මේක කැම්පස් කාලෙ කතාවක්. කැම්පස් කාලෙ හම්බෙන සියගාණක් වූ සුන්දර මිනිස්සු අතරෙ අත් දෙකේ ඇඟිලි ගානට ලං වෙන සීමිත පිරිසක් ඉන්නවා. අන්න ඒ වගේ ලං වෙච්ච කොල්ලෙක්ට වෙච්ච කතා ගොඩක් අතරින් එක කතාවක් දිග අරින්නයි මේ ලෑස්තිය.
මේ කතාවෙ කතා නායකයා තමයි දුමියා. ගම්පහ දිස්ත්රික්කයේ ගෙවල්. හරිම හිත හොඳ සරල කොල්ලා. පර්ස් එකක්වත් පාවිච්චි කරන්නෙ නෑ. මුල ඉදන්ම මාත් එක්ක ගජේ ගහගෙන, දුක සැප බෙදාගෙන හිටපු කොල්ලො කීප දෙනාගෙන් එක්කෙනෙක්. ඒ චරිත විග්රහය ඇති.
කෙලින්ම කතාවට බැස්සොත්, දුමියාට කෙලි පොඩ්ඩක් සෙට් වෙලා. කෙල්ල මගේ ගෙවල් පැත්තෙ විශ්වවිද්යාලයක ඉගෙන ගන්න කෙනෙක්. මිනිහ ෆොටෝ වලින් විතරයි කෙල්ලව දැකල තිබ්බෙ. ෆොටෝ වලත් කෙල්ල ලස්සනට හිටියා. මූට ආවට ගියාට කෙල්ලො හිතට අල්ලන්නෙත් නැති නිසා අපිත් සපෝට් එකෙන්ම හිටියා. ඔන්න ඔහොම ඉඳලා ඉඳලා කෙල්ලගෙන් ආරාධනාව ආවා පළමු හමුවීමට. කෙල්ලට විභාග හුටපට වගයක් තිබ්බ හින්ද එන්න කියල තිබ්බෙත් කෙල්ලගෙ කැම්පස් එකට.
අපේ කැම්පස් එකෙන් ගමන යන්න එලියට බැස්සෙ මායි දුමියයි, මගේ සහජාත රූමා වෙච්ච නගුලායි. නයිට්මේල් එකෙන් අපේ ගෙදර ඇවිත් රෑ වෙනකන් ඊළග දවස ප්ලෑන් කර කර ඉඳලා තුන්දෙනාම නිදාගත්තා උදේම ඇහැරෙන්න බලාගෙන. ගමනට ලෑස්ති කරගත්තෙ ගෙදර වාහනේ නිසාත්, කාලෙකින් සෙට් උනේ නැති නිසාත් මගෙ ස්කෝලෙ යාලුවෙක් වෙච්ච අරුණයවත් ගමන යන්න ලෑස්ති කරගත්ත.
උදේම කට්ටිය බුදුන් වැඳලා නමෝවිත්තියෙන් ගමන පිටත් උනා. කී.මී 20ක් විතර ගෙවාගෙන නියමිත වෙලාවට විනාඩි 30කට විතර කලින් අපි කැම්පස් එක ගාවට ඇවිත් වාහනේ නවත්තන් කියව කියව හිටිය. දුමියා අන්තිම වේගෙන එද්දි පැනික් වෙන බව දන්න නිසා මායි නගුලයි කෙල්ල හම්බෙන එක ගැන කතා කරන්න ගියේම නෑ.
“නයිට්මේල් ආවම ඉතින් විනාසයි නේද බං දවසක් විතරම ඇඟේ කෝච්චි සුවඳ” ඔහොම කිව්වෙ නගුලා.
මාත් “හ්ම්” කිව්වා. නගුලා උපන්තේකට කෝච්චියෙ ගිහින් තියෙන්නෙ දෙතුන්පාරයි කියල මට අමතක උනා.
