ඔහුයි මායි ජිවත්වෙන්නේ හරියටම කිලෝමිටර් එකසිය දාහතක් දුරින් . පළාත් දෙකක . මෝටර් රථයකින් එනවනම් පැය දෙකක් , දෙක හමාරකින් වගේ එන්න පුළුවන් .
සාමාන්‍යයෙන් මේ දුර ප්‍රශ්නේ නිසා ඔහුත් මාත් මුණගැසුනේ මාසෙකට වරක් හෝ දෙවරක් . නැතත් ඔහුගේ කාර්යබහුලත්වය නිසා කොහොමත් අපි මුණගැහුනේ නෑ . එත් පැය විසි හතරෙන් පැයකට අඩුම වශයෙන් කෙටි පණිවිඩ විස්සක්වත් අපි දෙදෙනා අතර හුවමාරු වෙනවා .
එහෙම නොවුනොත්
” තුන්වෙනි ලෝක යුද්ධෙට මං බයයි ” කියලා විහිළු කරන එක ඔහුට පුරුද්දක් වෙලා තිබුනේ . හැබැයි මේක ඔයාලා හිතනවා වගේ සම්බන්ධයක් නෙවේ .
එයා ටිකක් ප්‍රසිද්ධ චරිතයක් . ඒක නිසා සාමාන්‍ය විදිහට ඉන්න අපිට බෑ . කොහොමත් ඒ සම්බන්දෙ පොඩි අසම්මත ගතියකුත් තිබුණා . මං එහෙම නෑ කිව්වොත් ඒක පට්ටපල් බොරුවක් .
දවසක් මං එයාට රෑ හතට විතර කිව්වා ….
” මට චොකලට් කේක් එකක් කන්න ඕනා ….” කියලා .
” මං පිට්සා හට් එකෙන් ඕඩර් කරන්නම් ඔයාලෑ ගෙදරට , ලාවා කේක් ඕකේ නේද ?”
” එපා පිස්සුද ඔයාට …. අපේ ගෙදර අය කෑම ගෙදරට ගෙන්නන්නේ නෑ … එපා ”
” ඉන්න …….. .. පොඩි වැඩක් තියෙනවා …”
” හ්ම්ම් …..”
මං එහෙම කිව්වේ එයා මගෙත් එක්ක නොඉඳ කොහේදෝ දුවන්න හදනවා කියන දුකත් , ඊට වඩා මගේ තරහත් එක්ක .
එයා ගේ ඒ කෙටි පණිවිඩයට පස්සේ පැය භාගයක් , පැයක් විතර යනකම් ඔහුගෙන් කිසිම ප්‍රතිචාරයක් තිබුනේ නෑ .
” ඔයා කොහෙද ?”
” මොකද කරන්නේ ….?”
” කොහෙද දෙයියනේ ගියේ …” වගේ නානාවිද කෙටි පණිවිඩ ඔහුවෙත යැව්වත් ඔහුගෙන් ඊට පිළිතුරු ලැබුනේනම් නෑ .
පැය තුනක් විතර යද්දී , ඒ කියන්නේ රෑ දහයට විතර ගෙදර සීනුව නාද උනා . අම්මටයි අප්පච්චිටයි හොදටම නින්ද ගිහින් තිබුනේ . මටනම් නින්ද අහලකවත් නෑ . මට ඕනි උනේ ඔහු හොදින්ද නරකින්ද කියලා දැනගන , ඔහු හොදින්නම් ඇතිවෙන්න රණ්ඩු කරන්න .
සීනුවේ සද්දෙට අම්මට ඇහැරිලා ……. අම්මත්, මමත් දෙදෙනාම ගියේ ගෙදර ඉදිරිපස දොර ගාවට . දොර හෙමින් ඇරලා බලද්දී ….
” මැඩම් …. පිට්සා ඕඩර් එක ……..මං හිතන්නේ ඒ මිස් , සොරි ලේට් උනාට ”
ඔයාලා හිතපු දේ හරි .
