සතුට (වැල් වටාරම්)

Share With Friends

Facebook
WhatsApp
Telegram
LinkedIn
Email
“කෝ බඩු ලිස්ට් එක ලියලා දෙන්න මම කඩේට ගිහින් එන්නම්”
කියපු පමාවට අම්මා කුස්සියේ කර කර හිටපු වැඩේ නවත්තලා අත් දෙකත් පිහගෙන ඇවිත් බෝතල් අඩි කන්නාඩි දෙකකුත් දාගෙන පෑනයි කොලෙයි අරගෙන පටන් ගත්තා ලියන්න.
අපිට නම් කුස්සියට ගිහින් අඩු මොනවද කියලා සැරින් සැරේ බෝතල් ඇරලා බලන්න උනාට මාසෙටම හරියන්න එකපාරම මම ගෙනත් දාන බඩු ලිස්ට් එකට වැටෙන්න ඕන මොනවද කියලා එයාට කට පාඩම්. මාගලක් විතර දිග බඩු ලිස්ට් එක ලියාගෙන ලියාගෙන ගිහින් එයා නවත්තන්නේ මට වැඩිපුර මොනවා හරි ඕනද අහන්න විතරයි.
ඉස්සර අම්මා තනියම ගිහින් බඩු ටිකත් අරගෙන ත්රී වීල් එකකුත් කතා කරගෙන බඩු අරන් ගෙදර ආවට දැන් එයාට කඩේට ගිහින් හුඟක් වෙලා හිටගෙන ඉන්නත් අමාරුයි. මම පොඩි දවස් වල අප්පච්චිටත් වඩා උසට මහතට හිටපු අම්මා දැන් වයසට ගිහින්. කොන්දත් ටික ටික කුදු වෙන ගමන් ඇඟ පතත් වැහැරෙමින් යනකොට මට ඉස්සර හිටපු අම්මව මතක් වෙනවා.
මම ඉස්සර ගෙවපු සෙල්ලක්කාර ජීවිතෙත් එක්ක මම එයාලට සළකයි කියලවත් ඒ දවස් වල එයාල හිතන්න නැතුව ඇති. අක්කගෙයි, නංගිගෙයි ගතිගුණ අරගෙන “උඹත් අර කෙල්ලෝ දෙන්නා දිහා බලලවත් හැදියං” කියලා අම්මා නිතරම කිව්වේ ඇත්තටම මගෙන් තව කෙනෙකුට ගන්න තරම් ආදර්ශයක් තිබුනේ නැති නිසාම තමයි.
දැන මම පාන්දර හතර හමාරට වැඩට යන්න ගෙදරින් යන නිසා ඒ වෙලාවට කෑම අරන් යන්න නම් පාන්දර තුන හමාරටවත් උයන්න ඇහැරෙන්න ඕන. එහෙම අරන් ගියත් ඔච්චර කලින් උයපු දෙයක් දවල් වෙද්දී කන්න පුළුවන්කමක් නෑ. ඒත් මම කියන්න ඕන හැමදේම කියලා තියෙද්දීත් අම්මා මහ පාන්දර නැඟිටලා දවස් ගානක්ම කෑම උයලා තිබුනා. මම ඇයි කියලා අහපුවාම එයා කියන්නේ කලින් ඇහැරුනා. නිදිමතත් නැති නිසා ඉව්වා කියලා. ඒ උනාට ඇත්ත ඒක නෙවෙයි කියන්න මම දන්නවා.
