මගේ හිත තරමට හැඩි උනු රෙදි අල්මාරිය අද මට අස් කරන්න හිතුනේ හදිස්සියේ ඇඳුමක් හොයන්න අදිද්දි මුලු රෙදි කන්දම කකුල් දෙක පාමුලට කඩන් වැටුනු හන්දා.පාට පාට රෙදි ගොඩාක් අස්සෙ ලස්සනට හතරට නමපු ඒ ලේන්සුවම ඇහැ ගැටුනෙ කාලයක් තිස්සෙ අමතක කරන්න දඟලපු මතකයක් ආය අවුස්සන ගමන්.මැටලින් ගහන කකුල් දෙක අමාරුවෙන් වාරු කරගෙන බිමට නැමිලා මං ඒක අහුලන් මට පුලුවන් තරම් මගෙ හුස්ම ඉහලට ඇදලා ඒ සුවඳ මුලු පපුවෙම පිරෙන්න ඉම්බා.එදා මං හොරකම් කරපු ඒ ලේන්සුව හෝදන්නැතුවම අල්මාරියෙ යටම තට්ටුවෙ පරිස්සමට ඇහුරුවා
විශ්වාස කරන්න දැන් අවුරුදු 8ක්.තාමත් ඒ සුවඳ එහෙම්මමයි.
ශී ලංකා නාවික හමුදාව. ලස්සන නිල්පාට යුනිෆෝම් එක එයාට හරි හැඩට තිබ්බා..මස් පිරුණු අත් ගොබ දෙක එලියට පනින්න දැඟලුවෙ කමිසෙ චුට්ටක් හිර හන්දද..ඒ අත් දෙක මහත හන්දද කියන එක අදටත් මං හිතින් තර්ක කරනවා.
2013 අවුරුද්ද ජීවිතේ මං ගියපු පලවෙනි ඉන්ටවිව් එක නාවික හමුදා වෛද්ය බලකායට.එක දිගට දවස් තුනක් තිබුනා.අනුරාධපුර පූනෑව කෑම්ප් එකේ.කවදාවත් ඒ පූජා නගරෙටවත් මං ගිහින් තිබුනෙ නෑ.කෑම්ප් එකේදි හම්බුනු නන්නාදුනන ආගන්තුකයා අප්පච්චිටයි මටයි ඉන්න තැනක් දුන්නා.ඒ අම්මයි එයයි විතරක් උන්නු එයාගෙ ලස්සන පුංචි ගෙදර.අවස්ථාවෙ හැටියට විශ්වාස කරනවා ඇරෙන්න අපි දෙන්නට කරන්න වෙන දෙයක් තිබුනෙත් නෑ.ලොකු නංගි, ලොකු නංගි කිය කිය සංසාරෙ පුරුද්දකට මට හරි ආදරණීය අරක්ෂාවක් ඔහු දුන්නා.මට වඩා අවුරුදු 13ක් වැඩිමල් උනත් මොකද්දෝ නොදන්න හැඟීමක් ඒ දවස් තුනට ඔහු ගැන ඇති උනා.ඒකට කියන්නෙ ආදරේ කියලා අද මං දන්නවා.මගේ ඉන්ටවිව් එකෙත් සේරම වැඩ ඉවර උනා.එයාට ඕනි උනා එයාගෙ පූජා නගරෙ මට පෙන්නන්න අප්පච්චිට මහන්සි නිසා එන්න බෑ කිව්වා.දවසකදි අඳුනගත්ත,දවස් තුනක් ආස්රය කරපු මේ සද්දන්ත හමුදා නිලධාරියව මං ගොඩක් විශ්වාස කරා.අදටත් ඒ විශ්වාසෙට පන දුන්නු ඔහුට මං ගරු කරනවා.එයාගෙ වාහනේ අපි දෙන්නා ඇවිද්දා.මං අතරමං වෙයි කියලා බයෙන් මගෙ අත නෑරම එයා ඇවිද්දා.එදා නෙමෙයි අද මං අතරමං වෙලා කියාගන්න බැරි හැඟීමක් අස්සෙ..එන්න ලෑස්ති වෙද්දි රුවන් වැලි සෑය පහු කරන් ඉස්සරහට ඇවිල්ලා ඒ කකුල් දෙක අල්ලලා දන ගහලා මං වැන්දා.ඒ මහත මස් පිරුණු අත් දෙකට හිර වෙලා ඒ ලෙංගතු පපුවට මං තුරුල් උනේ ඒ උණුහුම මං ඒ වෙද්දි හොයපු හන්දා.ඔහු සීරුවට පාත් වෙලා මගේ කොපුල් සිපගත්තා .
සත්තයි එදා මං ප්රථම හා රසම හාදුව නාදුනන ආගන්තුකයෙක්ගෙන් ආදරණීයව වින්දා.
ඒ වෙලාවෙ එයාගෙ පිටිපස්සෙ සාක්කුවට අත දාලා මං මේ ලේන්සුව එයාට හොරෙන් අරගත්තෙ ඉල්ලන්න හයියක් නොතිබුණු හන්දා.ආදරෙයි ලොක්කි මං කිව්වට මාත් ආදරෙයි අයියෙ කියාගන්න බැරි උනා එදා මට.ඉතිං දැන් අවුරුදු 8ක්.ඔහු පුංචි දියණියකගේ අප්පච්ච් කෙනෙක්.මට ඒක ආරංචි උනා.ඉතිං ඔහු හොඳ කියවන්නෙක්.එදා මට කියාගත නොහැකි වූ ආදරය මේ හරහා ඔහු දැකිය යුතුයි.ඔහු දකීවා!
ඔවු මං ඔයාට හරි ආදරෙයී.
“ඉතිං නාදුනන ආගන්තුකය,ඔබ ජීවිතය විඳිනවානම් සදාකල් සතුටින්ම රැඳේවා.
නමුදු ඔබ ජීවිතය විඳවනවානම් ඔබට දිනෙක මා ලැබේවා!!!
ඉතිං මා දැන් අල්මාරිය අස් කල යුතුමයි..ලේන්සුවට හිමි තැන නැවත ලැබීමටනම්.
උපුටා ගැනීම: Ashani Shashikala