ප්රශන්ති සරසවියේ සිට නිවසට එද්දී මවත් පියාත් මල්ලිත් සිටියේ පැන්ට්රියේය. නාලිකා වඩේ බදින අතර සිසිර තේ හදයි. ඔහුගේ තේ එකට ගහන්නට තේ කොහේවත් නැති බව ප්රකට කරුණකි.
“අම්මි අද මාර වැඩක් උනානේ. ෆ්රී ටයිම් තිබිලා අපේ කට්ටිය කලා භවණේ ආර්ට් එක්සිබිෂන් එකක් බලන්න ගියා. අම්මිගේ චිත්රයක් තිබුණලු එතන. ඉස්සර එකක්. අම්මි පෝට්රේට් එකක් ඇදගත්ත එකක්” ප්රශාන්ති කීවේ පුටුවක් ඇද ඉදගන්නා අතරේය.
“මොන පෝට්රේට්ද ළමයෝ මගේ, වෙන කවුරු හරි වෙන්න ඇති”
“නෑ අම්මි සුනී අම්මිව දන්නේ නැතුවයැ. ඊටත් මම අම්මිලාගේ වෙඩින් ෆොටෝ ටිකක් මේ ළගදි ස්කෑන් කරලා එෆ් බී දැම්මනේ. අනිත් අයත් කියනවා අම්මිමලු. ලස්සනයි කිව්වා. කොණ්ඩෙ දිගම දිගයිලු. මාත් යනවා හෙට බලන්න”
“පිස්සුද අනේ. මට ජීවිතේට දිග කොණ්ඩයක් තිබිලා නෑ”
නාලිකා කීවේ දුව ළගින්ද පීරිසියකට දැමූ වඩේ තුනක් තබන අතරේය.
මහා ලොකු රූමතියක නොවන තමාගේ චිත්රයක් අදින්නට හේතුවක් නැත. දැන් මෙන් ඔන්ලයින් ඇදීම්, පින්තූර යවා චිත්ර ඇදීම් ඒ කාලේ තිබ්බේ නැත. දුවගේ විසි දෙෙවනි උපන්දිනයට ඇගේ පෙම්වතා මාලක ඕස්ට්රේලියාවේ සිට ලංකාවේ තරුණයකු ලවා අන්දවා ගෙදරට එව්වේ එවැනි චිත්රයකි. තමන්ගේ කාලයේ චිත්රයක් ඇන්දවීම සති, මාස ගණනක් වැය කළ යුතු, ලොකු මුදලක් යන වෙහෙසකර ව්යායාමයකි.
“තාත්තිවත් ඇන්දද දන්නෑ ඒ කාලේ. ඇන්දද තාත්ති?’ ඒ ඇසුවේ පසන්ය.
“අපෝ තාත්ති නම් වෙන්න බෑ, තාත්තිට හරියට රවුමක්වත් අදින්න බෑනේ” ප්රශන්තිගේ පිළිතුරට නාලිකා හැරී බැලුවාය.
“තාත්තිට වැඩ නැතුවයැ රවුම් ඇද ඇද ඉන්න. තාත්තිට ඩ්රාෆ්ටිං ස්ටාෆ් එකක්ම ඉන්නේ ඕනි එකක් ඇදගන්න.” ඇයගේ පිළිතුර සිනාබර නමුත් සැරය.
“ඔන්න ඔන්න අම්මිගේ ලවු එකට මොකක් හරි කිව්ව ගමන් අම්මි ෆයර් වෙනවනේ. අක්කි යං මර්ලින් පටන් ගන්නවා දැන්”
——————-
ඔවුන් ගිය පසුද නාලිකා හා සිසිර පැන්ට්රියේ නතර වූයේ රාත්රි ආහාර සූදානම් කිරිමටය.
