වැරදි නොම්බර (වැල් වටාරම්)

Share With Friends

Facebook
WhatsApp
Telegram
LinkedIn
Email
ඒ ටෙලිෆෝන් කෝල් එක මට ආවේ මීට පහුගිය අවුරුද්දේ කොරෝනා වසංගතේට හිර වෙලා ඉන්න කාලේ. මට අද වගේ මතකයි හරි කරුණාවන්ත ,දුරුවල කටහඬකින් කතා කරලා
” ලොකු පුතේ “
කියලා කතා කරපු හැටි. මට එක පාරටම හිතුණේ මගේ අම්මා, අම්මගේ ෆෝන් එකේ සල්ලි නැතුව වෙන කාගෙන් හරි කෝල් එකක් අරන් කියලා. අපේ අම්මා මට කතා කරනකොට හලෝ නොකියා කියන්නේ “ලොකු පුතේ” කියන එක. ඒත් මේ කටහඬින් ප්රශ්නාර්ථයක් විදියට අහපු නිසාත් අම්මගේ කටහඬට වඩා වෙනස් නිසාත් මං මෙහෙම ඇහුවා
” අම්මට කාටද කතා කරන්න ඕන?”
පොඩි නිශ්ශබ්දතාවක් එක්ක
” මේ ලොකු පුතා වසන්ත නෙමෙයිද ?”
“නෑ අම්මේ මම කුෂාන් , අම්මට නොම්බරේ වැරදිලා වෙන්න ඇති පොඩ්ඩක් බලන්න”
ඊට පස්සෙ සතියකට දවස් දෙක තුනක්, විසේසයෙන්ම ඉරිදි සෙනසුරාදා හෝ පෝය දවසට නානප්රකාර දුරකථන අංකවලින් කතා කරන ඒ වයසක මනුස්සයා , ලොකු පුතා ඉන්නවද අහනවා. කීප දවසක්ම ලොකු පුතාගේ විස්තර ඇහුවම ඒ අම්මා ඒවා කිව්වේ නෑ, එයා කීවෙම ලොකු පුතාට එයා කතා කරපු විත්තිය කියන්න කියලා. ඔහොම යද්දි සුමාන දෙකකට කලින් සෙනසුරාදා දවසක එක දිගට මිස් කෝල් හතරක් තිබුණා. මම ඒක දැක්කේ හවස නිසා මං එවෙලේම ආපහු කෝල් එකක් ගත්තා. අනෙක් පසින් බොහොම රළු පිරිමි මනුස්සයෙක්.
” ඔව් කවුද කතා කරන්නේ?”
“මට මිස්කෝල් කීපයක් තිබුණා දවල් එකොලහට විතර ඒකයි ගත්තේ”
“අහ්. එහෙමද ඔව්. ඒ අර සුජාතා වැඩිහිටි නිවාසෙදි එතන වයසක මනුස්සයෙක් දිනපොතක ලියන් උන්න නම්බර් එකට කෝල් එකක් අරන් දෙන්න කිව්වා…ඒකයි”
“ආ එහෙමද එහෙනම් කමක් නෑ. හරි එහෙනං”
මං එහෙම කියලා සුජාතා වැඩිහිටි නිවාසෙ ගැනයි ඒ අම්මා ගැනය වැඩි විස්තර අහන්න හදද්දි ඒ මනුස්සයා ආයේ මොකද්ද කිව්ව
” හලෝ… ?”
“ඔව් කියන්න”
“කියන්න…? වැදූ අම්මා මහළු මඩමේ දාලා මඟාරින උඹලා වගේ $රියන්ට මොනවා කියන්නද… &කයා , හෙණ ගහනවා උඹලට”