ඒ ඔහු … කොහෙන්දෝ පිට්සා බෝයි කෙනෙක්ගේ ටීෂර්ට් එකක් ඇදගන පිට්සා පෙට්ටි දෙකකුත් අරගන , ලාවා කේක් මහා ගොඩකුත් අරගන එයා තමයි ඇවිත් හිටියේ . මාව ගැහුනත් ගෙදර අයට ලොකු වෙනසක් දැනුනේ නෑ . හැබැයි අම්මා මහා පුදුමෙන් මං දිහා බැලුවා .
” චුටී මැණිකේ ඔයාද ගෙනෙන්න කිව්වේ …??”
මට බය හිතුනත් වෙනසක් නොපෙන්වා මං ඔව් කියන්න ඔළුව වැනුවා .
” එහෙනම් මිස් …. මං යන්නම් . ගුඩ් නයිට් . ”
උසම උස , කට්ට කළු , මුණ පුරා රැවුල් කොට පිරුණු මුණෙන් අමුතු හිනාවක් දාගන ඔහු මට කිව්වා . ඒ මං ආසම හිනාව .
ඇත්තටම මට ලාවා කේක් අමතක වෙලා දුවලා ගියේ කාමරේ තිබුණ මගේ ෆෝන් එක ගන්න .
” මං කොහෙවත් ගියේ නෑ …. ඔයාලගේ ගෙදර ලග ”
ෆෝන් එක කලබලේට ගනිද්දීයි මං ඒ කෙටි පණිවිඩය දැක්කේ .
හිතේ ආපු ආවේගයට
” මෝඩයා මොකක්ද ඒ කරාපු වැඩේ …. අහු උනානම් ” කියලා ඔහුට යවද්දී මගේ ඇගිලි තුඩු වෙව්ලන්න පටන් අරගන තිබුනේ .
” ඔයාව බලන්න හිතුණා , ඇස් දෙක බලන්න හිතුනා , මුණ බලාගන ගුඩ් නයිට් කියන්න හිතුණා , ඉතිං ඔයාගේ ලවා කේක් ගෙඩියත් අරගන මං ආවා ”
” කොහෙන්ද පිට්සා ටීෂර්ට් එකක් . මොකේද ආවේ ?”
මගේ කුතුහලේ වැඩි නිසා එක දිගට මං ප්‍රශ්ණ අහන්න පටන්ගත්තා .
” රුපියල් දෙදාහක් පිට්සා කොල්ලෙක්ට දීලා ටීෂර්ට් එකයි බයිසිකලෙයි ඉල්ලා ගත්තා . කොල්ලයි බයිසිකලෙයි පාරේ ”
” පිස්සා ” මට ඉබේටම කියවුණා .
” ඔයාගේ පිස්සා …. දැන් ආයෙත් යන්න ඕනා ගෙදර , වාහනේට නැගලා මැසේජ් කරන්නම් ”
මන්දා …..
එයා එහෙම හැසිරෙන්නේ ඇයි කියලා . එත් අපි අතර එහෙම කිසිම සම්බන්ධකමක් නෑ . යාළුවෝ වගේ ඉමු කියලයි අපි පොරොන්දු උනේ . දැන් ඒ යාළුකම ටිකක් වැඩි කියලත් මට හිතෙනවා . ආදරේට දශමයක් මෙහාද ඒ සම්බන්දේ තියෙන්නේ කියලත් හිතෙනවා . එත් එයාගේ ඒ හැසිරීම නිසා හැමදාම මගේ බඩේ සමනල්ලු දුවන ගමං ඒ සමනල්ලු මොනවදෝ මට පැහැදිලි කරන්න හදනවා .
එත් ඉතිං අනේ …… මන්දා …..
උපුටා ගැනීම; – හසිකා විජේතුංග –