හැමෝම මගදී නතර කලාට බැනලා බැනලා කමෙන්ට් දාලා තිබුනා. බැරිම තැන අමාරුවෙන් අදම ඉතිරි ටිකත් ලියලා ඔන්න දැම්මා. දන්නවා ඉතිං හදාගන්න බනින්නේ කියලා. හහ් හහ් හා..
එයා රික්වෙස්ට් එක ඇක්සෙප්ට් කරපු ගමන් මම ටයිප් කලා “හායි” කියලා. සෙන්ට් කරන්න ඇඟිල්ල තියන්න ඔන්න මෙන්න තියෙද්දී ආපහු ඇඟිල්ල අයින් කරලා මැසේජ් එක මකලා දැම්මා. මෙච්චර ඉක්මනට මැසේජ් කලොත් හිතයි මගේ රික්වෙස්ට් එක එයා ඇක්සෙප්ට් කරනකන් මම මඟ බලාන හිටියා කියලා. උනෙත් ඉතිං ඒක තමයි. ඒ උනාට ඒක එයා දැනගන්න ඕන නෑනේ. කොලිටි බහිනවනේ. හිත උඩ පැන පැන කියද්දී මැසේජ් එකක් දාපං දාපං කියලා, මම උට පයිං දෙකක් ගහලා “කට වහගෙන හිටු” කියලා අමාරුවෙන් හිත හදාගෙන නිදාගත්තා.
එදා රෑ එයාව මට හීනෙන් පෙනුනා. සුදු පාටට හුරු පසුබිමේ දම්, රතු, රෝස පාට මල් වැටුනු තට්ටු ගවුමක් ඇඳගෙන, කඩා දාපු කොන්ඩේ මල් ගහගෙන. ඒ මදිවට එයාගේ පිටේ තටු දෙකකුත් තිබුනා. මම හිටියේ පන්ඩිත රාමා අඳිනවා වගේ ඇඳුමක් ඇඳගෙන, හර්බජන් සිං වගේ ඔලුවට දාන අයිටම් එකකුත් දාගෙන. හිටියේ පේරාදෙණියේ මල්වත්තේ. එදා මල්වත්තේ මිනිස්සු කවුරුත් නෑ. ලව් කරන කපල් වලට බකට් අදින සිකුරිටි අංකල්ලත් නෑ. එයා මගේ ළඟට ආවේ පියාඹගෙන. “එන්න, අපි යමු මේ ලෝකෙන් එහා තියෙන අපි දෙන්නා විතරක් ඉන්න අපේම ලෝකෙකට” එයා තටු සලන ගමන් එහෙම කිව්වා. එයා මාවත් කරේ තියාගෙන ඈතට ඈතට පියාඹලා ගියා. ගොඩක් උඩ යනකොට මට වමනෙට වගේ ආව. මම වමනේ දාන්න වම් පැත්තට බර උනා. එතකොට පියාඹන ගමන් හිටපු එයාගේ සමබරතාවය නැති වූනා. මට එයාව අත ඇරිලා බිම වැටෙන්න යනකොටම “බුදු අම්මෝ” කියලා කෑ ගැහුනා. නෙට් එකත් කඩාගෙන මම ඇඳ පාමුල.
කබ කඩ කඩ ගිහිං ඇස් දෙකත් පියාගෙනම දත් මැදලා මූණ හෝදගෙන ආවා. රෝෂිණීට මැසේජ් එකක් දාන්න දැන් හොඳම වෙලාව.
“හායි.. ගුඩ් මොර්නින්ග්”
පැනියා වගේ මම එහෙම මැසේජ් එකක් දාලා ඔෆිස් එකට ගියා. ගේට් එකෙන් ෆෝන් එක දෙන්න කලින් ආපහු ෆෝන් එක බැලුවා.
“ගුඩ් මෝර්නින්ග්”
එයා එහෙම කියලා ඒකත් එක්ක කම්මුල් දෙක රතු කරන් හිනා වෙන ඉමෝජියකුත් එවලා. රිප්ලයි කරන්න වෙලාවක් නෑ. මම ෆෝන් එක දුන්නා. කමක් නෑ, තව ටිකකින් එයත් එයි නේ ඔෆිස් එකට.
