු පොලව ගගට මුහුද වෙත යාමට නොදී උරාගනීවිද දන්නෙත් නෑ. නමුත් ලස්සන මල් පිපෙන ප්රේමයට ඉඩකඩක් තිබෙන භූමියක්ද තිබිය හැකි බව තරුණිය කියනවා.
“ස්වර්ගයේ ඊඩන් උද්යානයේ
ආදම් නොදුටු ඇපල් තවමත් තිබේ”
ස්ලාම්, යුදෙව්, කිතුනු යන දේවවාදී ආගම් වලට අනුව ලොව පහලවූ පලමු පුරුෂයා ආදම්. පලමු ස්ත්රිය ඒවා. එම ඉගැන්වීම් වලට අනුව ඉස්සර පෘථිවියතුල මනුස්ස වාසයක් තිබුනේ නැතිලු. ස්වර්ගයේ තමයි මේ ආදම්, ඒවා දෙදනා ඉදල තියෙන්නෙ. ඒ දෙදනා අතර ආදර සම්බන්ධතාවයක් තිබිල තියෙනවා. ඉතින් දෙවියන් වහන්සේටත් සිතීමේ ශක්තියක් ඇති මිනිසුන් බිහිකිරීමට අරමුණක් තිබිල තියෙනවා. ඒත් මෙයට සාතන් නොහොත් යක්ෂයා කැමති වෙලා නෑ. කිතුනු දහමේ ලුසිෆර් ලෙස හදුන්වන්නෙත් සාතන්මයි. ඒත් දෙවියන් මිනිසුන් මවල ස්වර්ගයේ ඊඩම් උද්යානයේ ජීවත්වීමට ඉඩ දුන්නලු.. එකල ස්වර්ගයේ ඊඩම් උද්යානයේ එක් ඇපල් ගසක ඇපල් කන්නට එපා කියල දෙවියන් වහන්සේ අනතුරු අගවලා තිබුනලු. නමුත් සාතන්ට අවශ්ය උනේ දෙවියන් මවපු සිතීමේ ශක්තිය ඇති මිනිසුන් දෙවියන්ට පිටින් යැවීමලු. ඉතින් ඒවා මුලාකරල සාතන් ඒවා මාර්ගයෙන් ආදම්ට තහනම් ගහේ ඇපල් කන්න ඉඩ සැලැස්සුවා කියල සදහන් වෙනවා. ඉතින් දෙවියන් වහන්සේ දඩුවමක් ලෙස මේ දෙදෙනා පෘථිවියට පිටුවහල් කල බවත් ඒ මගින් මනුස්ස වර්ගයා බිහිවුන බවත් දේවවාදී ආගම් විස්තර කරනවා.
මේ ගීතයේ සදහන් වෙනවා ආදම් නුදුටු ඇපල් ගස් තවමත් ස්වර්ගයේ තිබෙන බව. දේවවාදී ආගමික මතය අනුව සියලුම මනුස්සයන් බිහිවී ඇත්තේ ආදම් එදා ආදරය වෙනුවෙන් කල කැපකිරීම නිසා. එසේ නොමැතිනම් එම සංකල්පය අනුව පෘථිවියතුල කිසිදු මිනිසෙකු නෑ. ඉතින් එවන් කැපකිරීම් කල හැකි අය තව සිටින බව මෙයින් කියවේ යන්න මගේ අදහසයි.
මේ ගීතය තුලින් ආදරය කොටුවී ඇති ආගමික රාමුව මනාව විස්තර වෙනවා. අතීතයේ මුස්ලිම් ජාතිකයින් ලංකාවට වෙලදාමේ පැමිණියේ පිරිමි පුද්ගලයන් පමනයි. ඔව්න් ලංකාවේ සිංහල ද්රවිඩ කාන්තාවන් සමග මුසු වී මුස්ලිම් සමාජය බිහිවී ඇති බව නොරහසක්. අදටත් සමහර නාම අද්යනය කරනවිට මව් පාර්ශ්වයෙන් පැමිනි සිංහල නාම කොටසක් ඇති මුස්ලිම් වරුන් කොතෙකුත් ඇති. සුළු අන්තවාදී පිරිසක් නිසා අපේ පැවති සාමූහිකත්වය පලුදු නොකරගත යුතුයි යන්න මගේ මතයයි. අතීතයේ එක්ව සිටි ජාතීන් අසමගි කිරීමේ උත්සාහයට මුල පුරන්නේ එම ජන කොටස නියෝජනය කරන දේශපාලන නායකයින් බව සියල්ලන්ම දන්නවා. ඉතින් තම සමාජය තුල අන්තවාදය පතුරන, තමන්ට තිබුන නිදහස නැති කල අන්තවාදී නායකයින්ට විරුද්දව එම සමාජය තුලින්ම විරෝදතාවයක් මතු වෙනවානම් මෙවන් විරසකයක් නොවේවි.