“මෙයාලාට හිතෙන්නේ එයාලා වගේ අපිටත් ඒ කාලේ සැප තිබුණා කියලා. තාත්තාගෙ තනි පඩියෙන් අපිට චිත්ර අන්දන්න තියා අදින්න ඇදුමක් හම්බුණෙත් අවුරුද්දට විතරයි” නාමලී කීවේ සිනාසෙමින් වුවත් දරුවන්ට ඕනෑවට වඩා සැප දිය යුතු නැතියි ඇය සැමවිටම සිසිරට කියන නෝක්කාඩුව එහි යටින් තැවරී තිබිණි.
“එයාලාට ඕව තේරන්නෙ නෑ නාලි.” සිසිර වැඩිකතා නැත්තෙකි.
රජයේ ව්යුහාත්මක ඉංජිනේරුවකු ලෙස සේවය කර විශ්රාමයෙන් පසු ඉදිකිරීම් ආයතන කිහිපයක උපදේශක සේවයෙහි යෙදෙන ඔහුට දැන් ලැබෙන විවේකයද ආදායමද සමාජ තත්වයද පෙරට වඩා වැඩිය. නමුත් ඒ සියල්ල හොදින් කළමනාකරණය කරන නාලිකා සතයකුදු නාස්ති නොකර නිවසේ කටයුතු කරන්නේ බාල වියේ විදි දුක් ඇයට අමතක නැති නිසා බව ඔහු දනියි.
————
අගහරුවාදා ප්රශාන්ති නිවසට ආවේ උඩ පනිමිනි.
“අනේ අම්මි මම බලන්න ගියා අර චිත්රෙ. අම්මිම තමයි. ෆොටෝ ගන්න දෙන්නෑ නැත්නම් මම ෆොටෝ එකක් අරන් එනවා. වෙන එකක් තියා අම්මිගේ මේ අතේ තියෙන බර්ත් මාර්ක් එකත් තියෙනවා. මාර ලස්සනයි.”
“මොන චිත්රද ළමයෝ. කවුරු අදින්නද මගේ චිත්ර”
———————————————-
ඒ සතියේ බ්රහස්පතින්දා නාලිකා නෙළුම් පොකුණ ළගින් රිය හරවා ගත්තේ කොල්ලුපිටියේ මනෝදිගේ මහල් නිවාසයට යාමටය. සිඩ්නි නුවර වාසය කරන මනෝදි හා අතුල ප්රනාන්දු මෙවර නිවාඩුවට පැමිණ පිටත් වන්නේ අනිද්දාය.
පසුගිය වසරක සමුළුවකට සහභාගී වීමට සිඩ්නි වෙත ගිය සිසිර තම නිවසේ නවත්වා ගෙන, දින කිහිපයක් නිවාඩු දමා ඔහු ඔපෙරා හවුසය, බ්ලූ මවුන්ටන් කදුවැටි, හන්ටර් වැලි ආදී සුවිශේෂී ස්ථාන වෙත ගෙන යාමට ඒ යුවළ ක්රියා කර ඇත්තේ සතයකුදු ඔහුට වියදම් කිරීමට නොදෙමිනි. දින පහකින් පසු සිසිර නැවත ආවේ මුළු පවුලටම ප්රනාන්දු යුවළ ගෙන දුන් තෑගිද රැගෙනය.
ඒ හිතවත්කමට කළගුණ සැළකිය යුතු බැවින් ඔවුන් ලංකාවට පැමිණෙන සෑම විටකම තමන්ට හැකි පමණ සංග්රහ කිරීමට නාලිකා අමතක නොකරයි. ඇය අද යන්නේ ඔවුන්ට රැගෙන යාමට වැකියුම් පැක් කළ හාල්මැස්සන් බැදුම්, තීරං කරවල බැදුම් හා බැදපු කජු අඩංගු පාර්සල් කිහිපයක් රැගෙනය.
කලාභවන පසු කරද්දී මාර්ගය අයිනේ සුළගේ ළෙලදෙන කොඩියක ඇගේ නෙත නතර වූයේ එහි වූ අපූරු කළාත්මක ගතිය නිසාය. “පිය පුතු සිතුවම්” ලෙසින් සදහන් කොඩියෙහි “පිය” කොටස කලු සුදෙන්ද “පුතු” කොටස වර්ණයෙන්ද සිත්තම් කර තිබේ.
