වැඳුම් පිදුම් (වැල් වටාරම්)

Share With Friends

Facebook
WhatsApp
Telegram
LinkedIn
Email
මට මතක විදිහට මම අපේ අම්මට දෙතුන් පාරකට වඩා වැඳලා නැතිව ඇති. වැන්දත් ඒ වැන්දේ ගොඩාක් පොඩි කාලේ. දැනුම් තේරුම් වයස එද්දි මම නොකරම බැරි අවස්ථාවකදි ඇරෙන්න මිනිස්සුන්ට වඳින එක නැවැත්තුවා. ඒ වැන්දෙත් හොඳට තෝරලා බේරලා.
මම නිතර දෙවේලේ අම්මට වැන්දේ නැති වුණාට පුතෙක්ගෙන් අම්මට වෙන්ඩ ඕනේ යුතුකම මට පුලුවන් විදිහට ඉෂ්ඨ කළා. අපේ අම්මට අන්තිම කාලේ කිඩ්නි ෆේලියර් එකක් ආවා. අපේ පවුලේ එකම ළමයා මම. ඉතින් අම්මව ඩයලසිස් කරන්න මට මාසෙකට රුපියල් 40,000 කට කිට්ටු වෙන්න ගියා. මම අම්මා නැති වෙනකම්ම ඒ වැඩේ මගේ සල්ලිවලින් කළා.
අම්මා මැරුණමත් මම පුලුවන් ඉහළම විදිහට මළගෙදර වැඩ කටයුතු කළා. නියමත කාලෙට දාන මාන පිංකම් කළා. එකම ළමයා නිසා වියදම් බෙදා ගන්න කවුරුවත් හිටියේ නැහැ. මම නෑයන්ගෙන් එක ශත පහක් ගත්තේ නැහැ. අම්මට උදේ හවා වඳින ළමයෙක් වගේම මම මගේ අම්මා වෙනුවෙන් යුතුකම් කළා. මගේ ලිස්ට් එකේ ඉන්න අසල්වැසියෝ යාලුවෝ ඒක දන්නවා.
මට මේක කියන්න හිතුණේ ලංකාවේ තියෙන වැඩිහිටියන්ට වැදීමේ චාරිත්රය නිසා. ලංකාවේ තරම් අනුන්ට වඳින මිනිස්සු මේ පෘථිවියේ කොහේවත් නැතිව ඇති. අපිව මේ වැඳීමේ කාර්යයට පුරුදු පුහුණු කරන්නේ ගොඩාක් පොඩි වයසේ ඉඳලා.
වැඩිහිටියන්ට ගරු කරන එක හොඳ දෙයක්. පොඩි අයට වඳින්න පුරුදු කරන්න ඕනේම නම් චීවරධාරීන්ට, ගුරුවරුන්ට වගේම අම්මා, තාත්තා සහ ඒ අයගේ සහෝදර සහෝදරියෝ වගේ ළමයගේ ජීවිතයට සෘජුව සහ වක්රව සම්බන්ධ පිරිසට වඳින්න පුරුදු කරන එක වැරැද්දක් නෙමෙයි. ඒත් බාප්පා බැඳලා ඉන්න පුංචි අම්මගේ නංගිගේ ලොකු අක්කගේ මහත්යගේ අක්කට හරි මල්ලිට හරි අර පොඩි එකා ලව්වා වන්දනවා නම් ඒක හෙනම ගොං වැඩක්.
ලංකාවේ ඉන්න ළමයින්ට එක එකාට වඳින්න උගන්නන කෝස් එක පටන් ගන්නේ ඉස්කෝලෙන්. ඉස්කෝලේ උත්සවයට එන ආරාධිත අමුත්තන්ට ළමයින්ට කියලා වන්දවනවා. ගොඩාක් වෙලාවට මේ උත්සවල ආරාධිත අමුත්තා ප්රාදේශීය දේශපාලකයෙක්. නැතිනම් පළාතේ ඇමැතිතුමා. උන් ලෝක හොරු. නිකන් හිතන්න මහ බැංකුව මහ දවාලේ කඩපු, ගමට පාළමක් පාරක් දාන කොට කොමිස් ගහපු, ළමයින්ව ඉස්කෝලේ දාන්න පගාව ගහපු ලෝක හොරුන්ට පොඩි එවුවොන්ට කියලා වන්දන එක කොච්චර නරුම වැඩක්ද කියලා.
ඊට පස්සේ ඉතින් මේ වැදීමේ කෝස් එක දිගට ගෙනියන්නේ දෙමවුපියෝ. ගෙදරට එන හැම එකාටම ළමයින් ලවුවා වන්දවනවා. මම ගොඩාක් වෙලාවට ඔය අත්දැකීමට මුහුණ දීලා තියෙනවා.
