මොන්ඩියල් (ඉස්කෝලෙ කාලෙ රස කතා)

Share With Friends

Facebook
WhatsApp
Telegram
LinkedIn
Email
කොට කලිසං ගහපු කාලෙ පහු කරල දිග කලිසමට බැස්සෙ දහයෙදි. තාම ඒ හැටි උසක් නැතත් දිග කලිසම අඳිනව කියන්නෙ හිතට සෑහෙන්න ගැම්මක්.
ස්පෝර්ට් මීට් දවසෙ කොටුව පැත්තෙ වටයක් ගහන්න යන්න ඕනෙ උනෙත් ඒ ගැම්ම නිසාම වෙන්න ඇති.
ස්පෝර්ට් මීට් එක පටන් ගන්නෙ හවස 2.00 ට විතර. අපි දවල් 1.00 විතර වෙද්දි ඉස්කෝලෙ. තව වෙලා තියන නිසා යාලුවො ටික සෙට් උනේ කොටුව පැත්තෙ ගිහිං වටයක් ඇවිදල කරල එන්න.
කුරුඳුවත්ත පොලිසිය හෝල්ට් එකෙන් 120 බස් එකකට නැග්ග අපි කොටුවෙ ස්ටේශන් එක ගාවින් බැහැ ගත්තෙ විනාඩි 20 විතර පස්සෙ. හැමදාම වගේ ට්රැෆික් වලින් නම් අඩුවක් තිබ්බෙ නෑ.
බස් එකෙන් බැහැ ගත්තට පස්සෙ අපේ යාලුවන්ගෙ අවශ්යතා විවිධාකාර උනා. ගුණසේන එකට ගිහිං පොත් බලන්න, වර්ල්ඩ් මාකට් එක පැත්තෙ ගිහිං ඩෙනිම් බලන්න, වොච්, සපත්තු බලන්න යන්න, ඔය වගේ විවිධාකාර දේවල්.
ඉතිං කට්ටිය එක එක දේවල් විකුණන පැති වලට වෙන් වෙලා ගියා පැය බාගෙකින් විතර ආපහු ස්ටේශම ගාවට එන්න බලාගෙන.
අතේ රු. 50 කට වඩා නොතිබ්බ මට ගන්න පුලුවන් දේවල් සීමිතයි. මාත් එක්ක නිකං වටයක් ගහන්න ඉතුරු උනේ සුධීර විතරයි.
සුධීර මට වඩා අවුරුද්දක් පහල පන්තියෙ හිටියෙ. තාම කොට කලිසං.
කොටුව පුරා විකුණන්න තියන බඩු බල බල දවසක සල්ලි ලැබුණහම ගන්න දේවල් ගැන කියව කියව අපි පාර දිගට ඇවිදන් ගියා.
එක පාරටම අපි ඉස්සරහට ආව අතේ පයේ අරුමෝසම් සුකුරුත්තං බඩු එල්ලගෙන විකුණන පුද්ගලයෙක්. මිනිහ ගාව තිබුණ මොන්ඩියල් වලිං මට ඇහැ අහකට ගන්න බැරි උනා.
ඒ ලොකු මොන්ඩියල් ට්රෙන්ඩ් එකක් පැතිරිලා තිබුණ කාලයක්.
කළු, උස, කොණ්ඩෙ සහ රැවුල වවපු, රතු උන ඇස් තිබ්බ මිනිහව දැක්ක ගමන් මට හිත කිව්වෙ ” මේ නං කුඩු කාරයෙක්, මෙතනිං ඉක්මනට මාරු වෙන්න ඕනෙ” කියලා උනත් මොන්ඩියල් එකට තිබ්බ ආසාව මාව එතන නතර කලා.
සුදු යකඩ වගේ ලස්සන සුදු පාට මොන්ඩියල් එකක්.
” අයියෙ, මේ මොන්ඩියල් කීයද?”
“ආ, ගන්න මල්ලි, මේව හොඳ බඩු.”
මිනිහ මම හිතන්නත් කලිං මොන්ඩියල් එකක් මගේ අතට දැම්මා හරිම මිත්ර ශීලී විදිහට.
මිනිස්සුන් ව පෙනුමින් මනින එක කොච්චර වැරදිද?