දුව කී සිතුවමද තිබෙන්නට ඇත්තේ මෙම ප්රදර්ශනයෙහි බව නාලිකාට ක්ෂණයෙන් සිහියට නැගුණේ එවිටය. අද විශේෂ වැඩක්ද නැති බැවින් ඇය රිය පසෙක නවත්වා කලාභවනට ඇතුළු වූවාය.
පළමු ශාලාවේ වූයේ වර්ණයෙන් කෙරුණු අපූරු දිය සායම් සිතුවම් පෙළකි. නාලිකාට චිත්ර ශිල්පය ගැන අවබෝධයක් නැත. නමුත් ඒ මනරම් සිතුවම් අතර ඇවිදින ඇයට සිහි වූයේ සෝලියස් මෙන්දිස් හා ජයසිරි සේමගේ වැන්නන් අතින් නිමවූ සුමට හැඩතල හා නෙතට සුව දනවන අලංකාර වර්ණ සංකලනයන්ගෙන් යුතු සිතුවම්ය.
ජන ජීවිතයේ විවිධ අවස්ථා, භූ දර්ශන ආදිය ඉතා විශිෂ්ඨ ලෙස සිතුවම් කර ඇත. ඉතා සෞම්ය වර්ණයන් නිසා ඕනෑ තරම් වේලා ඒවා දෙස බලා සිටිය හැක. “පිය පුතු” ලකුණ සහිත කළු ටී ෂර්ට් හා ඩෙනිම්වලින් සැරසුණු කොලු කෙල්ලන් රැසක් ශාලාවේ එහා මෙහා යති. කාර්යාල වෙලාව හෙයින්දෝ නරඹන්නන් අඩුය.
සුදු කුර්තාවකින් හා ලා දුඹුරු කලිසමකින් සැරසුණු ප්රියමනාප තරුණයකු ඈ වෙත ආවේ ඇය එක් එක් චිත්රය ළග බොහෝ වේලා ගත කරන අයුරු මදක් වේලා බලාසිටීමෙන් අනතුරුවය.
“ගුඩ් මෝර්නිං මැඩම්”
“මෝර්නිං පුතා, ඔයාගේද මේ චිත්ර”
“මේ ලෑන්ඩ්ස්කේප්ස් ටිකයි අර ස්ටිල්සුයි මගේ මැඩම්. එහා හෝල් එකේ තියෙනවා බ්ලැක් ඇන්ඩ් වයිට්ස්. ඒව මගේ අප්පච්චිගේ. එතන වැඩියෙන් තියෙන්නේ පෝට්රේට්ස්”
“හරිම ලස්සනයි පුතා. මම චිත්ර ගැන දන්නේ නෑ. ඒ වුණාට මේවා හරිම ලස්සනයි.”
“තැන්ක් යූ මැඩම්”
ඉන්පසු ඔහු එකින් එක චිත්ර වෙතට ගියේ ඒවායේ විස්තර ඇයට කියමිනි. සාගර ලෙස තමන්ව හදුන්වා දුනු ඔහු සෞන්දර්ය විශ්ව විද්යාලයේ අවසන් වසර ඉගෙනුම ලබන සරල, ප්රියමනාප තරුණයෙකි.
ඔවුන් අනිත් ශාලාවට ඇතුළු වූයේ අනතුරුවය.
තවත් අමුත්තකු පැමිණ සාගරට කතා කළ බැවින් ඔහු ඇගෙන් මදකට සමු ගෙන ගියේය.
වටපිට බැලූ නාලිකා එක්වරම දුව කියූ චිත්රය හදුනා ගත්තාය. කලු සුදෙන් නිම වූ එම චිත්රයේ සිටින්නේ පඩිපෙළක වාඩිවී මල් වට්ටියක් තනන යුවතියකි. ගෙල ලගින් ගැට ගැසූ ඇගේ දිගු කෙස් වැටිය පිටුපස පෙදෙසද පසුකර පහළ පඩියට වැටී තිබේ. ඇයට පසු පසින් අලංකාර කදු වලල්ලක් හා වළාකුළින් තොර නොවූ අහස දිස්වේ.