පසුගිය දිනවල මෙරටට පැමිනි පාකිස්තානයේ අගමැති හොදම උදාහරණයක්. මුස්ලිම් ජාතික රටක ජනාදිපති වරයෙක් ලෙස මුස්ලිම් අන්තවාදය මුලිනුපුටා දැමීමට එතුමා ගන්නා වෑයම ප්රසංසනීයයි. අන්තවාදය යනු ආගම නොවෙයි. එය වැරදියට අර්ථකථනය කරන පිරිස්. පිලිම කඩන අන්තවාදය වෙනුවට ඔව්න්ගේ රටේ සිදුකල කැනීම් වලින් සොයාගත් බුද්ධ ප්රථිමා වන්දනාමාන කරගැනීමට භෞද්ධ ජනයාට කල ආදරනීය ආරාදනය කොතරම් ශේෂ්ඨද?
ඔබ කොතෙකුත් ඉන්දියානු සිනමාවන් බලනව ඇති. කොතෙකුත් ජාතීන් ඉන්දියාවේ සිටියද ඔව්න් කිසිදිනක ජාතිය ඇසූ විට ඉන්දියානුවා කියන පිලිතුර හැර වෙන පිලිතුරක් නොදෙන බව ඔබ දන්නවා. ඇමරිකාවේ කලු සුදු සැමදෙනාම භාවිතා කරන්නේ ඇමරිකානුවා යන නාමය. ඇයි අපිට ජාතිය ශ්රීලාංකික කියල කියන්න බැරි. එකම ආකාරයට නිර්මාණය වූ ශරීරයක් ඇති එකම ලෙස හෝමෝන වලින් ඇති වන හැගීම් ඇති මනිසුන් වෙන්කරන්නේ ආගම නෙවෙයි. ඒ ආගම් අදහන ඇතැම් විකෘති මානසිකයන් ආගමේ නාමයෙන් කරන වැරදිය යන්න මගේ මතයයි. එය සිංහල ද්රවිඩ මුස්ලිම් සියලු දෙනාටම පොදුයි. මේ සියලු දෙනාටම ආදරය පොදුයි. ආදරය මෛත්රිය කරුණාව දයාවට තම ආගමේ හරි නිර්වචනය සොයාගත් දාට ස්වර්ගය මෙහි මැවිය හැකිය යන්න මාගේ මතයයි.
ස්ලාම් ධර්මයෙහි කියවෙන සමහර කරුණු පැහැදිලි කරගැනීමට උදව්කල
Mufeez Ahamed
සොහොයුරාට බෙහෙවින් ස්තූතිවන්ත වෙනවා. ඔහුගේ අධ්යාපන කටයුතුත් කලා කටයුතුත් සාර්ථක වේවා කියල එකසිතින් ප්රාර්ථනා කරනවා. අනාගතයේ ලාංකිකයා යන හැගීම ආදරය කරුනාව ඔප්නංවන අලංකාර ගී පද මුෆීස් සොහොයුරාගෙනුත් බලාපොරොත්තු වෙනවා. මේ කුඩා ජීවිත කාලයේ අපි එකට ඉමු. අවසන් වශයෙන් රසාස්වාදය පිරිහුණු මෙවන් යුගයක මෙවන් නිර්මාණය සිදුකරන නජාත්, මුෆිස් වැනි සොහොයුරන්ට ස්වර්ගයේ දොරගුලු විවෘත්ත වේවා කියල ප්රාර්ථනා කරනවා. ජයවේවා.
මලිත් මධුශංක