දකුණුපස රියදුරු අසුනේ සිට වාහනය පදවාගෙන යන මගේ සැමියා දෙසම මම බලා සිටියෙමි. දස වසරක් පුරාවට කිසිදු අඩුපාඩුවක් නොකර සියලු වගකීම් දැරූ ඔහු ආදරණීය මිනිසෙකි. කෙතරම් ආදරණීයදැයි පවසතොත් වදනකිනුදු මෙතෙක් කලකට මගේ සිත රිදවා නැත. පසුපස අසුනෙහි පුංචි පුතු තමන්ගේම ලොවක තනිවී සෙල්ලම් කරන්නට විය. තවත් එක් මසකින් මෙලොව එලිය දකින බිළිදා දරා සිටි කුස මත සුක්කානමෙන් මුදාගත් තම වමත තැබූ දිනේශ්
“මහන්සි නැහැනේද?”යි මගෙන් ඇසුවේ දෑස් මාර්ගයෙන් මුදානොගෙනමය.
“නැහැ. අමාරුවක් නැහැ.” මම කෙටියෙන් පිළිතුරු සැපයූවෙමි.
දිගු කතාබහක් ඇති කරගැනීමට තරම් මනසින් ව්යාකූලව සිටි මා තුල උවමනාවක් හටගත්තේ නැත. ජීවිතය හිටිහැටියේ මෙතරම් අසාධාරණ වේයැයි මම මින් පෙර සිතා බලා නැත්තෙමි. දරුවන් හැර යෑමට තරම් දැඩි සිතක් මා තුල නොවීය. ඒහැරත් මම සැබෑවටම ආදරයෙන් බැදී විවාහ වූ ඔහුගෙන් තොර ලොවක් පිළිබඳව මා දැනසිටියේද නැත. ඔහු ගැන අහිතක් හිතීමට තරම් මගේ සිත නොපෙළඹීම පුදුමයක් නොවීය. මගේ ආදරණීය සැමියා කිසිලෙසකින් හෝ මා හැරදමා මට ලැබෙන්නට සිටින දරුවා ලැබුනු වහාම වෙනත් තරුණියක හා විවාහවීමට සිතමින් සැලසුම් කරන බව කෙසේනම් අදහන්නද! නමුත් එය සත්යයකි. මා අහම්බෙන් මෙන් ඔහුගේ රැකියා ස්ථානය වෙත ගිය මොහොතක කාර්යාල කාමරයේ ඔහු හා තනිව සිටි ඇය සමඟ සිදු වූ කතාබහ දොර අසල සිටගෙන මා අසාසිටි බව ඔවුන් දැනටත් දන්නේ නැත.
මට වඩා දොලොස් අවුරුද්දකින් වැඩිමහලු ඔහුට අකමැති වූ දෙමව්පියන් අතැර දමා ඔහු හා විවාපත් වූ මා මගේ දෙමාපිය සහ සොහොයුරන් විසින් අතැරදමන ලද්දෙමි. විවාහ දිවියටම හාවී මගේ එකම සහ හොඳම මිතුරා ඔහු පමණක් කරගත් මම යහළු යෙහෙළියන් මඟහැරගත්තෙමි. අවසනදී මගේ කියන්නට මට ඉතිරි වූයේ ඔහුත් අපේ කුඩා පුතුත් තවමත් මෙළොව එළිය නුදුටු බිළින්දාත් පමණකි. එහෙත් දැන් සියල්ල අහිමිව යෑමට නියමිත බව වැටහෙන්නට විය. මම ඔහුට වඩා දොලොස් අවුරුද්දකින් බාල නමුත් මටත් වඩා තවත් අවුරුදු දහයක් පමණ ලාබාල ඔහුගේ පෙම්වතිය සමඟ මැදිවියේ පසුවන මට තරඟකල නොහැකි බව මම දැන සිටිමි. තාරුණ්යය පමණක් නොව අපේ දරුවන් වෙනුවෙන්ම කැප වූ මනා හැඩයෙන් බැහැර වූ මගේ වියපත් වෙමින් පවතින සිරුර පවා මා පැරදවීමට රුකුල් දෙනබව මම දනිමි. කිසිදු ආදායම් මාර්ගයක් හෝ මගේයැයි කීමට ස්තීර නිවසක් හෝ නොවන විට දරුවන්ගේ අයිතිය හෝ මට ලැබේයැයි සිතිය නොහැකි විය. අනෙක් අතට තවමත් නව යෞවනියක වන ඇය දඟකාර රූමතියක මිස දරුවන් හදාවඩා ගනිමින් තම තාරුණ්යය තමන්ගේ ලෙයින් නූපන් දරුවන් වෙනුවෙන් කැපකරන්නියක නොවෙන බව ඇය දුටු මුල්ම දිනයේදීම මට පසක් විය. දරුවන් හැරදා යෑම මට කල හැක්කක් නොවේ. මම ඔවුනට අසීමිත ලෙස ආදරය කළෙමි!