ළගට ගොස් බැලූ විට ඇයට සැබැවින්ම සිතුණේ ඒ තමාම බවය. කොලර් එකක් දැමූ මේ ඒ ලයින් ගවුම ඇයට සුදු නැන්දම්මා සිංහල අවුරුද්දකට මසා දී ඇය වසර ගණනක් ඇදි එකකි. වැලමිටට ඉහළින් ඇති කුඩා උපන් ලපයද තම වම් අතේ දැනුදු තිබේ. මේ පඩිපෙළද කදුවැටියද ඇයට බොහෝ හුරුය. මේ පඩිපෙළ ඇගේ ගමේ ගල්දොර රජමහා විහාරයේ ඇති පඩිපෙළයි.
නමුත් ඒ කාලයේද දැන්ද තමන්ගේ හිස කෙස් දිගට නොතිබුණු බව ඇයට සැකයක් නොමැත. තමන්ගේ රැළි කෙස මොන සාත්තුවක් කළද කිසි දිනක ඉණෙන් පහළ දක්වා වැවුණේ නැත. ඇය පුදුමයෙන් ඒ දෙස බලා උන්නාය.
——-
“නාලිකා”
තිගැස්සී හැරී බැලූ නාලිකාට චිත්රයේ රහසද එක්වරම වැටහිණි.
“මාධව”
සිනාසෙමින් ඇය දෙස බලා සිටියේ තරුණ සාගරගේම වියපත් පෙනුමකින් යුතු කෙනෙකි. ඇයගේ බාල වියේ සුවිශේෂී තැනක් ගත්තද කාලය ගත වෙද්දී මතකයන් අතරේ අමතකව ගිය කෙනෙකි. චිත්රය දකිද්දීම ඔහුව තමන්ට සිහි නොවූයේ මන්දැයි ඇයට දැන් සිතුණේ පුදුමයෙනි.
උදෑසන පළමු සිතුවිල්ලේද රාත්රියේ අවසන් සිතුවිල්ලේද ඔහු සැරි සැරූ සොදුරු කාලයක් ඇගේ ජීවිතයෙහි තිබුණි. කාලයේ රළ අතරේ එවන් මතකයන් සැගවී යන්නේ පුදුමාකාර ලෙසය.
“චිත්රෙ අදුරගත්තද, මම අවුරුදු ගාණක් ඕක එක්සිබිෂන් වල තිබ්බා. ඔන්න අද තමයි නාලිකා ආවේ”
————————————————-
උසස් පෙළ ලියා ගල්දොර පන්සලේ ඉංග්රීසි පන්තියට ගිය නාලිකාට හා සම වියේ මිතුරු පිරිසට පන්සලේ චිත්ර අලුත්වැඩියා කළ සිත්තරාගේ පුතු මාධව ඉතා සමීප විය. නායක හිමියන්ගේ අදහසට අනුව ඔහු පියාගේ හැකියාවද අභිභවන, දිනක ලංකාවේ නම ලොවට ගෙන යා හැකි දස්කමක් ඇති සිත්තරෙකි. ඔහුගේ ඇසද අතද කලාත්මකය.
පළමු දින සිටි ඔහුගේ ඇස තමා ලුහුබදින බව නාලිකාද තේරුම් ගත්තාය. ඇයගේ යොවුන් සිතද කඩවසම් සිත්තරා ලුහුබැන්දද ඇයට හැගුම්වලට ඉඩ දෙන්නට ඉඩක් නොලැබිණි. ගුරුවරයකුගේ දියණිය වූ තමාට කිසි විටක එවැන්නකු හා සරණ යන්නට නොලැබෙන බව ඇය දැන උන්නාය.
නමුත් ඔහු බොහෝ විට විත් ඇය හා දොඩමළු වූයේය. ඇයද ඔහුගේ කතාවට ඉතා ප්රිය වූවාය. ඔහුට වූයේ කලාත්මක ඇසකි.
