කුමාරි විවාහ උනේ යුරෝපීය ජාතිකයෙක් එක්ක. මේ දෙන්නගෙ එකම දුව මාෂි. මාෂි විවාහ උනේ කෙවින් එක්ක. කෙවිනුත් යුරෝපීය තරුණයෙක්. මේ කතාවෙ කතා නායකය කෙවින්.
මේ පවුල වසරකට වරක් දෙවරක් ලංකාවෙ සංචාරය කරන්න එනව. ඒ ආවහම ප්රවාහන සේවා සපයන්නෙ මගෙ හිතවතෙක්. ඔහු කලින් ඉඳලම ඒ පවුලේ හිතවතෙක්.
වසර කීපයකට කලින් මොකක් හරි හේතුවක් මත කෙවිනුත් මාෂා ත් එකිනෙකාගෙන් වෙන් උනා. හැබැයි සන්ඩු සරුවල්, ගැටුම් නෑ. උත්සව වලට උපන්දින සාද වලට පවුලෙන් වෙන්වූනු කෙවින්ටත් ආරාධනා කරනව. ඔහුත් ඒවට සම්බන්ධ වෙනව. තෑගි බෝග හුවමාරු කරගන්නව.
ඔය අතරෙ අවසාන වරට මාෂා ලංකාවට ආවම දකුණු පළාතේ ලාංකික තරුණයෙක් එක්ක පෙම් සබඳතාවක් ඇතිවෙනව. ලංකාවෙ අලුත් පෙම්වතා ගැන පැරණි සැමියටත් කියනව. ඔහුත් සුබ පතනව. ඒත් මේ පෙම්වතාට මාෂා ගෙ ලාංකික මව ඉතා තදින් විරුද්ධ වෙනව. පියා ත් විරුද්ධ වෙනව. ඒ අයගෙ පවුලෙ හිතවතා වුනු ප්රවාහන සේවා සපයන මගේ මිතුරත් විරුද්ධ වෙනව.
අසරණ මාෂා තමන්ගෙ ගැටලුව කියන්නෙ තමන්ගෙ කලින් සැමියාට. කෙවින්ට.
කෙවින් ඇගේ දෙමාපියන් මුණගැහිල මාෂා ගෙ කැමැත්තට ඉඩ දෙන්න කියල ඉල්ලීමක් කරනව. ඒක අසාර්ථකයි. ඔහු මගේ මිතුරාට කතා කරනව, ඒත් අසාර්ථකයි. ඔහු මිතුරට තදින් බණිනව. අවසානයට කියනව…….මෙහෙම…..
” මම මාෂාව විවාහ කරගත්තෙ එයාව සතුටින් තියන්න, මම එයාව දික්කසාද කරෙත් එයාව සතුටින් තියන්න, එයාට ලංකාවෙ බෝයි ෆ්රෙන්ඩ් කෙනෙක් හම්බ උනා කියල එයා සතුටින් හිටියේ, උඹල එයාගෙ සතුට නැති කරන්න එපා, මට දුකයි.”
ආදරය ගැන ඔයාලගේ නිර්වචනය මොකක්ද කියන්න මම දන්නෙනෑ. “අනෙකාගේ සතුට ඉදිරියේ කොන්දේසි විරහිතව සතුටු වීම තමයි මම දන්න ආදරය.” කෙවින් සැබෑ ආදරවන්තයෙක්.
” කොහේ හෝ නුඹ නතරවී…
කාට හෝ ජීවිතය දී…
තුටින් නම් මට ඒ ඇතී…
මගේ නොවුනට කම්නැතී….
මගේ ඉපැරණි පෙම්වතී….
( කරුණාරත්න දිවුල්ගනේ-මේ කතාව මට කිවුවෙ අර මිතුර. සමහර නම් විතරක් වෙනස් කරා. )
උපුටා ගැනීම: ලලිත් හීන්කෙන්ද.