කැන්ටින් එකට ගිහින් කෑම එක කන අතරේ මෙන්න එයා එනවා පද්ද පද්ද, පැද්දි පැද්දී. බෙල්ල ගාවින් චුට්ටක් පහළට වැටුන කොන්ඩේ තාලෙට ගැස්සෙනවා. ගවුමේ පහළ කෙලවර දනිස්සේ උඩ කෙලවරින් නතර වෙලා තිබුනා. වහලේ කැරකෙමින් තිබ්බ ෆෑන් එකේ හුළඟ ඒ පොඩි ගවුමත් හොරකම් කරන් යන්න හදනවා. එයා අත්දෙකෙන් ඒක අල්ලගන්න ගමන් මගේ දිහා බලලා හිනා උනාම මගේ පපුව දඩිස් දඩිස් ගාලා ගැහෙන්න ගත්තා. මම හිතන්නේ මට හිනා ගියේ නෑ. මම බැලුවේ වටේ හිටපු කවුරුත් දැක්කද කියලා. අවුලක් වෙලා තිබුනේ නෑ.
එදා හවස ඉඳන් අපි පටන් ගත්තා ආදරේ අකුරු කරන්න. එහෙම කිව්වට අපි නොකලේත් ආදරේ අකුරු කරපු එක. දවල්ට ඔෆිස් එකේ වෙන දේවලුයි අරවයි මෙව්වයි ඔක්කොම කියන්න ගත්තම වෙලාව යනවා දැනුනෙත් නෑ. ෆෝන් එකෙන් මොනවා කතා කලත් අපි ඔෆිස් එකේදී වචනයක්වත් කතා කරන්නේ නෑ. ඇස් වලින් විතරයි ඔක්කොම. මගේ ළඟම උන් ටික විතරයි මේ කෝලම දැනගෙන හිටියේ. පස්සේ ඉතිං උදේට ඔෆිස් එන වෙලාව කතා කරගෙන අපි මඟදී හම්බ වෙලා කතා කර කර ඔෆිස් එක ළඟට එනකන් පයිනුත් එනවා.
මම එනගමන් ඇහුවා හවස කොහොමද යන්නේ කියලා..
“බෝයි ෆ්රෙරෙන්ඩ් ගන්න එනවා කිව්වා”
එහෙම කිව්වම ඌ හොයාන ගිහින් හොම්බට දෙකක් අනින්න හිතුනත් ඒ හැඟීම මම පාලනය කරගත්තා. එයා ඒක කියලා මගේ මූණට වෙන්නේ මොකද බලන්න මගේ දිහාම බලන් ඉන්නවා. බූට් තියලා, බූට් කාලා, ලව් කරලා, ලව් කරනවා වගේ පෙන්නලා ඔක්කොම පුරුදු නිසා මම පොඩ්ඩක් අවුල් ගියත් අවුල පෙන්නන්නේ නැතුව නෝන්ඩි හිනාවක් දැම්මා. එයාට නම් ඒකට හොඳටම අවුල් ගියා. එයා බලාපොරොත්තු උන විදියට මම කන්ෆියුස් නොවුන එකට. ඒත් මොකුත් කිව්වේ නෑ. මමත් ඉතිං කටුස්සා වගේ පරිසරේට අනුව තිබිචිච තත්වෙට හැඩ ගැහුනා.
ටික දවසක් යනකොට ඉතිං මුළු ඔෆිස් එකේම මේ කේස් එක මහා භීෂණයක් වගේ පැතිරෙන්න ගන්නවා. මගෙත් එක්ක ජීවිතේට කතා නොකරපු උනුත් අමුතු විදියට මගේ දිහා බලනවා. කැන්ටින් එකට තේ එකක් බොන්න ගියත් හැමෝගෙම ඇස් අපේ දිහාට. ඇයි යකෝ.. මේක මැජික් එකක් ද. කෙල්ලෙක් කොල්ලෙක් දිහා බලන එක, කොල්ලෙක් කෙල්ලෙක් දිහා බලන එක. මටත් ඇත්තටම ටිකක් අවුල් ඔහොම දෙයක් ලීක් උනොත් ඇත්තටම ප්රශ්ණ.
