රදීශට තිබුනෙ හරි ලස්සන ඇස් දෙකක්. දවසක් අහම්බෙන් වගේ පාරෙ ඇවිදන් එද්දි මම රදීශව දැක්කා. ඒ ඇස් දෙකේ මුහුදක් තිබුනා. නෑ නෑ ලස්සන රෝස මල් ඉත්තක් තිබුනා. නෑ දිය ඇල්ලක් තිබුනා. ජීවිතේ මම බලාගෙන ඉන්න ආසම දේවල් ඒ ඇස් ඇතුලෙ තිබුනා.
රදීශ අපේ ගමේ හිටිය මගේ වයසෙම කොල්ලෙක්. දැලි රැවුල් එන කාලෙ රදීශව මගඇරියත් මේ වයසෙදි එයාව මගාරින්න මට පුලුවන් කමක් තිබුනෙ නෑ. දැන් මට විසි අටක්. කසාද බදින වයස පහුවෙලා ද මන්දා.හරිනන් මීට කලිනුයි මම කසාද බදින්න ඕන.
“අපි කොහේහරි කන්න යමු. මම ටවුන් එකට එන්නම් ඔයාව ගන්න ” රදීශ එහෙම කියද්දිත් මගේ හිත රදීශගෙ නිල්පාට ඇස් ඇතුලෙ ගිලිලා තිබුනා. මට කතා කරගන්න අමතක වුනා.
” ඇයි ? ඔයා කැමති නැද්ද? මන් එක්ක යන්න”
” නෑ… මේ .. නෑ.. එහෙම නෑ… මන් කැමතියි”
“හරි එහෙනන් උදේ දහයට “ක්වීන්ස්” එක ලගට එන්න. මන් එන්නම් ඔයාව ගන්න”
මම බිම බලාගෙන මහපටඇගිල්ලෙන් පොලව හෑරුවා.
එහෙම කියලා රදීශ හුලගක් වගේ එතනින් හමාගෙන ගියා. ඒ හුලග කොච්චර නන් සනීපද.
ජීවිතේ ලස්සනයි කියල මට කවදාවත්ම හිතිලා නෑ. ඒත් රදීශ ලගදි මට එහෙම හිතෙනවා. මොකක්දෝ අමුතුම හැගීමක් ඒක. මන් හැමදාම හෙව්ව දේ ඒ ඇස් අස්සෙ තිබුනා වගේ දැනුනා. මන් තීරණය කලා රදීශව මුනගැහෙන්න යන්න!
“ඔයා මීට කලින් මෙහෙ ඇවිත් තියෙද? “
“නෑ”
“බයවෙලාද ඉන්නෙ? “
“නෑ”
එහෙනන් මන් දිහා නොබලන්නෙ
“නිකන්”
“හරි මන් දිහා බලන්න ඕන නෑ. ඕක බොන්න”
රදීශ ගෙ අවධානය තිබුනෙ බීම වීදුරුව ගැනද නැත්නන් මගෙ ගැනද කියල මන් දන්නෙ නෑ. ඒත් ඒ මොනර නිල් පාට කමිසයටම හරියන රදීශ ගෙ ඇස් දෙක දිහා බලන්න මට බෑ.
රදීශට තිබුන සුදු පාට මොරිස් මයිනරේ නැගල යන්න තරන් මන් පින් කරා නේද කියල මට හිතුනා.
රදීශ ලස්සනයි. පිලිවෙලයි. සිරියාවන්තයි.
ඒත් මන් නිකන්ම නිකන් කෙල්ලෙක්. රදීශ ගෙ පැලැන්තියට හරියන රූපයක්වත් , ඇදුමක්වත් පාටක්වත් මට තිබුනෙ නෑ. හැබැයි මන් දැනගෙන හිටියා.මන් රදීශට ආදරෙයි කියල!
ගේ ගාව බෝක්කුව ලගින් මාව බස්සල රදීශ යන්න ගියා. වාහනේ ගියපු වේගෙට දූවිලි වලාවක් ඇවිත් මගෙ මූනම වහගත්තා. “රදීශ ගියා!” මන් මටම කියාගත්තා.
වෙල පාරෙන් ගෙදරට එන කොට තියන තියන හැම අඩියක් ගානෙම මට මතක් උනේ රදීශව! රදීශ මට කියන්න හදපු දේ මට හිතන්න අමාරුයි. කමක් නෑ. මම ආයෙම එයාව හම්බුනාම මන් එයාට කියනව . මන් ආදරෙයි කියල!
ගෙදර ආපු හැටියෙ මම ඇදට වැටුනා. හීනෙන් රදීශ මට කතාකලා. මන් තව තවත් ගුලිවෙලා නිදාගත්තා.එදා රෑත් මන් හිටියෙ එයාගෙ ලෝකෙ.
දවස් දෙකකට පස්සෙත් මම රදීශ ආපහු එයි කියල බලන් හිටියා. ගෙදර ගේට්ටු කනුවට හේත්තු වෙලා පාර දිහා බලන් වරු ගනන් හීල්ලුවා. ඒත් රදීශ ආවෙ නෑ.
මාස දෙකකට පස්සෙ මට රදීශ ගෙන් ලියමනක් ආවා.
“හිතවත් චාපා,
ඔබේ සැපදුක් කෙසේද? මම නම් හොදින්. එදා අපි ක්වීන්ස් එකට ගිය දවසෙ මම ඔයාට දෙයක් කියන්න හිතාගෙන උන්නා. එදා මට ඒක කියාගන්න බැරි උනා. චාපා ! මම ඉන්නෙ හිතේ වේදනාවෙන්. ඒ කාලයේ සිටම ඔබ ගැන ඇතිවුනු ආදරය මට කියාගන්න බැරි වුනා. එයට මට සමාවෙන්න. ඒ ඔබගේම හොදටමයි චාපා.
මේ ලියමන ඔබට ලැබෙන විටත් මම වෙනත් ජීවිතයකට ඇතුලත් වෙලා ඉදීවි . චාපා! මම දැන් ඉන්නෙ ගිරිකොටුව සද්ධර්ම ආරණ්‍යයේ.
චාපා! ඔබේ ඇස් ගංගාවක්.. ඔබේ කටහඩ මට මිහිරක්. ඔබේ දෙතොල් නෙලුම් විලක්. චාපා! ඔබ සමනළියක්.මේ සියල්ලම මේ භවයට මිහිරක් වුවත් එය සසරෙහි රුදුරු මායාවක්. මම පැවිදි දිවියට ඇතුලත් වෙනවා. එය කියන්නයි මම ඔබට එදා කතාකලේ. චාපා! ඔබ මගේ යශෝධරා වන්න.
-රදීශ-
ගේට්ටු කනුව ලග තිබුනු පරවුනු රෝස මල දිහා මන් බලාගෙන හිටියා.
“මම හිතපු දේ ඇත්ත. මුලු සංසාරෙම සැනසීම තියෙන්නෙ රදීශ ලගම විතරයි! “
-නිමි-
උපුටා ගැනීම: Jinali A. Gamage