මං ඔහුට පැහැදිලි කරන්න ගියේ නෑ. මොකද ඒ කතාව මිනිස්සු විස්වාස කරන්නේ නෑ. ඒ තරමට අපි ම්ලේච්ඡ කාලකණ්ණි මිනිසුන් කොටසක් බවට ක්රමයෙන් පත් වෙලා. ඊට පස්සෙ ආයෙමත් දින කීපයක් ඒ ඇමතුම ආවත්, ඒ අම්මා කතා කලත්, පෙර තිබුණු උනන්දුව, තමන්ගේ පුතාගෙන් වචනයක් අහන්න තිබුණු නොනිත් ආසාව ඒ කටහඬෙන් වියැකී යමින් තිබුණා. බැරිම තැන ගිය සුමානේ ඉරිදා මම ඒ අම්මගේ අනිවාර්යයෙන්ම එන ඇමතුමට මෙහෙමත් උත්තර දුන්නා.
” ඔව් අම්මේ මම ලොකු පුතා…”
“නෑ ඔය මගේ පුතා නෙමෙයි”
මං කොහොමද ලේ වලට බොරු කරන්නේ. මං එහෙමම කෝල් එක කට් කරලා නිකන් හිටියා. ඊට පස්සෙ සතියක් ගෙවුනත් ඇමතුමක් ආවේ නෑ. කමක් නෑ ඉරිදට හරි සෙනසුරාදා හරි අනිවාර්යයෙන්ම ගන්නවනේ. ඊයේත් නෑ පෙරේදත් නැ. මටත් නිනව්වක් නැතුවම ඒක අමතක වෙලා ගියා. ඒත් අද උදේ අට හමාරට විතර නුහුරු අංකයකින් ඇමතුමක්.
” වසන්ත ජයදේව මහත්මයාට කතා කරන්න පුලුවන්ද ?”
“සොරි රෝන්ග් නම්බර්”
” අනේ සමාවෙන්න මහත්තයා කරදරයක් නම් මං කතා කරන්නේ සුජාතා අසරණ සරණ වැඩිහිටි නිවාසෙන්. ගුණවති මැණිකේ කියලා මෙහෙ නතර වෙලා හිටියේ මහත්තයා ගේ අම්මද?”
“නෑ මගේ කවුරුවත් නෙමෙයි ඒ”
“කමක් නෑ අපේ පොතේ ලියවිලා තියෙන්නෙත් , ගුණවතී නෝනගේ දිනපොතේ ලියලා ගිහින් තිබුණෙත් මේ නොම්බරේ”
මං ඒ කතා කල මනුස්සයා ට විස්තරේ මට පුළුවන් උපරිමයෙන් පැහැදිලිව කිව්ව. ඒක අහන් හිටිය ඒ මනුස්සයා මට දුන්නෙත් හරි පැහැදිලි උත්තරයක්.
” මෙහෙට වැඩිහිටියෝ ගෙනල්ලා ඇරලලා යන හැමෝටම හරියට පැටලවීම් අත්වැරදීම් වෙනවා මහත්තයෝ… හොඳට ඉගන ගත්ත ඉංග්රීසි පන්නෙට ජීවත් වෙන ලොකු නෝනලා මහත්තුරුන්ට මේ වැඩිහිටි නිවාසේ අයදුම් පත්තරේ පුරවද්දි
ඇඩ්ඩ්ස් එක වරදිනවා ටෙලිපෝන් අංක වරදිනවා, නම පැටලෙනවා… ඔව් ඉතිං අම්මා අප්පා අමතක වෙන එකේ නම ගම අහන්නත් දෙයක් ද.. “
මං නිරුත්තරව අහගෙන උන්නා
“කමක් නෑ මහත්තයා, ගුණවතී මැණිකේ ඊයේ රෑත්රියේ අන්ත්රා උනා. අද අපි පාංසුකූලේ දීලා අවසන් කටයුතු සිද්ද කරනවා.”
ප.ලි
ඒ ආරංචිය එක්ක මහ කාලකණ්ණි මූසල පසුතැවීමක් මගේ හිතට වද දෙනවා. අඩුම ගාණේ ඒ දුරකථන ඇමතුම් එකකට හරි වෙනම කතා කරලා විස්තරේ කියලා, කතාවේ සුල මුලක් මතු කරන් මටත් මොනයම්ම හෝ දෙයක් කරන්න තිබුණ බව මගේ හිත කියවනවා.
උපුටා ගැනීම: කුෂාන් ප්රේමසිරි

Read More Like This

PHP Code Snippets Powered By : XYZScripts.com
error: Content is protected !!