එයා කියන්නේ එයාලට කන්න ගෙනත් දුන්නට ඒ ගේන දේවල් වලින් මට කන්න නැති උනාම දුකයි කියලා. “අපෝ ඔයාලා මේ තියෙන දෙයක් කාල හොඳට ඉන්න, මට එහෙ හොඳට කන්න තියෙනවා” කිව්වට මීයෝ, කැපොත්තෝ දුවන, අඳුරු ගුහා වගේ කුස්සි වල ඉදෙන, උයන්නේ මොකාද කියලා දන්නෙවත් නැති, රස කියලා නාමයක් ගෑවිලාවත් නැති කෑම කනකොට අම්මගේ කෑම එක මතක් වෙන වාර අනන්තයි. ඒත් අපිට ජීවිතයක් හදලා දෙන්න තමනගේ ජීවිතේම දිය කරපු ඒ ජීවිත වලට දැන් ඕන විවේකයක්. ඒක දෙන්න දුක සතුට කරගෙන, කඳුළු හන්ගගෙන හිනාවෙන එක වගකීමක් තියෙන පිරිමියෙකුට කරන්න වෙනවා.
“උඹ කොච්චර කාලයක් උදේ හවස කොළඹ යන්නද බං” කියලා යාළුවෝ අහද්දී මම හිනා වෙලා කියන්නේ “මම කොච්චර කාලයක් කොළඹ ගියත් මම හිතන්නේ මම හෙට කොළඹ යනවා කියන එක විතරයි මචං” කියලා.
බයික් එකෙන් කිලෝ මීටර් විසි ගානක් ගිහින්, එතන ඉඳන් කෝච්චියෙන් ගිහින්, ආපහු බස් එකෙනුත් උදේ හවස යනවා කියන එක අමාරුයි තමයි. ඒත් අහසින් පාත් වුන ඕපපාතිකයෝ නොවුන අපිට වගකීමක් තියෙනවා දහදුක් විඳගෙන අපිව ජීවත් කරපු මිනිස්සුන්ව ජීවත් කරවන්න.
හැම දෙයක් ගැනම ඕනවට වඩා දුරදිග හිතුවොත් අපිට ජීවිතේ එපා වෙන්න ගන්නවා. මිනිස්සු හැමෝටම ප්රශ්න ති⁣යෙනවා. වෙනස් වෙන්නේ ප්රශ්ණ වල ස්වරූපය විතරයි. අපිව මැව්වේ දෙයියෝ නම්, අපිට සතුටින් ජීවත් වෙන්න ඕන හැම දේම එයා දීලා තියෙනවා. බුක්ති විඳිනවද, විඳවනවද කියන එක තමන්ට බාරයි.
ඉස්සර ඉඳන්ම මමයි, අක්කයි, නංගියි කොහේ ගියත් අම්මටයි, අප්පච්චිටයි වැඳලා යන පුරුද්ද තිබුනා. අම්මට හොරෙන් කෙල්ල බලන්න ගියත් ඉස්සර මම යන්නේ වැඳලම තමයි. එතකොට අම්මා කරනනේ “තෙරුවන් සරණයි” කියලා ඔලුව අතගාන එක. දැන් මම වැඳලා නැගිට්ටම පින් දීලා එයා මගේ මූණ දෙපැත්තත් ඉඹිනවා.
එයා බලාපොරාත්තු අතෑරලා තිබුන පුතා දවසක මෙහෙම වෙයි කියලා එයා හිතන්න නැතුව ඇති. අක්කගෙවත්, නංගීගෙවත් අදටත් වැන්දට ඉඹින්නේ නැති මූණ මගේ විතරක් ඉඹින්නේ ඒක වෙන්න ඇති. මම වැඳලා අනිත් පැත්ත හැරෙනකොට පිටි අල්ලෙන් කඳුළු පිරුණු ඇස් ගෙඩි පොඩි කරන්නෙත් ඒක වෙන්නැති. මිනිහෙකුට සතුටින් ජීවත් වෙන්න අම්මෙක්ගේ ඇස් දෙකින් වැටෙන ඒ සතුටු කඳුලු හොඳටෝම ඇති.
උපුටා ගැනීම: -හෝම්ස්- 

Read More Like This

PHP Code Snippets Powered By : XYZScripts.com
error: Content is protected !!