උණුම උණු රසම රස රටකජු (වැල් වටාරම්)

Share With Friends

Facebook
WhatsApp
Telegram
LinkedIn
Email
ඔෆිස් ඇරිලා හවස ගෙදර යන ගමන් කාලෙකට පස්සේ රටකජු ගොට්ටක් කන්න හිතුනු මට ක්ලාස් යන කාලේ ඉදන් රටකජු කෑව තැනට බයික් හැරෙව්වා.
නැන්දා ඉන්නවා ඉස්සර වගේම කඩිසරකමට රටකජු බැද බැද. වෙලාව හවස හයට කිට්ටු ඇති. අපි වැඩ ඉවර වෙලා යන වෙලාව උනාට එයාට කාර්යබහුලම වෙලාව. වැඩ ඉවර වෙලා ගෙවල් වලට යන්න බලන් බස් එනකම් ඉන්න අය. බස් එකට නැගල බස් එක යනකම් බලන් ඉන්න අය, ක්ලාස් ගිය ලමයි,සැරින් සැරේ ඇවිත් 20ක දෙන්න 50ක දෙන්න. කජු බදින අතරෙම බැදලා තිබුන කජු ගොටු දෙන්නත් ඕනා.
බයික් එක අයිනකට කරල නවත්තපු මම 50ක කජු ඉල්ලුවා. එතකොටත් තාච්චියේ කජු වගයක්. රත් උන වැලි අතරේ එක ගොඩේ තෙරපි තෙරපි ඉන්නවා. රස්නෙන්ම කජු කනවා, හිතට ආව සිතුවිල්ලත් එක්ක නැන්දෙ බැදපුවා උනුවෙන් තියෙනවද මන් ඇහුවා. මට කජු ගොට්ටක් දාන්න ගත්තු අත ආයේ පැත්තකින් තිබ්බ නැන්දා මහත්තයම බලන්නකෝ රස්නෙ ඇතිද කියලා මට කීවේ අතට කජු ඇට තුන හතරක් දෙන ගමන්. අතට හම්බුන කජු වල පොතු අයින් කර මම එකක් කටේ දාගත්තා. අනේ මදි මට උනුවෙන්ම ඕනා මට කියවුනා. ඒනම් මහත්තයෝ තව විනාඩි පහ දහයක් ඉන්න වෙයි. මේ දැන් තාච්චියට දැම්මා විතරයි නැන්දා කිව්ව, කමක් නෑ මට මොන හදිසියක්ද, මොකො එනකම් නෝනා දරුවෝ බලන් ඉන්නවා කියලයි. මන් හා කිව්වා.
මා එක්ක හිනා උන නැන්දා හැන්ද අතට ගත්තේ රත් වෙන වැලි කැට අතරේ ලාවට පිච්චි පිච්චි උන්න කජු ඇට වලට තවත් අරියාදු කරන්න. කොහෙද එක දිගට ඒකවත් කරන්න ඉස්පාසුවක්. කෙල්ලෙක් ඇවිත් විස්සක දෙන්න කිව්වා, නැන්දා ආයේ කජු ගොට්ටක් හැදුවා. මේ වෙලාවට මේම තමා බලන් ඉන්න මං ගැන දුක හිතිලද කොහෙද නැන්දා කිව්වා. කමක් නෑ මට හදිසියක් නෑ මම කිව්වේ කෝමත් සේරම නවත්තලා හැදි ගෑවත් කජු රත් වෙන්නේ අපිට ඕන වෙලාවට නෙවෙනේ හිතන ගමන්. ඒ කජු ගොට්ටත් දීලා අහවර වෙලා නැන්දා කඩිසරේට තවත් විස්සේ පනහේ ගොටු කීපයක් හැදුවේ ආයෙ එන හදිසිකාරයෙක්ට ආව හැටියේ කජු දීලා යවන්න වෙන්න ඇති.