“කෝච්චි ගඳ එන්නෙ මුගෙ ඩෙනිමෙන් බං” දුමියත් එක්ක පිටිපස්සෙ වාඩිවෙලා ආපු අරුණයා දුමියව පෙන්නන ගමන් කිව්වා.
ඒ වෙලාවෙ තමයි මිත්රවරුනී මායි නගුලායි පිටිපස්ස හැරිලා දුමියගෙ ඩෙනිම දිහා බැලුවෙ. මේ හරකා ඇඳන් ඇවිත් තිබුනෙ උගෙයි තව දෙතුන්දෙනෙක්ගෙයි ගජේ ඩෙනිම. එනකන් කෝච්චියෙ බිම වාඩිවෙලා ආවෙ. කෝච්චියෙ නෙමෙයි මල් යහනාවක නිදි කරවන් එක්කන් ආවත් ඒ ඩෙනිම ඇඳන් කෙල්ලෙක් හම්බෙන්න යන්න කොහොමටවත් බෑ. ඒකත් පිට කැම්පස් එකක හා හා පුරා කියල පලවෙනි වතාවට හම්බෙන්න යන කෙල්ලෙක්. කීයටවත් බෑ.
නගුලාගෙ දැඩි නියෝග මත වහාම නගුලා ඒ වෙලාවෙ ඇඳන් හිටපු අලුත් ඩෙනිම දුමියාට ඇඳගන්න උනා. ඩෙනිම් මාරුව ඉවරවෙනවත් එක්කම කෙල්ලයි තව යාලු කෙල්ලෙකුයි වංගුවෙන් පාරට ආවා.
“දැන්… සිප් එක දාගෙන.. බැහැල… පල..!” නගුලාගෙ සද්දෙට වාහනේ දොර නිකංම ඇරුනා. ඇරුනු දොරෙන් දුමියා බැස්සා.
කෙල්ල අපිට හිනාවෙනගමන් දුමියා එක්ක කතාවට වැටුනා. වාහනේ ඇතුලෙ මායි නගුලායි ඉස්සරහට පේන්න දත්විලිස්සන් හිනාවෙන ගමන් දුමියා ඉපදුන දවසෙ ඉදන් කරපු මරි මෝඩ වැඩ අරුණයට පැහැදිලි කරන්න ගත්ත.
විනාඩියක් විතර කතා කර කර ඉදලා ඉක්මන් ගමනින් දුමියා වාහනේ ගාවට ආවා.
“මචං. කෙල්ල කැම්පස් එක ඇතුලට යන්න අඬගහනවා. මොකද කරන්නෙ බං?”
“ඉතින් පලයං මීමෝ! තෝ ඒකිට බෑ කිව්වද?”
නගුලාගෙ ගෝරනාඩුවට ආපස්සට දුවන ගමන් දුමියා උඩ බැලුවේ නගුලාගෙ පැත්තට ඇවිත් ඒක නාහා මං හිටපු පැත්තෙන් ඇවිත් ඒක අහන්න හිතුන එකට දෙයියන්ට පිං දෙන්න වෙන්න ඕන.
ජෝඩුවයි කෙල්ලගෙ යාලුවයි කැම්පස් එක ඇතුලට නොපෙනී ගියාට පස්සෙ අපි තුන්දෙනා ඉතින් කයියකට වැටුනා. විනාඩි 5ක් ගියෙ නෑ දුමියාගෙන් කෝල් එකක්. ස්පීකර්ස් දාල ආන්ස්වර් කලා.
“මේ.. මචං. මේකි මාව කැම්පස් එක ඇතුලටම එක්කං යනවනේ. කැන්ටිම පැත්තටත් යමු කිව්වා. අවුලක් යයිද මොකක් හරි?”
නගුලා කතා කරන්න කලින් මම ඉස්සර උනා.