මා පරීක්ෂාකල වෛද්යවරයා මගේ සියලුම වෛද්යවාර්තා සාමාන්ය බව පැවසුවද පෙර වතාවේදී මෙන් නොව මෙවර මම දැඩි අපහසුතාවයකින් පෙළෙන්නට වූයෙමි. කොහේ හෝ යම් වරදක් ඇති බවක් හැඟුනද ඒ බවක් වෛද්ය විද්යාත්මකව තහවුරු නොවූයෙන් අනවශ්ය ලෙස සිත කරදර කරගැනීම පිළිබඳව මම මටම දොස් පවරාගත්තෙමි.
සිත් වේදනාවත් ගතෙහි වූ අපහසුවත් හිතයට සඟවාගත් මම සාමාන්ය අයුරින් දරුප්රසූතියට මුහුණදීමට නියමිතව පෞද්ගලික රෝහලකට ඇතුලත් කරනු ලැබූවෙමි. හැකියාව තිබියදීත් මා අසලින් රැදීමට ප්රතික්ෂේප කරමින් මා වේදනාවිදින අයුරු දැකීමට තමන්ට නොහැකි බව පවසා සූතිකාගාරයෙන් පිටව ගිය මගේ සැමියා නවතාගැනීමට මම උත්සහ නොකලෙමි.
ඉහළ පෙලේ පෞද්ගලික රෝහලක දක්ෂම වෛද්යවරයෙකුගේ ප්රතිකාර මධ්යයේ වුවද මෙතෙකැයි කිව නොහැකි වේදනාවන් මධ්යයේ පැයගණනාවක් ඔට්ටු වූ මා පසුදිනට පහන්වීමට ආසන්නවත්ම කුඩා පුතු මෙළොවට බිහිකළෙමි. දිනේශ් ඒ වනවිට අනෙක් දරුවා සමඟ නිවසේ පසුවන බව මම පසක් කරගත්තේ වෛද්යවරයා ඔහුට දුරකථන ඇමතුමක් ගත් හෙයිනි. වෛද්යවරයාගේ මුහුණේ එවෙලෙහි ඇදී තිබූ කම්පාසහගත කලකිරුණු ස්වභාවය පිළිබඳව මම පුදුමයට පත් වූයෙමි. මන්ද යත් මගේ නීරෝගී අලුත උපන් දරුවා හෙදියක අතෙහි නැළවෙන විට එබඳු ඍණාත්මක ස්වභාවයක් දැකීම අවස්තාවේ හැටියට නොමනා බව මා සිතූ බැවිනි.
“බබා හොඳින් ඉන්නවා මිස්ටර් දිනේශ්. ඒත් ඔයාගේ වයිෆ්ව බේරගන්න අපිට බැරිවුනා…”
එතනින් එහා වෛද්යවරයා තවත් බොහෝ දේ කියවාගෙන ගියද ඒ කිසිවකට සවන් යොමුකිරීමට මම අපොහොසත් වූයෙමි. තවමත් යහතින් මා සිටින විට මා මියගිය බවට මගේ සැමියාට වෛද්යවරයා විසින් පවසනු ලැබීම කුමන අරමුණකින් සිදු වූවක් දැයි වටහාගත නොහැකි වූ මම වික්ෂිප්ත වූයෙමි. අනතුරක සේයාවක් ඉව වැටුනු මම මෙතැනින් මිදී පලායායුතු බව පමණක් දැන සිටියෙමි.