ආයෙත් හැන්ද අතට ගත්ත නැන්දා මා එක්ක දොඩමලු උනා. මහත්තයලා වගේ ඉගෙන ගත්තා නම් අපිටත් කජු බදින්න වෙන්නෙ නෑ, නැන්දා කිව්වම මට හිනා ගියේ අපි ඉගෙන ගත්ත හැටි මතක් වෙලාද නැත්නම් මේ නසරානි මට මහත්තයා කියනවටද කියලා මමම කල්පනා කරා. අපිත් ඉගෙන ගත්තා කියලා එ හැටි ඉගෙන ගත්ත දෙයක් නෑ මොනා හරි කියන්නත් ඕන නිසා මන් කිව්වා. ඉගෙන ගත්තේ නැත්නම් ඔය කලිසම් කමිස ඇදලා රස්සාවට යන්නේ නැන්දා ආයෙම කිව්වා. කලිසම් කමිස අදින්න ඉගෙන ගන්නම ඕනද නැන්දේ මම කිව්වේ හිනාවෙන ගමන්මයි. එක අතකට ඔය විදියට හැමෝම ඉගෙන ගත්තා නම් මහත්තයලා ගෙදර යන ගමන් කජු ගොට්ටක් වත් කන්නේ කෝමද නේද, ඒනම් හැමෝම ඔෆීසි වල බඩගාන්න එපැයි, නැන්දා කිව්වෙ තමන් කරන රස්සාව ගැන ආයේම ඇති උන ආඩම්බරේකින් නේද කියලා මට හිතුනා. ඇත්ත නැන්දේ හරි විදියට හම්බ කරනවා නම් කොයි රස්සාවත් හොද රස්සාවක්. මමත් හෙන පඩි ටෝකක් දුන්නා.
ඔව් මහත්තයෝ අපි ලමයි ලොකු මහත් කරේ ඉගැන්නුවේ මේ කජු බැදලා තමා. මිනිපිරී දැන් දොස්තර නෝනා කෙනෙක් වෙන්න ඉගෙන ගන්නවා. නොකා නොබී නිදිමරන් නැහෙන හැටි දැක්කම එක අතකට පව් කියලත් හිතෙනවා. දැන් දර ඉපල වගේ වෙලා. මන් දැකලවත් නැති පොඩි කෙල්ලෙක් කකුල් බේසමක ඔබාගෙන පාඩම් කරනවා මට මැවිලා පෙනුනා. දැන් නම් බැදීගෙන එන්නේ ඔය ඇහෙන්නේ වැලි ඇට පුපුරන සද්දේ නැන්දා කියද්දිම කොහෙන්ද ආව කොල්ලෙක් බුලත් විටක් ඉල්ලුවේ අපෙ කතාවට බාධා කරන ගමන්. ඒ එක්කම ආයේ 50ක කජු ඒ වැඩ ඇරිලා යන මාමා කෙනෙක්. නැන්දගේ කතා එක්ක මනෝ ලෝකෙකට යන්න ගිය මගෙ හිතට ආව ලමා සිතුවිල්ලකින් මම හැන්ද අතට ගත්තේ නැන්දා ආව අයගේ සල්ලි බේරන අතරේ. නැන්දා තව කජු ගොටු ටිකක් හදා ගන්න මම මේ ටික කූරු ගාන්නම් මම කිව්වා.
අපොයි මහත්තයෝ ඕක මෙහාට දෙන්න, නැත්නම් අද ගෙදර ගියාම මහත්තයට බැනුම් අහන්න වෙයි ටව්න් එකේ කජු බැද බැද ඉදියා කියලා ආරන්චි වෙලා තිබ්බොත් නැන්දා කිව්වා. ඇයි ඒ කජු බදිනවා කියන්නේ නීති විරෝධී වැඩක්ද අහපු මම මුරණ්ඩුකමින් පටන් ගත්ත වැඩේ කරන් ගියේ එවෙලේ එතනට කජු ගන්න ආව කෙල්ලෙක් මන් දිහා අමුතු විදියට බලද්දිමයි. කකුල් දෙකටම කලිසම් ඇදලා සපත්තු දාල ඒ මදිවට ගැලෙව්වෙ නැති හෙල්මට් එකත් ඔලුවේ දාන් ටව්ම මැද්දෙ එකෙක් කජු බදින එක අමුතු දර්ශනයක් වගේ පේන්නත් ඇති. ඒ උනාට කියල නැන්දා තව මොනාද කිව්වත් මට ඒක ඇහුනේ නැත්තේ එ වෙලේ බස් එකක් මහ සද්දෙට හෝන් කර නිසාද නැත්නම් ඒව අහන්න උවමනාවක් නැති නිසාද මන්දා මම කජු බදින වැඩේ දිගටම කරන් ගියා.
