කණ්නාඩිය ඉස්සරට ආපු මම ටයි ගැටේ තද කරගත්තා. මාලනී එතකොටත් මගේ බත් එක ගෙනල්ලා මේසේ උඩින් තියල ඉවරයි. මම එයාගේ කැමතිම දේ තමා මේක.මගේ හැම වැඩක්ම නෑ බෑ නොකියා කරල දෙන එක.
ඉදල හිටලා පුතෙක් නැති එකට නෝක්කාඩු කිව්වත් මම එයාට එහෙමටම වරදක් කියන්නේ නැහැ.ලොකු දුව බැදලා ඕස්ට්‍රේලියාවේ පදිංචි උනාට පස්සෙ පොඩි දුවත් බැදල රාජගිරියෙන් පදිංචි උනා. මටත් ඉතින් විශ්‍රාම යන්න මහ ලොකු කාලයක් නෑ.
මම කෙලින් තීරණ ගත්තු රාජ්‍ය සේවකයෙක්.සේවයේ කියල නෑ සාමාන්යෙ ජීවිතයෙත් එහෙමයි. අම්මල කියන දේ අහපු හොද පුතෙක්. මම කොහොමත් දවස ගත කලේ ඒ ආඩම්බරෙන්. ඉදල හිටල කාන්තිව මතක් නොවුනා නෙමේ. ඒ උනාට මම එදාත් අදත් කොන්ද කෙලින් තියාගෙන වැඩ කරපු පිරිමියෙක්.ඒ ආත්ම තෘප්තිය මට හොදටම ඇති.මම ඒ සන්තෝසෙන්ම මේසේ උඩ තියල තිබ්බ මාලනීගෙයි මගෙයි දූලා දෙන්නගෙයි ෆොටෝ එක දිහා බැලුවා. පිරිමියෙක්ට ඉතින් වෙන සතුටක් මොකද්ද? හොද රස්සාවක් කලා. දරුවෝ දෙන්නෙක් හැදුවා. හොද නෝනා කෙනෙක් හම්බුනා.
ඔහොම කල්පනා කරනකොට මගේ සතුට ඩිංගක් හරි අඩු වෙන්නේ කාන්ති මතක් උනාම.අනේ මන්දා කොයි තරම් මම නිවරදි බව හිතුවත් හිත ඇතුලෙ ඉන්න එකෙක් මට කාන්තිගෙ රූපෙ මතක් කරල දෙන්නේ මොකද කියල.
කාන්ති මට හම්බුනේ අපි කැම්පස් යන කාලේ. කොන්ඩයක් ලස්සනක් මහ ලොකුවට නොතිබ්බට කාන්තිගෙ මහ අමුතු දෙයක් තිබබා. ඒ අමුතු දේ අදටත් ගෑණියෙක් ගෙන් මට දැනිලා නැහැ. කාන්ති ලග හරි රස්නෙයි. පිරිමියෙක් හොයන රස්නෙ ඒකි ගාව ඔනේ තරම් තිබ්බා.ඒක ඇදේදි දැනෙන රස්නෙ විතරක් නෙමේ. ජීවිතේම වටේ එතුන රස්නයක්. මම සබ්ජෙක්ට් වලින් රිපීට් වෙනකොට ආයෙම මාව උඩට ගන්න, තව විභාග ලියල ඉහලට එන්න, අපේ ගේ හදද්දි මගේ තරමටම වියදම් කරන්න කාන්තිට පුලුවන් උනා. ඒක නිසා මට කාන්ති ගැන කියන්න පුලුවන් ඒකි රස්නෙ ගෑණියෙක් කියලයි. මොන දුකක් වත් මට පෙන්නුවේ නැති හරි හයිය ගෑණියෙක්.
අන්තිමේ අපි දෙන්නා කසාද බැන්දා. මාසයක් දෙකක් තුනක් ගත වුනා. අවුරුදු දෙක තුනක් ගියත් අපේ වත්තේ හැම තැනම වැල් බැදල ජංගි පොඩි එල්ලන්න අපිට වාසනාවක් නැති උනා. ඒක මටත් වඩා ප්‍රශ්ණයක් උනේ අපේ අම්මට. දොස්තරල කිව්වේ බලාපොරොත්තු නැති කරගන්න එපා කියල. අම්මා දවසින් දවස ඇනුම් පද කියන කොටත් කාන්ති රසට කොස් මැල්ලුමක් හදල පරිප්පු බොරයක් එක්ක වැව් මාලු උයල මට කන්න දුන්නා. අම්මා වද ගෑණි කියන කොට ඒකි හිනා උනා.