මා පිළිබඳ කිසිඳු සැලකිල්ලක් නොදැක්වූ වෛද්යවරයාත් මගේ බිළිඳු පුතු දෝතින් ගත් හෙදියත් මා තනිකර පිටව ගියපසු මම මද වේලාවක් නිසලව සිටියෙමි. එකී කාලය තුල මම බොහෝ දේ වටහාගත්තෙමි. දරුවන් වෙනුවෙන් මවක ලෙස බොහෝ දේ මාතින් ඉටුවිය යුතු බව මෙන්ම මින් පසු සිදුවීමට නියමිත බොහෝදේද මගේ මනස මඳින් මඳ පැහැදිලිවත්ම එහි ඇදී යන්නට විය.
ඒ අනුව තව මොහොතකින් රෝහල් කොරිඩෝවන්හි අටවා ඇති කැමරා පද්ධතිය ක්රියාවිරහිත කරවනු ලබන බව දැනසිටි මා යහනින් බැස ගත්තෙමි. මගේ ගතට කිසිදු වේදනාවක් දැනුනේ නැත. පියවර කීපයක් ප්රවේසමෙන් තැබූ මම සිතෙහි වූ චකිතය දුරු කරගත්තෙමි. අසළ ඇඳෙහි බාවා තිබූ කාන්තා මළසිරුර එතැනින් ඉවත් කොට සැඟවීම මගේ පළමු කාර්යය විය. ඒ අනූව රෝහලේ පැරණි වැසිකිලි වළක් තුල එය සැඟවී ගියේය. ඉන්පසු ළදරු කාමරය වෙත රිංගාගත් මම මගේ අතෙහි ගැටගසා තිබූ අංක 17ට අදාළ ළදරු සයනය සොයාගත්තෙමි. අංකය නැතත් ඒ මගේ පුතුබව මගේ හදවතට එක් ස්පර්ශයකින්ම වටහාගත හැකි විය. දරුවා දෝතට ගත් මම රෝහලෙන් පලා ආවෙමි. එය කිසිසේත්ම අපහසු වූයේ නැත. මම නිවෙස වෙත පැමිණෙන විට යාන්තමින් එළියවැටීමට ඇරඹුනා පමණකි. පහළමාලයේ වූ සෝපාව මත දරුවා තබා ඉදගත් මම කඩිමුඩියේ තරප්පුව බැස එන මගේ සැමියාගේ අඩිහඩ අසා සිටියෙමි. ඔහු මා මියගිය ආරංචිය අසා රෝහලවෙත දිවයෑමට සැරසෙන බව කිවයුතු නෙවේ.
මා දුටුවනම ඔහු තිගැස්සී ගියද දරුවා දකිත්ම යළි සිහි එළවාගත් ඔහු මාවෙත දිව ආවේය.
“ඔයා කොහොමද ආවෙ? ඒත්… ඒත් ඩොක්ටර් කිව්වෙ…” ඔහුගේ වචන උඟුරෙහිම සිර විය.
“ඩොක්ටර් කිව්වෙ මම මැරුනා කියලා. මට ඒක ඇහුනා. ඒ නිසාමයි මම ළමයවත් අරගෙන එතනින් පැනල ආවේ.” ඔහු හිසෙහි අතගසාගෙන පුටුවක් මතට ඇද වැටුනේය. ජීවතුන් අතර සිටින්නෙකු මියගිය බවට සහතික කිරීමෙන් සහ රෝහලෙහි ආරක්ෂාකාරීව සිටි අලුත උපන් බිලිදෙකු ඉන් රැගෙන පලාගොස් ඇති බව ප්රකට වීමෙන් තමන්ට සිදුවන අවමානය හෙළි කරගැනීමට ඇති බිය නිසාම මා රෝහලෙන් පැනයෑම පිළිබඳ ආරක්ෂක අංශ දැනුවත් කිරීමට ඔවුන් පසුබටවන බව පවසමින් මම කම්පනයට පත්ව සිටි ඔහුව අස්වසාලූයෙමි.