ආ ඒනම් මේ කජු අහුරක් කන ගමන් බදින්න. මන් කෝමත් හැන්ද පැත්තක තියන බවක් පේන්නේ නැති තැන බැදලා තිබ්බ කජු වලින් අහුරක් මගෙ වම් අතට දැම්ම නැන්දා ආයේ කජු ගොටු හදන ගමන් කතාව පටන් ගත්තා. අතට දුන්න කජු පොතු පිටින්ම කටේ දාගන්න මම නැන්දගේ කතාවට හූ මිටි තිය තිය කජු බදින්න ගත්තා. මං ගාවම නවත්තලා තිබ්බ බස් එකේ ජනේලෙකින් පොඩි උන් දෙන්නෙක් හිනා වෙවි ඉස්සරහ ශීට් එකේ ඉදිය උන්ටත් මන් කජු බදින එක පෙන්නනවා කියලා මට පෙනුනත් මට ඒක ගානක්වත් උනේ නෑ.
මම පුතේ මේ රස්සාව කරන්නේ අනූ ගනන්වල ඉදන් එදා ඉදන් මේ වෙනකම් මම දැන් කජු කිලෝ ලක්ශ ගානක් බැදලා දහස් ගානකට දීලා ඇති, ඒ කාලේ වගේ නෙවේ දැන් අමාරුයි. ඉස්සර වගේ කට්ටිය කජු ගන්නෙත් නෑ. මිනිස්සුන්ට වෙලාවක් නෑ කජු ඇටයක් හපන්න වත් ඔලුවට නිදහසක් නෑ. උදේ ඉදන් රෑ වෙනකම් දුවනවා තරගෙට නැන්දා කියද්දි මං වට පිට බැලුවේ ඒ වෙනකොටත් දාහක් දේවල් ඔලුවෙ තියන් හැල්මෙ එහෙ මෙහෙ දුවන පාරවල් පනින කඩ වලට රින්ගන මිනිස්සු ගැන හිත හිත.
අනික දැන් ඉන්න පොඩි එව්වොත් ජම්බෝ පීනට් මිසක් කජු කන්න ආසාවක් නෑ නේ. ඔය එක එක ජාති දාල රට වලින් එවන ඒවා වගේද මේවයේ ගුණ. ඒත් මිනිස්සුන්ට පොඩි එකෙක්ට කජු ගොට්ටක් අරන් යන්න ඒකටම මේ කඩේකට ගොඩ වෙනවට වඩා ලේසි බඩු ගන්න සුපර් මාකට් එකට ගොඩ උන ගමන් අර කජු උරයක් අරන් යන එක. ඒත් මේ දැන් බැදලා දැන් කන කජු වගේද කල් තියාගන්නයි රස කරන්නයි දහ ජරාවල් දාලනේ ඕවා එන්නේ. නැන්දගේ කතාවට හ්ම්ම් කීවා ඇරෙන්න මං වැඩිමනක් නොකීවේ කාලෙකින් හිතලා කජු කන්න ආවට මාත් පහුගිය කාලේ ඕන තරම් ඒවා කෑවා නේද හිතිලා. ඒවයෙන් ඉතිම් වදින්නෙත් අපෙ බඩට මහත්තයෝ. දැන් නම් ඉතින් ලොකු බරක් නෑ දරුවෝ මොනා මොනා හරි කරන නිසා අපි දෙන්නා ගැන බලාගන්න කීයක් හරි ලැබුනම ඇති.
අහ් දැන් ඇති ඔය. දැන් ඔය රතු පාට වෙලා හොද ගානට බැදිලා තියෙන්නේ. හැන්ද මගෙන් ගත්ත නැන්දා හිල් විදල හදාගත්ත ඇලුමිනියම් පෙනේරයක් අරන් වැලිත් එක්ක දාගත්ත කජු හෙමීට හලන්න ගත්තා. ලස්ස්නට ආයේ කජු ඉතිරි වෙලා වැලි ටික බේරිලා තාච්චියට වැටෙන හැටි ලන් ඉදිය මට ඒ වැඩෙත් ඉල්ලගෙන කරලා බලනා හිතුනත් ඒ සිතුවිල්ල ආයේ මැඩගත්තේ ඒ මනුස්සයට ඒ වැඩේ හරියට කරගන්න දෙන්න ඕනා කියලා හිතිලා.