අන්තිමේ කාන්තිගේ මේ ඉවසීම මට පුදුමයක් උනා. “ අපි බලමු සිරී, අපි අවාසනාවන්ත නැහැ.” වැඩිම උනොත් ඒකි කිව්වේ එච්චරයි.
තවත් අවුරුද්දක් ගෙවුණු තැනත් ලමා ලපටියෙක් නැති කොට අම්මා දහ අට වන්නමෙන් දොලහක් විතර නටන්න ගත්තා. වද ගෑණිව ඩිවෝස් කරල වෙන ගෑණියෙක් බදින්න අම්මම යෝජනා කලා. අන්තිමේ මගේ පුරුෂාධිපත්‍යය එලියට පැන්නා. ඔෆිස් එකේ එවුන් ලමයෙක් නැද්ද නැද්ද අහනකොට මම කාන්තිට වෛර කරන්න ගත්තා. ගෙදර ගියාම ඒකි හදල දෙන තේ එක පොලවේ ගහන්නත් යාලුවො එක්ක කාලා ගෙදර එන්නත් මම හුරු උනා. මම කන්න එන්නේ නැති බව කාන්ති දැනන් උන්නත් එයා දිගටම ඉව්වා. උයල විසි කලා. මම කෑ මොර දුන්නත් සද්ද නොකර හිටියා. තවත් මීට වඩා කරන්න දෙයක් නැති බව මම දැනගත්තම මමත් අම්මා එක්ක එකග උනා. එදත් උදේම කෑම එක අතට දීලා කාන්ති බලන් හිටියා. මම කිව්වා මට දික්කසාදේ ඕන බව.
කාන්ති කිව්ව වචන ටික මට අද වගේ මතකයි.
“සිරී හිතන්නේ අපි වෙන් වෙන්න ඕන කියලද? අපි දෙන්නට තව ඉවසන්න බෑ කියල ඔයා තීරණය කරල ඉවර නම් මම සූදානම් නතර වෙන්න.”
ඉතිං දික්කසාදෙ වැඩ හරිම ඉක්මනින් සිද්ද උනා.කාන්ති වන්දියක් වත් ඉල්ලුවෙ නැහැ. අන්තිමේ ඉතින් මම හිත හදා ගත්තා. මට දරුවෙක් දෙන්න බැරි නම් මම වෙන මොනවා කරන්නද. අම්මගෙත් ඇස් වල සතුටු කදුළු දිලිසුනා. මම අම්මට පිටුපාපු දරුවෙක් නෙමේ.
“මගේ කොල්ලා මම හැදුවෙ එහෙම.” නෑයෝ එක්ක අම්මා කියනවා මම අහගෙන.
කාන්ති අන්තිම දවසේ කොන්ඩෙ ගොතාගෙන සුදු සාරිය ඇදල උසාවියට ආවා.ඒත් වෙනදට දිලිසෙන එයාගේ ඇස් එදා තිබ්බේ මලානික වෙලා. මට ඒ ගැන හිතන්න වෙලාවක් තිබ්බේ නැහැ.අම්මා එතකොටත් මට මාලනී ජෝඩු කරල ඉවරයි. අන්තිම නඩු වාරයෙන් පස්සේ මට ආයෙම කාන්ති දකින්න හම්බුනේ නෑ කවදාවත්. කැම්පස් එකේවත් මහ ගොඩක් යාලුවෝ නොහිටපු කාන්ති ගැන අහන්නත් මට කෙනෙක් හිටියේ නෑ. බැදල මාස තුන යනකොට මාලනීට දුව හම්බෙන්න ආවා. අම්මා සතුටු උනේ යුද්දේ දිනපු දුටුගැමුණු වගේ. මොකද එයා කිව්ව දේ හරි.
“ අම්මා දෙයක් කිව්වොත් වරදින්නේ නෑ” මාත් කිව්වේ සෑහෙන ආඩම්බරෙන්.ඔය අතරේ කාන්ති ඉස්කෝලෙ පත්වීම ගමට මාරු කරගෙන කියල මට දැනගන්න ලැබුනා.එතනින් පහු මට එයා ගැන හිතන්න ඉස්පාසුවක් කොයින්ද මේ කෙල්ලො දෙන්නා එක්ක. කාන්ති එක්ක උන්නා නං අදටත් මට දරු පැටියෙක් නැහැ.
