මේක 2006දී මම 9 වසර ශිෂ්‍යයෙක් වෙලා ඉද්දි සිදුවුණ සිදුවීමක් (කොට කලිසම් කාලේ) 2006 කාලේ අපිට ජංගම දුරකථනයක් කියන්නේ සෑහෙන වටින දෙයක්. ඒ කාලේ අපි බොහෝ දෙනෙක්ට ජංගම දුරකථන තිබුනේ නෑ වගේම ජංගම දුරතනයක් පාවිච්චි කරන එකත් තරමක් මිල අධික වැඩක්. කොහොමහරි දවසක් අපේ පන්තියේ යාලුවෙක් ඉස්සෙල්ලම ජංගම දුරකථනයක් ගෙනාවා අපේ පන්තියට. එදා අපිට තියෙන ලොකුම වැඩේ මේකෙන් මොකක්ද කරන්නේ කියන එක තමයි. මොකද ඒ කාලේ විනාඩියක් කතා කරන්නත් බර ගානක් කැපෙනවා ඒ වගේම ජංගම දුරකතනයකින් කතා කරන්න තරම් කෙනෙකුත් අපි කාටවත් නෑ.
ඊට පස්සේ කල්පනා කරලා කරලා දැන් අපේ ප්ලෑන් එක අපිව අඳුරන්නේ නැති නම්බර් එකකට කතා කරලා බයිට් කරන එක. බයිට් කරන්න හදන ගෙදර අයට මේ කතා කරන්නේ අපි බව දැනගන්නත් තියන්න බෑ. නම් කිහිපයක් යෝජනාවෙලා අවසානේ අපේ යාලුවෙක්ගෙ ගෙදරට ඉස්සරහා ගෙදරට කතා කරන්න අපි ඔක්කොම එකඟ උනා. දැන් ෆෝන් එකත් තියෙනවා, නම්බර් එකත් තියෙනවා මොකක් කියලද බයිට් කරන්නේ?
අපි කතා කරලා අහමු “ඇන්ටි මම තිස්ස කතා කරන්නේ මගේ මුවා දැක්කද ඔය පැත්තේ කියලා”
ඊට පස්සේ ටිකකින් කතා කරලා කියමු
“අනේ ඇන්ටි මම මේ මුවා කතා කරන්නේ තිස්ස ඇහුවොත් මාව දැක්කේ නෑ කියන්න”
ඔය වගේ අදහස් කීපයක්ම ආවත් අවසානේ මගේ අදහසකට පන්තියේ ඔක්කොම එකඟ උනා වගේම කෝල් එක ගන්න උනෙත් මටමයි, හේතුව අනිත් උන්ට හිනායනවා කතා කරද්දී. දැන් අපි කෝල් එක ගන්නවා….
මම :- හලෝ ඇන්ටි, අනේ ඇන්ටි ලොකු කරදරයක් වෙලානේ මේ හදිස්සියේම.
ඇන්ටි :- ඔව් හෙලෝ, ඇයි ඇයි මොකක්ද වෙලා තියෙන්නේ?
මම :- අනේ ඇන්ටි මේ හදිස්සියේ බලන්නකෝ වෙලා තියෙන වැඩේ.
ඇන්ටි :- මොකක්ද හදිස්සිය? කරදරයක් වෙලාද? කවුද මේ?
මම :- අනේ ඇන්ටි ආච්චි ලොකු ළමයෙක් වෙලානේ.
ඇන්ටි :- මොකක්?
මම :- ඔව් ඇන්ටි හදිස්සියේම බලන්නකෝ, ඇන්ටිට බැරිද මේ පැත්තේ එන්න?
ඇන්ටි :- තමුසේ කවුද? මගෙන් කුණුහරප අහගන්න එපා $^%$&%*
ඊට පස්සේ කිව්ව කිසි දෙයක් හරියට ඇහුනේ නෑ අපි ඔක්කොම වැටිලා හිනාවෙවී හිටියා….
උපුටා ගැනීම: Wikum Kaush