එහෙම හිතපු මම මොන්ඩියල් එකේ ගාන ඇහුවා. රුපියල් 25 කට වඩා නැතුව ඇති.
“කීයද අයියේ මේක”
” රැ. 120 යි”
සුධීරයි මායි මූණට මූණ බලා ගත්තා. අතේ රු. 50 ක් තියාගෙන මේක ගන්නෙ කොහොමද?
මම මොන්ඩියල් එක ගලවලා ආපහු දුන්නා.
” ආ අයියෙ, එච්චර සල්ලි නෑ “
මිනිස්සුන් ව පෙනුමෙන් මැනගන්න බැරිත් නෑ කියල තේරුනේ ඊට පස්සෙ.
” සල්ලි නැත්නං මොකට ද ගාන ඇහුවෙ. අතේ දාගත්ත නං දැං මේක ගන්නවා. උඹල මාව නරක මිනිහ කර ගන්න එපා, කෝ ගන්නව සල්ලි”
මදාවිය දැං තර්ජනය කරල බිස්නස් එක කරගන්න හදන්නෙ. අපි දෙන්න ගාව සල්ලි එකතු කලත් රැ 120 නෑ. ඒ මදිවට මූ මොන්ඩියල් එක ආපහු ගන්නෙත් නෑ.
” අපි මේක මෙතන බිම දාල දුවමු”
සුධීර මගේ කනට කිට්ටු වෙලා යෝජනාවක් කලා.
මුගේ උසේ හැටියට දුවල බේරෙන්න බෑ.
” බෑ ඒක හරියන්නෙ නෑ “
සුධීරට එහෙම කියපු මම ආපහු අසරණ ලීලාවෙන් සල්ලි නෑ කියල මොන්ඩියල් එක ආපහු දෙන්න හැදුවා.
” හරි දැං උඹල ගාව කීයක් ද තියෙන්නෙ”
මදාවිය බ්ස්නස් එක අතාරින්නෙ නැ.
“රැ 20 යි තියෙන්නෙ”.
ආපහු බස් එකට සල්ලි ඉතුරු කරගන්නත් එපායැ.
” කෝ ගන්නව රු 20 මෙහාට”
මම රු 20 දෙන්න කලිං උදුර ගත්ත මදාවිය යන්න ගියා. සුධීරට යි, මට යි යන්තං හුස්ම වැටුණා.
අන්තිමට ලස්සන සුදු මොන්ඩියල් එක මගෙ අතේ ඉතුරු උනා.
පසු සටහන.
දිවි පරදුවට තියල ගත්ත මොන්ඩියල් එක මෑතක් වෙනකං මගේ ලඟ තිබුණා. තාමත් ගෙදර කොහේ හරි ඇති.
ඒ අත්දැකීම නිසා පිටකොටුව පැත්තෙ ඇවිල්ල ගනු දෙනු කරන්න ඕනෙ විදිහ ගැන ලොකු දෙයක් ඉගන ගන්න පලුවන් උනා.
එතකොට සුධීර….
ආෆ්ටර් ඒ ලෙවල් කාලෙ දි යාලුවොත් එක්ක ඉඳුරුවෙ බීච් එකේ නාන්න ගියපු සුධීර අකාලයේ මුහුද ට බිලි උනා.
ට්රිප් එක නොයන්න හිටපු සුධීරව උදේ ගෙදරට ඇවිත් බලෙං වගේ ට්රිප් එකට අරං ගිහිං තියෙන්නෙ. ඒ මාරයා කතා කරන හැටි වෙන්න ඇති.
සුධීර ගෙ උසස් පෙල ප්රතිඵල ආවෙ තුන් මාසෙ දානෙ දවස් වල.
ගණිත අංශයෙන් “A” සාමාර්ථ තුනක් ගත්ත සුධීර ලංකාවෙන්ම 84 වෙනියා විදිහට උසස් පෙළ සමත් වෙලා තිබුණා.
උපුටා ගැනීම: Harshan Indika Sirimanna

Read More Like This

PHP Code Snippets Powered By : XYZScripts.com
error: Content is protected !!