ඔෆිස් එකේ වැඩ හමාර කරල ගෙදරට එන්න පිටත් වෙනවා කියන්නේ හොද ගණන්. කාර් එකට නැගලා ට්‍රැෆික් එකේ කාලේ ගෙවන්න මම හිතින් සූදානම් වෙලා ඉවරයි. බත්තරමුල්ල හරියෙදි ට්‍රැෆික් එකට හිර වෙල ඉන්න ගමං මම නිකමට වට පිට බැලුවා.
එක පාරටම මගේ හිතේ විදුලි එලි දාහක් එක සැරේ පිපිරුවා.
“දෙයි හාමුදුරුවනේ කාන්ති”
වටකුරු කණ්නාඩි දෙකක් දාලා, කාර් එකේ ඉදගෙන හිටපු කාන්ති මට අදුන ගන්න බැරිද. අවුරූදු හතරක් එක ගෙදර එක ඇදේ නිදාගත්තු ගෑණි. විනාඩි 7 ක් විතර මට කාන්ති දිහා බලන් ඉන්න පුලුවන් උනා. කාර් එකේ එහා පැත්තේ හිටියේ තරුණ කොල්ලෙක්.
නෑදෑ පුතෙක් වෙන්ටෑ. මට හිතුණා. අනේ පව් වද ගෑණි. දරු මල්ලෙක් වත් හිටියනං. කාන්තිගෙ නමින් මගේ හිත දුක් උනා. මොකද මට දරුවො ලැබුනා කියන්නේ කාන්ති තමා ලෙඩ ගෑණි. මොනා කරන්නද සංසාරේ ඔහොම තමා. මම හෙමිහිට වාහනේ එලවං ගෙදර ගියා.
ඒත් එදා මට හිතුණා, කාන්ති ගැන හොයල බලන්න.ඒ නිසා පරණ යාලු මිත්‍රකම් වලින් ප්‍රයෝජනයක් අරගෙන මම විස්තරේ හොයා ගත්තා. ගුරු සේවේ හිටපු කාන්ති විදුහල්පති පත්වීමක් ගත්ත බව විතරක් මගේ මිත්‍රයෙක් කිව්වා. ඒ ඇරුනම පුද්ගලික විස්තර දැනගන්න විදියක් මට තිබ්බේ නැහැ.
මගේ හිත ඉල්ලුවෙ එක දෙයයි. කාන්තිව මම අතෑරපු එක වැරැද්දක් නෙමේ කියන එක ඔප්පු කරගන්නයි මට ඕන. කාන්ති තවමත් තනියම නං, එක්කෝ ආයෙමත් බැදල දරුවෝ නැතිනම් මගේ වරදක් නැහැ. මම කලේ හරි දේ. මම මේ සටන් කරන්නේ හෘද සාක්ෂිය එක්කද? මං ඒ ගැන හිතන්න ගියෙ නැහැ.
ඔහොම කාලෙ ගෙවෙනකොට මට ගෑස්ටික් අමාරුව තදටම ආවා. පපුව දන්න, බඩ පුරෝ දාන්න උනා. මුලදි මුලදි ගෑස්ට්‍රික් කියල හිතුවට පස්සෙ දැණගත්තේ මට තියෙන්නේ ප්‍රෙෂර් එක බව. අන්තිමේ ඉතින් මාසෙකට වතාවක් ආසිරි එකේ කාඩියෝලොජිස්ට් කෙනෙක් හම්බෙන එක මගේ නිත්‍ය ගමනක් උනා. දොස්තර මහත්තයා උනේ තරුණ කොල්ලෙක්. පොර හැන්ඩියා. බෙහෙත් ටික බොහොම ආදරෙන් දීලා තාත්තේ කියල කතා කරන කොට මගේ හිත පිරෙනවා. මටත් කොල්ලෙක් හිටියනං දැන් මේ වයසේ. මට යන දවසක් ගානෙ හිතෙනවා. දවසක් සල්ලි ගෙවල රිසිට් එකත් අරන් මම වාඩිවෙලා හිටියේ විටමින් එකක් ලියෝ ගන්න කියල මාලනී කිව්ව එක හොදට මතක තියාගෙන ඉන්න ගමන්.