“නාලිකා, ඔයාගේ කොණ්ඩෙ තමයි ඔයාගේ තියන ලස්සනම අංගය. දණහිස හරියට කොණ්ඩේ වවන්න නාලිකා”. ඔහු කිහිප දිනක් කී බව නාලිකාට සිහිවන්නේ දැන්ය.
“අනේ මාධව, මම මේ කොට කොණ්ඩේ වේලාගන්නෙත් අමාරුවෙන්” ඇය නොරිස්සුමෙන් කී බවද මතකය.
මාස ගණනකට පසු එක් දිනක් පන්තියට යන විට විහාරස්ථානයේ සිතුවම්වල වැඩ නිමවීමෙන් පසුව මාධවගේ පියා හා පිරිස පිටවී ගොස් තිබිණි. සෑහෙන කලක් ඔහුගේ මතකය තම සිත නොසන්සුන් කළ බව නාලිකාට දැන් සිහිවේ.
—————
“අපි පන්සලේ වැඩේ ඉවර වෙලා ගියාට පස්සේ මම මතකෙන් ඇන්දේ ඕක. කොණ්ඩෙ පොඩ්ඩක් දිගට දැම්මා. මම කොච්චර කිව්වත් නාලිකා කොණ්ඩෙ වැව්වෙ නෑනෙ.”
“මගේ දුව තමයි මේ චිත්රෙ ගැන කිව්වේ. මම ඒකයි ආවෙ බලන්න.”
“දුවෙක් ඉන්නවාද? නාලිකා වගේම ලස්සන ඇති.” ඔහු කීවේ මද සිනාවකිනි.
“දුවයි පුතයි ඉන්නවා. දුව තමයි වැඩිමල්. මාධවට පුතා විතරද?”
“ඔව් නාලිකා, මිනිහා ඉතින් මගේ අඩි පාරේම යනවා. පැරිස්වල යුනිවර්සිටි එකකට ස්කොල් එකකුත් හම්බෙලා තියෙන්නේ දැනටම”
“නෝනා? කොණ්ඩෙ දිග නෝනා කෙනෙක් හම්බුණාද මාධවට?” නාලිකා ඇසුවේ මදක් හඩ නගා සිනාසෙමිනි. මේ මොහොතේ ඇය සිටියේ දශක ගණනකට පෙර ගල් දොර විහාරයේ සිටි දැරියගේ කොළිලොල් මානසිකත්වයෙනි.
“මොන නාලිකා, කොල්ලා වගේ කොණ්ඩේ කපලා ඉන්නේ එයත්. දැන් එළියට ගිහින් අපිට ලන්ච් ගේන්න. තව ටිකක් හිටියොත් හම්බවෙලාම ගියෑකි ඔයාට”
“අනේ නෑ මාධව, මම වැඩකට යන ගමන් ආවේ. මම යන්න ඕනි.”
—–
මාධවගෙන්ද සාගරගෙන්ද සමුගත් නාලිකා කලාභවනෙන් පිටවූයේ මද සිනාවකිනි.
ගල් දොර පන්සලේ තේවා බෙර හඩත්, ගල් පඩිපෙළ දෙපස ගොල්ලට වැවුණු අරලියා ගාල පසුකරද්දී එන අපූරු සුවදත් ඇගේ සිතේ ගැඹූරෙන් මතුවී ආවේය. පඩිපෙළ පහළ දොළේ සිළිසිළියද, කාරුණික නායක හිමියන් වට්ටිවලට බෙදා තමන්ට කන්නට ගෙනැත් තැබූ දන් කැවිලි සුවදද ඒ හා මුසුවී ආවේය.
අතීතයෙන් නැගුණු මිහිරි වෙණ තත් නාදය ඇගේ සිත තුළද සිළි සිළියක් මතු කර තිබිණි.
සිනාබරවම ඇය රථ ගාල වෙත ගමන් කළේ ප්රදර්ශනය නිම වීමට පෙර සිසිරද කැටුව පැමිණ නැවතත් ඒ අපූරු චිත්රය බලා යා යුතු බව සිතමිනි.
උපුටා ගැනීම: පවිත්රා අභයවර්ධන