ග්‍රැහැම් බෙල්ට ජය වේවා (වැල් වටාරම්)

Share With Friends

Facebook
WhatsApp
Telegram
LinkedIn
Email
නෑ නෑ නංගි ඒව දාන්න එපා, එහෙම නෙමෙයි ඕව හදන්නෙ.”
අපේ අම්මා උදේ පාන්දර කාටද සූප ශාස්ත්ර උපදේශයක් දෙනවා. සමහර වෙලාවට පැය ගනන් කැවුම් පදම ගන්න හැටි, රුලං හදන හැටි, ඌරු මස් උයන හැටි. එකී මෙකී නොකී කෑම වලට 131 ඔබල ජංගම දුරකතනයෙන් උපදෙස් ලබා දෙනව වගේ උපදෙස් දෙනවා.
” ඔන්න බලහං අපි ගොඩ එන්නෙ කොහොමද කියල, මේ ගෙදර වැඩිම බිලක් එන්නෙ අම්මගෙ ටෙලිපෝන් එකට” අපේ තාත්තා කියවන්න ගත්තා.
” ඕව ඉතින් අපිට වෙනස් කරන්න බෑ තාත්තෙ. පුරුදු වෙච්ච විදියනෙ”
” එයාගෙ නංගිල දෙන්නටම දවසට හය හත් පාරක් ගන්නවා, පොඩි කෙල්ලට නිතරෝම ගන්නවා, ඒ අතරෙ මතක් උනු මතක් උනු කෙනාට ගන්නවා. අනේ මන්ද බං මේ ටෙලිපෝන් එක නම් වෙලාවකට මහ ඉසරදයක්. “
” උඹලට කියන්න පහුගිය දවසක කූං කූං ගාල ඕක වදිද්දි මම අරගෙන බැලුවා ගෙදර කවුරුවත් හිටියෙ නැති නිසා. හදිස්සියක්ද දන්නෙත් නෑනෙ, කවුද මිනිහෙක් කේන්දර බලනව කිව්වෙ ටැලිපෝං එකෙන්. මට කතා කරන්න දුන්නෙම නෑ. හැදි ගගා හිටපු හොද්දත් දාල මම දුවං ආවෙ. යනකොට ඒකත් උතුරල.” ආච්චිත් කතාවට එකතු උනා.
” ඕක මොකද්ද ආච්චි ලගදිම ඒවි හැරගිය අය ගෙන්නවීම්, නූල් පැන්නවීම් , දෙහි කැපීම් වගේ ඒවත්. ඕවට කියන්නෙ ඩිජිටල් මාකටින් කියල” අපේ මල්ලිත් බත් එක කන එකත් නවත්තලා ආච්චිට විස්තර කරා.
” ටෙලිපෝන් එක දැන් බල්ලටම ගිහිල්ලනෙ, අර මනුස්සයා හිටියනම් බෙල්ලෙ වැල දාගන්නව මේව දැකල”
” කවුද තාත්තෙ ඒ මනුස්සයා”
” ඇලෙක්සැන්ඩර් බං ග්රැහැම් බෙල්”
” ඇලෙක්සැන්ඩර් කිව්වෙ මහා අධිරාජයා නේ. එහෙනම් ඕක හොයාගෙන ඕකෙ ආදාරෙන් තමයි රටවල් ඔච්චර ගොඩක් ඇල්ලුවෙ. බලහල්ලකො ඒකෙත් හැටි.”
” නෑ නෑ අම්මෙ ඒ වෙන එක්කෙනෙක්. ඔය මිනිහා ඕක හොයා ගත්තනම් කීයටවත් ඔය යුද්දෙ දිනන්නෙ නෑ. එක්කො ඕකෙන් ගෑනු එක්ක කතා කර කර ඉදී නැත්නම් ඕක ඔබ ඔබා ඉදී.”
මම නම් ඕවට සම්බන්ධ වෙන්න ගියේ නෑ. නිකං කතන්දර අහන්න ඕන නෑනෙ.
” මෙයත් ඉන්නව නිකං පිට්ටු හිරවෙච්ච රිලව වගේ. කතා කරන්න බෑනෙ. නිතරම ඕක කොටන ගමන්නෙ ඉන්නෙ”
” තමුසෙ පිට්ටු හිරවෙච්ච රිලව් දැකල තියෙනවද, කට තියෙන පලියට නිකං අපහස කරන්නෙ නැතුව ඉන්නව” මාර වැඩක්නෙ යකෝ. කතා කරත් වැරදී නොකරත් වැරදී .
” ඒකනම් ඇත්ත කිරි පුතේ , මේක ඔබ ඔබ ඉන්න වෙලාවෙ ඕකි දවසට එක වලක් ගානෙ හෑරුවනම් මේ අක්කර කාලටම කුරුදු පැල ඉන්ද ගන්න තිබ්බා. එක එකාට සල්ලි දෙන්නෙ නැතුව. “
” අනේ ආච්චි ආච්චිටත් පේන්නෙ මාවමනෙ, බලන්නකො තාත්තෙ”
” මේ අන්න සුදු පුංචි අම්මලගෙ ලොකු නංගිල හෙට කෑමට එනව කිව්වා කතරගම යන ගමන්. එහේ පොඩි නංගි කතා කරේ මඩු දලු හදන හැටි අහන්න. ලොකු නංගිගෙ නොම්මරේ ඉල්ලං මං කතා කරා කාලෙකින් දැක්කෙත් නෑනෙ. හෙට කට්ටියක් එක්ක කතරගම යන්න කිව්වා ඉන්නෙ. මම ඉතින් මේ පැත්තෙ එන්න කිව්ව බත් කටක් කාල යන්න”
” කී දෙනෙක්ද ” තාත්තා ඇහුවා.
” ලොකු ගානක් නෑ පහලවයි”
ග්රැහැම් බෙල්ට ජය වේවා.
උපුටා ගැනීම: Buddhika Abeysundara 

Read More Like This

PHP Code Snippets Powered By : XYZScripts.com
error: Content is protected !!