ඒත් එක්කම එහා පුටුවට ආවේ මම හීනෙන් වත් හිතුවේ නැති මගේ කලින් ගෑණි, කාන්ති.
“සීරී” මට පුදුම එයා කොහොමද මෙහෙම සන්සුන්ව කතා කරන්නෙ කියල.
“කා.. කා.. කාන්ති” මට පටලැවුණා.
“ඉතින් කොහොමද?”
මම එපෑ අහන්න. හොදින් ඉන්නවා ඔයාට කොහොමද කියල අහනකොටම මගේ අංකෙ කියවුනා.
“අංක දොළහ”
“මගේ අංකේ, මම බෙහෙත් ටික අරන් එන්නං.”
“හොදයි, බුදු සරණයි.”
මම ගිය ගමන ආපස්සට හැරුනා.කොහොමද මේ ගෑනි හිතේ කහටක් නැතුව බැදපු මුල් කාලේ මම එලියට බහින කොට කිව්වා වගේම බුදු සරණයි කියන්නේ. ඒ සිතුවිල්ලෙන්ම මම ඇතුලට ගියා. බෙහෙත් අරගෙන ගෙදරට එනකනුත් මම කල්පනා කලේ කාන්ති ගැන. අඩු තරමේ ආවේ මොන ලෙඩේට බෙහෙත් ගන්නද කියලවත් අහන්න බැරි උනා.
ආයෙමත් ඉතින් ජීවිතේ ගග ගලා ගියා. කාන්තිව මට අමතක උනා. මම දවස් දෙක තුනක් තියල ආසිරි එකට කෝල් එකක් ගත්තේ චිට් එකක් දාගන්න. මට “චමර සමයවර්ධන” ට ඇපොයින්මන්ට් එකක් ඕන. පුරුදු විදියට කිව්වා.
“අනේ සොරි සර්. ඩොක්ට සමයවර්ධන දැන් මෙහෙ නැහැ. සර් එංග්ලන්ඩ් වලට පදිංචියටම ගියා. සර්ගේ පේෂන්ට්ලා දැන් බලන්නේ ඩොක්ට පතිරාජ. එයාට දාන්නද?”
එපා කියන්නයෑ. මම හා කිව්වා. අනේ සීදේවි කොල්ලා. අපරාදේ. මම හිතින් විස්සෝප උනා. දැන් ඉතින් මොනවා කරන්නද.
බෙහෙත් ගන්න දිනේ ලං උනා. ඩොක්ටර් පතිරාජ ඉන්නෙත් ඩොක්ට චමර හිටපු තැනමයි. තැන හොයාගෙන මම වාඩි වෙලා උන්නා. කොහොමහරි ඩොක්ට පතිරාජත් මගේ පරණ බෙහෙත් තුන්ඩු බලලා බොහොම සුහදව බෙහෙත් ටික දුන්නා. අන්තිමේ යන්න හදනකොට,
“මිස්ට සුමනසිරි, මට කිව්වා ඩොක්ට චමර මෙන්න මේ ලියුම දෙන්න කියලා. මිස්ටගේ අතටම දෙන්න කියල තමා කිව්වේ. “ ඩොක්ටට ස්තූති කරල මම එලියට ආවා.
මටම දෙන්න කියල ලියුමක්? අනික මෙච්චර ඊමේල් ටැලිෆෝන් තියෙන කාලෙ.
කොහොම හරි බෙහෙත් ටිකත් අරගෙන වාහනේට ගොඩ උන මං, ලියුම කඩල බලන්න තීරණය කලා, දැනුන කුතුහලේ නිසාම. ලියුමේ තිබ්බේ නිල්පාට සිංහල අත් අකුරු එකතුවක්.
“ තාත්තේ,
මූණට මුණ ගැහුණු වෙලාවෙත් මට තාත්තේ කියල කතා කරන්න බැරි උනාට සමාවෙන්න. අම්මට ඕන උනේ මේ රහස සදාකාලිකව රකින්න උනත්, මේ රටින් පිටවෙලා යන අන්තිම මොහොතේ ආයෙම ඔයාව මට දකින්න ලැබෙන්නේ නෑ කියන එක මට ලොකු වේදනාවක්.