දැන හැඳුනුම් කම් මත නිවසට පැමිණි වෛද්යවරයාට අවශ්ය වූයේ සැබෑවටම මා ජීවත්ව සිටින්නේද යන්න දැනගැනීම පමණක් බව මම දැන සිටියෙමි. මා දුටු ඔහුගේ මුහුණ සුදුමැලි වී යන අයුරු මම බලා සිටියෙමි. දින කිහිපයක් යත්ම සියල්ල යථාතත්වයට පත් වුවද එදින පටන් මම මවක මිස බිරිඳක හෝ වෙනයම් භූමිකාවකට පණ පොවන්නියක නොවූයෙමි. මගේ සැමියාට මගෙන් දුරස්වයෑමට මවිසින්ම ඉඩ සලසා බලා සිටියෙමි. පෙර නොඇසුනු දෙබස්, නුදුටු පෙම් දසුන් ඇසීමට දැකීමට මට හැකි විය. ඒ අනූව තානායමක ඔවුහු, ඔවුන්ගේ ලොවක තනි වූ මොහොතක ඔවුන් ඉදිරියේ පෙනී සිටිමින් මවිසින් පුදුමයට පත්කරනු ලද්දෝය. පෙර කලෙක නම් මම වැළපෙන්නට, කෝපයෙන් ගිනිගනිමින් ශාපකරන්නට හෝ පහරදෙන්නට පවා උත්සහකරන්නට තිබුණි. නමුත් පෙර කී ලෙසම මම දැන් මවක් පමණකි. තම නිරුවත ආවරණය කරගැනීමට අසීරු උත්සාහයක යෙදෙමින් සිටි ඇයත් හැඟීම් විරහිතව ඔහු දෙස බලාසිටි මාත් අතරින් ඔහුගේ තේරීම දැන දැනත් එය වචනයෙන් පැවසීමට ඔහුට ඉඩ හලෙමි. ඔහු ඇය තෝරාගත්තේය. නමුත් කිසිදු දිනයක ඔහුට වරදක් නොකල මා ප්රතික්ෂේප කිරීමෙන් ඔහු තම හෘදසාක්ෂිය ඉදිරියේ අසරණවන අයුරු මම දුටුවෙමි. මෙතෙක් කල් අප එක්ව දිවි ගෙවූ නිවස මට නීත්යානුකූලව පැවරීමටත් දරුවන් වෙනුවෙන් නඩත්තු මුදල් ගෙවීමටත් මගේ කිසිදු ඉල්ලීමකින් තොරවම ඔහු එකඟ විය. නමුත්,
“මට නෙවෙයි. දරුවො දෙන්නගෙ නමට ඒ දේවල් පවරන්න.” මම පැවසුවේ එපමණකි.
කාලය පියඹා යන විට මම මගේ දරුවන්ගේ මවත් පියාත් යන චරිත දෙකටම පණ පෙව්වෙමි. දරුවන් දෙදෙනා තම උත්සාහයෙන් පොළොවේ පයගැසූ දිනෙක මගේ වගකීමෙන් මම නිදහස්ව යනු ඇති බව දැන සිටියෙමි. ඔවුන්ව හොඳින් උගන්වා උගත් බුද්ධිමත් සමාජයට වැඩදායී පුද්ගලයින් කිරීමට මම උත්සුක වූයෙමි. අසාමාන්ය අයුරින් මගේ ධාරණ හැකියාව ඉහළ ගොස් තිබූයෙන් දරුවන් දෙදෙනාගේ විෂය ධාරාවන් සිතෙහි ධාරණය කොට ගෙන ඔවුන්ගේ මනසට කාවදින අයුරින් වටහාදීම ඉතා පහසු විය. ඔවුන් දෙදෙනාගේ එකම වීරවරිය වූ ‘අම්මා’ වූයේ මාය. නමුත් ඔවුන්ගේ ලකුණු මට්ටම්වලින් සාපේක්ෂව අඩු ලකුණු පෙන්වූ ආගමික විෂයයන්වල දැනුම ඔවුනට ලබාදීම මට කලහැකි වූයේ නැත. ඒ ආශ්රිත පොතපත පරිශීලනයට පවා මම අපොහොසත් වූයෙමි. නමුත් සාමාන්ය පෙළ විභාගය ඉහළින් සමත් වූ පසු ජීවවිද්යා විෂය ධාරාව හැදෑරූ ඔවුනට ඒ පිළිබඳව තව දුරටත් කරදර වීමට සිදු නොවීම මට මහත් සහනයක් විය.