“නෑ නෑ බං අවුලක් නෑ. අඳුනන එවුන් ඉන්නවනේ ඕනතරං. කෝල් එකක් දියං ඕන උනොත්”
ආයෙත් කතාවට වැටුන අපි තුන්දෙනාගෙ මාතෘකාව ඉතාමත් වැදගත් එකක් වුනා. අපි කතාකලේ අන්තර් විශ්වවිද්යාලයීය ආදර සම්බන්ධතා පුරෝහනය ගැන. ඒක ජාතීන් අතර සංහිඳියාව ගොඩනංවනවාටත් වඩා අමාරු දෙයක් බව ටිකක් වෙලා කතා කරගෙන යද්දි අපිට තේරුම් ගියා. නමුත් විශ්වවිද්යාල වල ඇති නැති පරතරයට (කොල්ලොන්ට කෙල්ලො, කෙල්ලොන්ට කොල්ලො) එය සාධනීය විසදුමක් විදියට අපි තුන්දෙනාම දැක්ක.
ඔය කතාවට අදහස් දක්වමින් ඉන්න අතරෙ ආය දුමියගෙන් කෝල් එකක්.
“මචං. මං එනගමන්. මහ බලු වැඩක් උනේ බං මට”
කටහඩේ තිබ්බෙ පරාණ ලැජ්ජාවක්. කෙල්ල මූව දංගෙඩියකටවත් දක්කං ගිහිල්ලද?
“ඇයි බං කියහන්. එන්නද කැම්පස් එක ඇතුලට”
කාර් එකෙන් බැහැලත් ඉවරයි අපි.
“නෑ නෑ ඉඳහන්. මං ගේට්ටුව ගාව. උබලව පේනවා”
කිව්වත් වගේ ඇවිදින ගමන් දුවගෙන එන දුමියව පේනවා. වාහනේට නැග්ගට පස්සෙ වතුර ටිකක් එහෙම බීල මිනිහ කතාව පටන් ගත්තා.
“මචං කෙල්ල කෙලින්ම කෙල්ලගෙ යාලුවවත් මගින් හලල මාත් එක්ක තනියෙන් කැම්පස් එකේ යන්න ගත්ත.”
“අන්න නියම කෙල්ලො. තොට හොඳ වැඩී ඒකි.” නගුල පැන්නා මැද්දෙන්
“උඹ මට කතාව කියන්න දියංකො ටිකක්. මටත් ඉතින් තනියම යන එක අවුලක් නෑනෙ බං කෙල්ලත් එක්ක කතාවක් දාගෙන ගියා. උදේ ආපු විස්තර එහෙම ඇහුවට පස්සෙ උදේට කන්න වෙලාවක් හම්බෙන්නෙ නැතුව ඇතිනෙ කියල තමයි කැන්ටිමට ඇදන් ගියෙ. කැන්ටිමෙත් සුපිරියට කෑම තිබ්බ. මාත් ඉතින් ජාති ජාති තුනකින් විතර දෙක දෙක අරගෙන මදිවට බීම දෙකකුත් අරගෙන සල්ලි ගෙවන්න යද්දිනෙ ඕයි මතක් උනේ මේ තියෙන්නෙ උඹෙ කලිසම කියල. මගෙ සල්ලි අයිඩී ඔක්කොම ඔය කලිසමේ. මට ඒව ගන්න අමතක උනානෙ කෙල්ල හදිසියේ ආපු හින්ද. වස ලැජ්ජාවයි ඕයි, කෙල්ල අර ඔක්කොටම ගෙව්වා. එකි ගාව සල්ලි තිබ්බද දන්නෙත් නෑ. මට විස්තරේ කියන්නත් බෑ මොකෝ මං ගේට්ටුව ගාවදි යාලුවාගෙ ඩෙනිම ගලවල ඇඳගත්ත, මගෙ සල්ලි ඔක්කොම ඒ ඩෙනිමෙ කියන්න යැයි. පර්ස් එක වාහනේ දාල ආව කිව්වා”
විනාඩියකට විතර පස්සෙ නගුලා කතා කරා.
“මචං. උඹට ඩෙනිම් අන්දවන්න ගිහින් අපි නැතිකරගත්තෙ අපි ඔක්කොගෙම ඩෙනිම්”
අන්තර්ජාලයෙන්
උපුටා ගැනීම: Thusara Anjana Perera