මම එයාට කිව්වා,
“මේක ඔෆිස් එකට ලීක් වෙලා තියෙන්නේ, අපි අදුරන්නේ නෑ වගේ ඉමු. නැත්තං ප්රශ්ණයක් වෙයි” කියලා.
එයත් එකපාරටම බය වෙලා “ඔව් අනේ එහෙනම් අපි කතා කරන එක නවත්තලා දාමු. මට ප්රශ්ණයක් වෙයි මේක” කියලා කියයි කියලා හිතුවට එහෙම කිව්වේ නෑ. එයා කිව්වා,
“ඔයාට ප්රශ්ණයක් නැත්තං මට ප්රශ්ණයක් නෑ” කියලා.
ඔව් ඉතිං අපේ ඔෆිස් එකනේ. ප්රශ්නේ මටනේ. කොහොම හරි කතා කරගත්තා ආය කැන්ටින් එකේදී උකුළු මුකුළු නොකර ඉන්න. මම දැං ඉන්නවා ඒ පැත්තවත් බලන්නැතුව. ඒකට මෙයා. වෙනදා සැරින් සැරේ බලපු ගෑණි බෙල්ල ඇද කරන් බලන් ඉන්නවා. යකෝ මම කොහොමද සමාජෙට මූණ දෙන්නේ. යාන්තමට හරි මට සායමක් තිබුනනම් මෙයා ඒක හෝදනවා සුපිරියටම.
කොහොම හරි ඔතන යටින් ගියා තව ලොකු ගේමක්. අපේ යක්ෂනියොන්ට මෙයාලව දිරවන්නේ නෑ. වොෂ් රූම් ගියාම එහෙම හෙන ඇඩ් දානවලු මේ සෙට් එකට. ඉතිං මේ නංගී ඒකේ පලිය ගන්න පාවිච්චි කලා මාව. උන් ඔක්කොටම ඇඟෙව්වා උඹලගේ එකෙක් එක්ක තමයි මම සෙට් වෙලා ඉන්නේ කියලා. කැන්ටින් එකේදී දාන බැල්මට් එක දැක්කම ආය ඉතිං බනිස් ගෙඩියේ වහන මැස්සා පවා හිතන්නේ අපි හෙන ලව් කියලා තමයි.
කොහොම උනත් එයා මගේ දතට තට්ටු කරන්න නම් ආවෙත් නෑ. මම එයාගේ දතට තට්ටු කරන්න ගියෙත් නෑ. අපි ආදරේ කලෙත් නෑ. ඒ කරපු දේට කියන නම මොකද්ද කියලා මම දන්නෙත් නෑ. එයා මගෙන් ආතල් එකක් ගත්තා. මම එයාගෙන් ආතල් එකක් ගත්තා. ආතල් කිව්වට කුණු හරුප ආතල් එකක් නෙවෙයි.
මම එයාගෙන් දවසක් ඇහුවා ඇයි ඔයාට මගේ දිහා බලන්න හිතුනේ කියලා. එයා කිව්වා මට කැමති නිසා කියලා. මම ඇහුවා ඒ කියන්නේ ආදරේද කියලා. එයා නෑ කිව්වා. එහෙනම් කැමති මොනාටද කියලා මම ආයෙත් ඇහුවා. ඔය රැවුලට, ජෙල් ගාලා අවුස්සපු කොන්ඩෙට, ශර්ට් එකේ අත නමලා තියෙන විදියට, ඔන්න ඔහොම ලිස්ට් එකක් කිව්වා. පස්සේ එයා ආපහු මගෙන් අහනවා මම එයාට කැමති ඇයි කියලා. මම කිව්වා මම ඔයාට කැමති නෑ කියලා. එයා කියනවා “ඔව් ඔයා ඉතිං පන්ඩිතයිනේ” කියලා. මම කව්වා “ඔව් මම පන්ඩිතයි තමයි” කියලා. එතකොට එයා කියනවා “මම වැඩිපුරම කැමති ඒ පන්ඩිතකමට” කියලා. එහෙම දේවලුත් තියෙනවද කියලා මම කල්පනා කලා.