මේ මුළු කාලය පුරාවටම අකමැත්තෙන් නමුත් මම මගේ දරුවන්ට කල අසාධාරණකම් කිහිපයකි. කිසිවිටෙක ඔවුන්ගේ යහළු යෙහෙළියන් නිවසට කැදවාගෙන ඒමට අවස්තාව නොදුන්නෙමි. ඔවුන්ගේ යහළු යෙහෙලියන් ඉදිරියෙහි ඔවුනගේ මව ලෙස පෙනී සිටීමද ප්රතික්ෂේප කළෙමි. සැමවිටම පාසල් දෙමව්පිය රැස්වීම් සහ උත්සවාදිය මඟහැරි මම හැකිවිටෙක ඔවුන්ගේ පියා කැදවාගෙන යෑමට ඉඩහලෙමි. කිසිදු විටෙක ඔවුන් හා ඡායාරූප හෝ වීඩියෝ පටිගතකිරීම් සඳහා පෙනී නොසිටීමට වගබලාගත්තේ එබඳු විටෙක කැමරාවෙහි ඇතිවන දෝෂයන් නිසා ඔවුනගේ සිත් අසතුටට පත් කිරීමට අකැමති වූ හේතුවෙනි.
ඒ වනවිටත් මගේ පුතුන් දෙදෙනාගේ පියාට ඔහුගේ දෙවන විවාහයෙන් ලද තවත් දරුවෙකු සිටියද ඔහුගේ පළමු දරුවන් දෙදෙනා දකින සෑම වරකම ඔහුගේ දෑස්වල සටහන්වන ආදරයත්, ඔවුන් හැරදමා යෑම ගැන ඇතිවන පසුතැවීමත් කියවාගැනීමට හැකි තරම් ඒ සිතුම් පැතුම් තවමත් මට විවෘත විය. බොහෝවිට ඒ මම ආදරය කල එකම සහ අවසාන පිරිමියා ඔහු වීම නිසා බව සිතිය හැකි විය.
දරුවන් දෙදෙනාම හැදී වැඩී, විශ්වවිද්යාල ජීවිතය අවසන් කොට වෛද්යවරු ලෙස පත්වීම් ලබන විට ඔවුන්ගේ පියා සැලකිය යුතු තරම් වියපත්ව සිටියේය. සුදු වූ කෙස්, රැවුල් සහ රැළිවැටෙමින් තිබූ සම ඒ බව මොනවට කියාපෑවේය. ඔහුගේ බිරිඳද මැදිවිය පසුකර මහළුවියට පාතබමින් සිටියාය. නමුත් මම මීට තිස් වසරකට පෙර රාත්රියකදී රෝහලකින් රහසේ පලා ආ මොහොතේ පටන් එකතැන නතර වූ විරාම ඝටිකාවක් මෙන් වූයෙමි.
දරුවන් තම ජීවිත ස්ථාවර කරගත් බව වටහාගත් මොහොතෙහි මගේ කාර්යය අවසන් බවද මම වටහාගත්තෙමි. දුර බැහැර රෝහල්වල සේවය කරන ඔවුන් දෙදෙනාම නිවසෙහි නොවූ විටක ඒ මට සුදුසුම අවස්තාව බව මම දැන සිටියෙමි. මානව ජීවය අඛණ්ඩව පවත්වාගැනීමටනම් දරුවන් කායිකව,මානසිකව මෙන්ම සමාජීය වශයෙන් ස්වාධීනවන තුරු මව්පිය රැකවරණය අත්යාවශ්යය. මගේ දරුවන් තම ජීවිතය ඇරඹූ අලුතම ඔවුන් තනිකමින්, මාතෲ සෙනෙහස අහිමිව යෑමෙන් සහ අනාරක්ෂිත වීමෙන් අස්ථාවර වී ඇදවැටීමට ඉඩ නොතබා බොහෝවිට මින් පෙර කිසිවෙකුට නොලැබුනු අවස්ථාවක් ලබාදී ඔවුන් රැකගැනීමට හැකියාව මවෙත තිලිණකල මේ විශ්වයෙහි වූ බලවත්ම ශක්තියට මගේ ස්තූතිය මා පිරිනැමිය යුතුමය. එසේම ලෝකධර්මතාවයන්ට පිටුනොපා සුදුසු අවස්තාවේ නික්ම යා යුතු බැවින් මා ලද කරුණාවට පිටුනොපා මේ සටහන මෙසේ අවසන් කරමි.