උදාහරණයක් විදිහට යාලුවෙක්ගේ ගෙදර උත්සවයකට ගියා කියලා හිතමුකෝ. දැන් ඉතින් අපි බීලා කන සාක්කුවේ දාගෙන ඉන්නේ. කෑම එහෙම කාලා යන්න ලෑස්ති වෙනවා. බීපු එවුන් හදිසියේම මතක් වෙලා වගේ යාලුවගේ අම්මට තාත්තට වඳිනවා. සමහරු ඩෝප් මරගාතේ යාලුවගේ ගෑනිටත් වඳින්න යනවා. ඊට පස්සේ යාලුවා එයාගේ දරුවන්ට කියනවා “පුතේ මේ මාමලට වඳින්න කියලා” අනේ ඉතින් ඒ පොඩි එවුවෝ රා කල දාසයක් බීපු නාලාගිරි හස්තියා වගේ වැනි වැනි ඉන්න අපිට දණ ගහලා වඳිනවා. නොදකින් මොන තරම් පවුකාර වැඩක්ද ඒ ළමයින්ට කියලා කරවන්නේ.
මේ වැඳුම් නාඩගම උච්ච වෙන්නේ සිංහල අවුරුදු කාලෙට. ගෙදරට එන හැම එකාටම ළමයින්ට කියලා වන්දෝනවා. වැඳුම් පිදුම් ගන්නා එකා මොකෙක්ද කියලවත් හොයලා බලන්නේ නැහැ. සමහර ළමයි ඉන්නවා සිංහල අවුරුද්දට විතරයි අම්මා තාත්තා බලන්න යන්නේ. ගේ අයිති වුණු නිසා පවුලේ බාලයට අම්මවයි තාත්තවයි බාර කරනවා. ඌ ඉතින් හෙනම පවු. දැන් අනෙක් සහෝදර සහෝදරියෝ අවුරුද්දට එනවා අම්මා තාත්තා බලන්න. ඇවිත් ඉතින් බුලත් අතක් එහෙම දීලා අම්මටයි තාත්තටයි දණ ගහලා වඳිනවා. අවුරුද්දේ ඉතිරි දවස් ටිකේ ඒ අම්මටයි තාත්තටයි බුලත් විටක් කන්නවත් සල්ලි නැහැ. අවුරුද්ද පුරාම අම්මා තාත්තා උන්නද මළාද බලන්නේ නැහැ. අවුරුද්දට ඇවිත් වැඳලා යනවා. රෙද්දේ ගෞරවේ. වයසක අම්මට තාත්තාට ඕන කරන්නේ අවුරුද්දට සැරයක් දෙකක් ඇවිත් වැඳලා යන එක නෙමෙයි, මාසෙකට දෙතුන් සැරයක් තමන් වදාපු, තමන් ජාතක කරපු දරුවෝ ඇවිත් ඒ මිනිස්සුන්ගේ දුක සැප බලලා යන එක.
මම කවදාවත් මගේ පුතාට කියලා මට වන්දවගෙන නැහැ. මම එහෙම බලාපොරොත්තු වෙන්නෙත් නැහැ. උදේට මම කොල්ලව ඉස්කෝලේ ළඟට දාලා ඌව බදාගෙන ඉඹිනවා. ඌත් මාව බදාගෙන ඉඹිනවා. වෙන විශේෂ අවස්ථාවක් ආවත් එහෙම තමයි වෙන්නේ. මන්දා මට නම් ඌ මාව බදාගෙන ඉඹින කොට දැනෙන ආදරය සහ මගේකම ඌ මට දණ ගහලා වැන්දොත් දැනෙන එකක් නැහැ.
මේ ෆේස්බුක් එකේ ඉන්න සමහර ගොබ්බ මඟුල් සිංහල අවුරුදු ළං වෙද්දි පෝස්ට් දානවා. “සිංහල අවුරුද්දට නෑයන්ට වඳින්න අය කරන මිල ගණන්. දණ ගහලා වඳින්න මෙච්චරයි, දෙකට නැවිලා වඳින්න මෙච්චරයි සහ බඩගාලා වඳින්න මෙච්චරයි” වගේ ගොන් පෝස්ට්. නොදකින් ඔයිට වඩා හොඳයි අහවල් වැඩේ කරන්න දෙකට නැවුණ නම්.
ඒ නිසා ගෙදර ඉන්න පොඩි උන්ට කියලා දකින දකින උන්ට වන්දවන්න එපා. පොඩි කාලේ ඉඳන්ම උන්ට එක එකා ළඟ දෙකට නැවෙන්න සහ දණගහන්න පුරුදු කරන්න එපා. වඳින්නම ඕනේ නම් මම අර කලින් කියපු අයට විතරක් වඳින්න පුරුදු කරන්න. තාත්තාගේ යාලුවෝ, අම්මගේ යාලුවෝ එහා ගෙදර විමලසිරි අංකල්, ඉස්සරහ ගෙදර කාන්ති ඇන්ටි, පිටිපස්සේ ගෙදර සඳුනි අක්කා උඩහ ගෙදර ශාන්ත අයියා වගේ හැත්ත බුරුත්තම වැඳුම් පිදුම් ලබන්න සුදුසු අය නෙමෙයි.

Read More Like This

PHP Code Snippets Powered By : XYZScripts.com
error: Content is protected !!