ඔය අතරේ එයා මගේ අකවුන්ට් එකේ ඉන්නවා දැකලා අපේ ඔෆිස් එකේ අයියලා කීප දෙනෙකුත් එයාට රික්වෙස්ට් යවලා තිබුනා. මැසේජ් කරලත් තිබුනා. මට ඒ ඔක්කොගෙම ස්ක්රීන් ශොට් එනවා. චමින්දත් එහෙම මැසේජ් කරපු කෙනෙක්. මුලින් සිරිත් මල්දම කියා දෙන්න වගේ මැසේජ් කරලා පස්සේ පස්සේ තමයි සබ්ජෙට් එකට ටික ටික එන්ටර් වෙන්නේ. මිනිහා මගෙත් එක්ක දැක්ක තැන හොඳට විහිළු තහළු කරලා ඉන්න හාදයා. රෝෂිනී ට මැසේජ් දාලා තිබුනත් මට ඉතිං අවුලක් නෑ. මොකද මම එයාගේ බෝයි ෆ්රෙරෙන්ඩ් නෙවෙයිනේ.
මූ දවසක් මම ගැන අහලා එයාට මැසේජ් කරලා තිබුනා. කියන්නත් ලැජ්ජයි. ඔයා අරයත් එක්ක යාළුයිද, උට කෙල්ලෙක් ඉන්නවා, ඌ බොනවා ඔන්න ඔය වගේ දේවල්. මෙයත් ඉතිං ගැලපෙන්න උත්තර දීලා තිබුනා. අන්තිමේට චමින්ද හොඳවයින් අහගෙන චැට් එක නතර වෙලා තිබුනා. මට ඒකෙත් ස්ක්රීන් ශොට් ටික ආවා. එක පාරටම මල පැනලා ආය දුක හිතුනා. ඔන්න ඔහේ මොක කිව්වම මොකද මගේ ඇඟේ වදිනවයැ කියලා සද්ද නැතුව හිටියා. මිනිහත් මාව දැක්ක තැන කිසි වෙනසක් නැතුව වෙනදා වගේ හිනා වෙලා විහිළු කරලා යනවා.
කොහොම හරි මාස ගානකට පස්සේ රෝෂිණිලගේ වැඩකටයුත්ත අහවර කරලා යන්න යනවා. අපේ නමක් නැති සම්බන්දෙත් කාලයේ වැලි තලාවෙන් වැහීගෙන යමින් තිබුනා.දවසක් චමින්ද කැන්ටින් එකේදී හම්බුනා.
“දැන් උඹේ අර සීන් එක නැද්ද බං” ඌ ඇහුවා.
“මොන එකද බං” මම ඇහුවා.
“අර සක්කරවට්ටම බං”
“ආහ්.. දැං නෑ බං”
“උඹ මොකුත් වැඩක් කරගත්තේ නැද්ද බං”
“වැඩක් කිව්වේ මචං”
“කොහෙටවත් ඇදං ගියේ නැද්ද”
“අපෝ නෑ බං”
“අයියෝ වැඩක් නෑ මචං උඹලා. ඔච්චර කාලයක් ඉඳලත් වැඩක් කරගෙන නෑනේ. අපි එහෙම ඔහොම ගේමකට බැස්ස නම් ඉතිං ආය අහන්න දෙයක් ඉතුරු කරන්නේ නෑ, දන්නවනේ ඉතිං චමියලගේ ගේමකට බැස්සොත්”
“ඔව් මචං මං දන්නවා”
මම කට කොනින් හිනාවක් දාලා එහෙම කියනකො
ට මිනිහට තේරුනා මොකක් හරි අවුලක් තියෙනවා කියලා. කැනටින් එකෙන් එලියට යන දොර ගාවින් ආපහු හැරිලා බලන කොටත් චමින්ද ගල් ගැහිලා බලන් හිටපු විදියට මට තේරුනා කියපු දේ ටිකක් සැර වැඩි උනා කියලා. මොනවා කරන්නද චමින්ද. ඇදපු කතා අදින් නැතුව හිටිය නම් සැර එකෙන් වදින්නේ නැති වෙන්න තිබුනා.
උපුටා ගැනීම: -හෝම්ස්-