****************
වෛද්ය සොහොයුරන් තම මවට නොදන්වාම ඇය විසූ නිවෙස වෙත ළඟා වූයේ ඇගේ උපන්දිනය වෙනුවෙන් ඇය පුදුමයට පත්කරන්නට සිතාය. අඟුලු නොලා තිබූ හෙයින් නිවෙසට ඇතුලු වූ ඔවුන් මෑණියන් නිවසෙහි සිටිය යුතුබව දැන සිටියෝය. එහෙත් ඇය පෙනෙන්නට නොසිටි නිසාම කොහේ හෝ ළඟපාතකට යන්නට ඇතැයි ඔවුන් සිතුවද කොතෙක් මඟ බලා සිටියද යළි ඇය කිසි දිනෙක නොපැමිණියාය…
*****************
දැනට මහළු වියෙහි පසුවන ප්රසව හා නාරිවේද වෛද්ය විජේරත්න මහතා තමන් අතින් ඉටුවිය යුතු ප්රතිකාර අවසන් වූ පසු නිවස වෙත යා හැකි වුවද තවත් හෝරා කිහිපයක් එම පෞද්ගලික රෝහලේ නැවතී සිටීමට තීරණය කලේ තම රෝගියාගේ තත්වය එතරම් යහපත් නොවූ නිසාවෙනි. විවේකාගාරයට පැමිණ අසුන්ගත් ඔහුගේ මතකය ඊට තිස්වසරකට පෙර අතීතයේ තමන් මුහුණ පෑ මෙවැනිම නමුත් කිසිදා මතකය හැර නොයා සිතෙහි හොල්මන් කල සුවිශේෂී සිදුවීමක් වෙත දිවගියේය. එදින දරුවා බිහිකල තරුණ මව උපත දී මොහොතක් ගතවත්ම මියගිය බව තීරණය කලේ තමා විසින්ම බව ඔහුට හොඳින් මතකය. ඇගේ හුස්ම තබා නාඩිවැටීමත් නැවතී ගියේ ලබාදුන් හදිසි ප්රතිකාර සියල්ල නිශ්පල කරමිනි. වෛද්යවරයෙකු වුවත් නිතර දෙවේලේ රෝගීන් ජීවිතක්ෂයට පත්වීම අත් නොවිදිනා හෙයින් එදින තම සිතෙහි උපන් කළකිරීම කණස්සල්ල සහ කණගාටුව අදටත් ඔහුගේ මතකයෙහි හොඳින් රැඳී තිබිණ. එතරම් පීඩාකාරී අවස්තාවක් වූයෙන් තමන් එතැනින් පිටව යෑමට පෙර මියගිය මවගේ සිරුරේ උණුසුම බැස යන්නට ඇරඹෙනා තෙක් එතැනම රැඳී සිටි අයුරු ඔහුට සිහිවිය. නමුත් සියල්ල උඩුයටිකුරු කරමින් එම මළසිරුරත් ඇගේ බිළිඳාත් අතුරුදන් විය. සීසීටීවී දර්ශනවලින් සිදුවූයේ කුමක්දැයි යන්න සොයාබැලීමට ගත් තැත ඇරඹූ තැනම නිශ්පලව ගියේ ක්රියා විරහිත වී හෝ කොට තිබූ කැමරා පද්ධතිය නිසාවෙනි. තම අතෙහි වූ රෝගී වාර්ථාවෙහි වූ අංක දාහතේ ළදරු යහන වෙත තමන් දසවතාවකට වඩා දිවගොස් බැලූ බව මහළු වෛද්යවරයා සිහිකලේය. එහෙත් බලාපොරොත්තු නොවූ ලෙස තමන් විසින්ම මියගිය බව සනාතකල තැනැත්තිය තම දරුවාද රැගෙන නිවසට පැමිණ ඇති බව ඇගේ සැමියා විසින් දන්වනු ලැබූ විට තමන් අසිහියෙන් මෙන් ඔවුන්ගේ නිවස වෙත දිවගියේ එය එසේ සිදුවූයේ කෙසේදැයි යන්න නිරාකරණය කරගත නොහැකි වූ ගැටලුසහගත මනසකිනි. සැබෑවටම ඇය එහි සිටියාය. නමුත් ඈ කෙරෙන් දිස්වූයේ පණපිටින් සිටි තැනැත්තියට වඩා සුදුමැලිව ගිය මුහුණින් සහ කලු වූ දෙතොලින් යුතු ඇගේ මළ සිරුරෙහි ස්වභාවය විය. කෙසේ නමුත් දෙවියන් හෝ මාරයාට හෝ ස්තූතිවන්ත වන්නට ඇය තම දරුවා දෝතින්ගෙන සජීවීව නැගී සිටීම ගැන ඔහු තුල ඇතිවූයේ සහනයකි. තම වෘත්තීය දිවියෙහි කලු පැල්ලමක් වෙනුවට සිහින් රිදී රේඛාවක් දකින්නට හැකිවීම ගැන ඔහු සිතින් විශ්ව ශක්තීන්ට ස්තූති කළේය.