ඔන්න හරි උනුවෙන්ම තියෙන කජු අහුරක් පොඩි කප් එකකට ගත්ත නැන්දා මහත්තයට පනහක නේද ඉල්ලුවේ ඇහුවේ අදට අපේ කතාව ඉවර කරන්න වෙලාව හරි කියන එක මට ඒත්තු ගන්වමින්. සීයකම දෙන්න මන් කිව්වා. මා එක්ක ආයේ හිනා උන නැන්දා සීයක කජු උරයක් මට දෙන ගමන් ආයේ ඒක ඉල්ලන් තව අහුරු දෙකක් ඒකට දැම්මේ මේක මන් ගානේ මට කජු බැදල දුන්නට පඩිය කියන ගමන්. අයියෝ ඒම එපා, කලිනුත් දුන්නේ මම අමතර කජු ටික ප්රතික්ෂේප කරත් නෑ නෑ මහත්තයෝ මේ කජු අහුරක් දුන්නා කියලා මට මේක වහන්න වෙන්නෙ නෑ සතුටෙන් දෙන දේනේ ගන්න කිව්වා. මන් මුකුත් නොකියා ඔලුව වැනුවේ හිත සතුටෙන් දෙන දෙයක් එපා කියන්න බැරි කමටද කෑවොත් කජු ඇටේ හරි බඩටනේ හිතිලද දන්නේ නෑ. මන් ඒක ගත්තා.
ඒනම් නැන්දේ මං ගිහින් එන්නම්. ආයේ එන්නම්කෝ උනුවෙන රට කජු කාලා යන්න. අහ් හැබැයි මට අද වගේ හැදි ගාන්නත් ඕනා මන් කිව්වා. හරි පුතේ ඒනම් පරීස්සමට බුදු සරණයි නැන්දා මෙච්චර වෙලා මහත්තයා කීව මට හදවතින්ම පුතේ කියලා පරිස්සමින් කියද්දි කජු කාල ලැබෙනවට වඩා සතුටක් මට දැනුනා. සතුට කියන දේ රටකජු කාල ගනන්වට වඩා බැදල ගන්න පුලුවන් උනා නේද කියලත් මට හිතුනා.ආයේ පාරක් නැන්දා එක්ක හිනා උන මම බයික් එක අරන් හෝන් එකකුත් ගහන් එතනින් ආවේ කජු ගොට්ට උඩ සාක්කුවට හලාගෙන යන ගමන් කජු කනවා හිතන්. ඒත් තියෙන පෙරේත කමට එතනම කජු ඇට කීපයක් කටට දාගත්ත මට උනු කජුවල රස්නේ දිවට වඩා හිතට දැනුනා.
කජු කන්න මෙච්චර හෑල්ලක් මොකට ලිව්වද කියලා මේක කියෝන උබට හිතුනොත් මන් මේක ලිව්වේ උබලගෙන් පොඩි ඉල්ලීමක් කරන්න එක්ක. පුලුවන් නම් හැම වෙලේම මේ වගේ පොඩි තැනකින් මොනා හරි ගනිල්ලා. ඒක අපිට ගනුදෙනුවක් විතරක් උනාට කොහේ හරි පොඩි පව්ලක් පෝශණය කරන්න උදව් වෙන රුපියල් දහයක් වෙන්න පුලුවන්. ඒ වගේම සල්ලි දීලා බඩු අරන් යන්න විතරක් බලන් නොයිද ඒ වගේ කෙනෙක් එක්ක වෙලාවක් තියේනම් වචන දහයක් කතා කරපල්ලා. ඒක අපිට නොදැනුනාට ඒ මිනිස්සුන්ට මාර සතුටක් ගේන වචන දහයක් වෙන්න පුලුවන්. අපිත් සතුටු වෙන ගමන් තව කෙනෙක් සතුටු කරන්න නොමිලේම ලැබෙන අවස්ථාවල් මිස් කරගන්න එපා. මොකද දාහක් ප්රස්න අතරේ සතුට හොයන අපිට මහන්සියක් නැතුවම හිතට සතුට ගේන්න ඒ වචන වලට පුලුවන්.

Read More Like This

PHP Code Snippets Powered By : XYZScripts.com
error: Content is protected !!