අම්මගේ ගමේ ආච්චි සීයයි එක්ක උස්මහත් උන මට ඔයාගේ අඩුව දැනුනේ නැතිම තරම්.ඒත් යමක් කමක් තේරෙනකොට මාව උරිස් දෝලාවේ අරන් යන්න අප්පෙක් නැති වෙනකොට මම රෑට හීනෙනුත් ඇඩුවා.ඒත් අම්මගේ හිතට දුකක් දෙන්න එයාට පේන්න අඩන්න මට ඕන උනේ නැහැ. අම්මා මාවත් කුසේ දරාගෙන ඔයාගෙනුත් මාව හංගගෙන ගමට ඇවිල්ලා තිබ්බා. අම්මගේ කුසේ මං ඉන්න බව එයා දැනගෙන තිබ්බේ දික්කසාද වෙන දවසේ.
ඇයි අම්මා ඒ වේලේ තාත්තට ඇත්ත නොකිව්වේ, කියල මම අහනකොට අම්මා කිව්වේ ඒ වෙනකොටත් තාත්තා ජීවිතයක් ගොඩ නගාගෙන බව. ඒ වෙනකොට තාත්තා වෙනුවෙන් අම්මගේ හිතේ ආදරේ බිංදුවක් වත් ඉතුරු වෙලා තිබ්බේ නැති බවත් අම්මා මට කිව්වා. ඒත් කවමදාවත් අම්මා තාත්තට වෛර කලේ නැහැ. හැබැයි තාත්තා වෙනුවෙන් කදුලක් හෙලලත් නැහැ. අම්මා මම වෙනුවෙන් කරපු කැප කිරීම් අප්‍රමාණයි. එයාට ඕන උනේ තාත්තගේ පවුල් ජීවිතේට ප්‍රශ්ණයක් නොවෙන්න ජීවත් වෙන්න. අපි අද මේ රටින් යනවා. තාත්තට මේ ලියුම ලැබෙන කොට අපි මෙහෙට ඇවිල්ලා සති දෙකක් වෙනවා. මම තාත්තව දැකලා තියෙන්නේ පස් පාරයි.ඒ බෙහෙත් ගන්න ආපු මාස පහේ. අම්මා එදා ආවේ මගේ කෑම එක දෙන්න. එදා අම්මා තීරණය කරල තිබබා මට ඇත්ත කියන්න. අම්මා එදා ඒ කතාව කියනකන් මම දැනන් උන්නේ නෑ මගේ තාත්තා කවුද කියල. මම හිතින් මවං හිටපු තාත්තත්, තාත්තා වගේම තමයි.
ඉතින් තාත්තේ, මම අද මෙතනින් නවතිනවා. ආයෙම ලංකාවට එන්න මගේ බලාපොරොත්තුවක් නැහැ. අම්මත් සුවෙන් සනීපෙන් මෙහෙ ඉන්නවා. මගේ වයිෆ්ටත් දැන් බබෙක් ලැබෙන්න ඉන්නේ. ඉතින් මෙච්චර කල් අපි හිටියේ නාදුනන අය වගේ නිසා, අපි ඉස්සරහටත් එහෙම ඉමු. මම ඔයාට ආදරේ තරම් දහස් ගුණයකින් මම අම්මට ආදරෙයි.
ඒත් මට ආයෙම තාත්තව දකින්න ලැබුනොත් එදාට ඔයාව කිටි කිටියේ තද වෙන්න බදාගන්නත් මම දෙපාරක් හිතන එකක් නැහැ.
මම පුතා චමර.”
ලියුම ඉවර වෙනකොට මම ඉකි ගහනවා. “මගේ රත්තරන් පුතා, මගේ කාන්ති” මම නොනවත්වා මිමිණුවේ ඒ වචන දෙක විතරයි.
මහ ලොකු පිරිමියෙක්, කෙරුමෙක්,කෙලින් තීරණ ගන්න කෙනෙක් විදියට හිතන් හිටපු මාව යෝධයෙක් ඇවිල්ලා නිර්වස්ත්තර කරල පොලවේ ගැහුවා වගෙයි මට දැනුනේ. කාන්ති මහ මේරු පර්වතයක් නම් මම ඒ ලග වැලි කැටයක් විතරයි.
සුක්කානමට ඔලුව ගහගත්තු මම ඉකි බිදින්න ගත්තා.
“මගේ රත්තරං පුතේ මට සමාවෙයං,මගේ රත්තරං කාන්ති උබ මට ඊටත් වඩා සමාවෙයං”
උපුටා ගැනීම: Sanduli Wihasma