ඈත කොරිඩෝව ඔස්සේ දිවයන අතරම තමන් දෙස බලා මද සිනහවක් නැඟූ කාන්තාවක විසින් වෛද්යවරයා කල්පනා ලොවින් මෙලොවට විසිකර දමනු ලැබීය. තිගැස්ම නිසාවෙන් තම හෘදස්පන්දනය ඉහළ යනු ඔහුට හැඟින. ඒ ඇයමය! එදින තම දරුවාද රැගෙන රෝහලින් පලාගිය ඇයමය!
ඔහු හුනස්නෙන් නැඟිට ඇය දිවගිය දෙසට හැකි උපරිම වේගයෙන් දිවගියේය. රෝහලේ පසුපස දොරකින් ඉවතට පැමිණි ඔහුට ඇය මඟහැරී ඇතිබව පෙනෙන්නට තිබුණද හිතෙහි හටගත් අමුතු චකිතයක් නිසාවෙන් ඔහු පියවර කිහිපයක් එළිමහනෙහි ඇවිද ගියේ හොඳ විමසිල්ලෙනි. පුදුමයකට මෙන් පැරණි වැසිකිලිවළ අසල සිටගෙන සිටි ඇය ක්ෂණයකින් නොපෙනී යනු ඔහු දුටුවේය. ඇය එතුලට ඇදවැටෙන්නට ඇතැයි සිතූ විජේරත්න මහතා වහ වහා ආරක්ෂක නිළධාරීන් සහ සේවකයින් කැඳවා ඇය ගොඩට ගැනීමට කටයුතු යෙදුවේය.
ඇය සැබෑවටම වැසිකිළිවළ තුලින් ගොඩගනු ලැබුවාය. නමුත් ඒ බලාපොරොත්තු වූ විලසින් නොවේ. වසර ගණනාවකට පෙර මියගිය තැනැත්තියකගේ ඇටසැකිලි පද්ධතියක් ලෙසිනි.අභිරහස් ස්වභාවය නිසාම වඩා හොඳින් පරීක්ෂාවට ලක් කෙරුනු එහි තිබී හමු වූ අංක දාහත සටහන්ව තිබූ ප්ලාස්ටික් ටැගය දුටු වහාම එය දරු ප්රසූතියකදී බිහි වූ දරුවා හඳුනාගැනීම සඳහා දරුවාගේ අතෙහි ගැටගසන කාඩ්බෝඩ් ටැග් එකට අනුරූපව මවගේ අතෙහි ගැටගසනු ලබන ප්ලාස්ටික් ඇමිණුමක් බව හඳුනාගත් වෛද්යවරයා තම නළලත නැඟි දහදිය බිඳු පිටිඅත්ලෙන් පිසදාගත්තේ තම සිතෙහි නැඟි පැනයට පවා දීමට හැකි පිළිතුරක් නැතිව නිරුත්තර වෙමිනි.
-නිමි-
උපුටා ගැනීම: පන්හිඳකි මම