හැල හැප්පීම් (වැල් වටාරම්)

Share With Friends

Facebook
WhatsApp
Telegram
LinkedIn
Email
පාන්දරම ඇහැරන් එයා ආස විදියට බත් එකකුත් හදන් 6.30 බස් එකට මම දිව්වා නෙමෙයි ඉගිල්ලුණා කිව්වොත් හරි.අවුරුදු 5ක් තිස්සේ හැල හැප්පීම් මැද්දේ ගලාගෙන ආපු නමක් දන්නේ නැති මේ සම්බන්ධයට අදින් තිත තියනවා කියලා හිතාගෙනමයි මම ගෙයින් එළියට බැස්සේ.මොකද මට ජීවිතේට පිරිමියෙක් ඉන්නම ඕන කියන දේට වඩා මානසික නිදහස ඕනමයි කියලා හිතුණ නිසා.
එරන්දගේ වෙනස්වීම් එක්ක හිතේ ඇතිවුණ හිඩැස් අතරින් පෘථිවි රිංගුවේ බොහොම ලස්සනට.මම එරන්දගේ බිරිඳ කියලා පෙන්වන්න කසාද සහතිකේ තිබුණට පෘථිවිගෙන් මම හැමතිස්සෙම ඇහුවේ ඔයා මගේ,මම ඔයාගේ කියන්න සාක්කිය මොකක්ද කියලා.”දෙයියෝ සාක්කි ප්රියංවදා…ඔයත් එක පාරටම අහන දේවල් “කියලා පෘථිවි කාර් එකේ ස්ටියරින්ග් වීල් එකට ගැහුවා මට අද වගේ මතකයි.පපුව ඉරාගෙන වගේ එන කේන්තියයි දුකයි මිශ්රවෙලා ඇහේ අග්ගිස්සේ කඳුලු බිංදු නටනවා වගේ තේරුණා.කාර් එකේ තිබුණ ටිෂූ පෙට්ටියෙන් එකක් අරගෙන මම ඇහේ තෙත මාත්තු කළේ “ඇහේ පටලයක් බැඳිලා වගේ අයියා” කියලා.මං සංවේදී ගෑණියක් කියලා ලෝකෙට පෙන්වන්න මම හැමදාම බයවුණා.අපේ අම්මා වගේ හිත හයිය ගෑණියක් වෙන්නයි මට හැමදාම ඕනවුණේ.ඒත් මද්දුමී පිරිමි දෙන්නෙක්ට මැදිවෙලා ගිරයට අහුවුණ පුවක් ගෙඩියක් වගේ ඉන්නේ කියලා අම්මා දන්නවා නම් නිදන් ඉන්න වලෙන් ඇහැරිලා ඇවිත් මගේ දත් තිස්දෙක බඩට යවනවා කියලා මම ඉන්තේරුවටම දන්නවා.එරන්ද ඇහැරෙන්න කලින් දඩිබිඩියේ එළියට පැනගත්ත නිසා අද සාරියත් අපිළිවෙලයි.හෑන්ඩ් බෑග් එකේ පාට සාරියට මැච්වුණොත් ඒකත් එයාගෙ හිතට හරි නෑ.සාරිය බතික් එකක් නම් මූණ හරි හතරැස් වෙනවා.තමන්ගේ ගෑණිට මෙච්චර ඉරිසියා කරන පිරිමි ඉන්නවද කියලා වෙලාවකට මම කල්පනා කරනවා.ෆෝන් එකේ සයිලන්ට් මූඩ් එක අයින් කළේ බැරිවෙලාවත් එරන්ද කෝල් අරන් ඕක ආන්ස්වර් නොකළොත් අනිවාර්යෙන්ම එයා ඔෆිස් එකට ගන්න බව මම දන්න නිසයි.එහෙම වුණොත් මට ඔෆිස් එකේ වසන්නවත් හම්බවෙන එකක් නෑ.
පෘථිවිගෙන් ඇමතුමක් ආවේ ෆෝන් එක හෑන්ඩ් බෑග් එකට දාගන්න හදන කොටම වගේ..
“නංගී,මම ඇවිත් ඉන්නේ..ඔයා බහින තැනට ටිකක් ඉස්සරහින් කාර් එක තියෙනවා.”කියලා ෆෝන් එක කට් කළා.මමත් බස් එකෙන් බැහැලා ගිහින් කාර් එකේ දොරට තට්ටුකළා.” තවම මට ඔයා හැර අයිතිකාරයෝ නෑ…නගින්න නගින්න”පෘතුවි සරදමට වගේ කිව්වත් වෙනදා වගේ සැහැල්ලුවෙන් හිතන්න තරම් මට මානසික තත්වයක් තිබුණේ නෑ.
” මොකක්ද දැන් මේකට කරන්නේ..මට ඕන නිදහසේ හුස්ම ගන්න”
” මම දන්නේ නෑ නංගී..”
මම අකමැතිම පෘථිවිගේ චරිත ලක්ෂණය ඉස්සරහට දාගෙන එයා වැනෙන උත්තරයක් දුන්නා.
“බඳින්න බැරිනම් මේක නවත්වමු.මම ඕන එකකට රෙඩී “නැති සැහැල්ලුවක් හිතට අරන් මම කිව්වා.
“මට ඔයා නැතුව බෑ නංගි.ඔයාට වගේම මම ඔයාගේ දුවටත් ආදරෙයි”
” මොන මගුලක්ද මිනිහෝ මේ කියන්නේ…මම දෙන්නටම මැදිවෙලා ඉන්නෝන කියලද ඔයා කියන්නේ එතකොට..”
“මට තේරෙන්නේ නෑ නංගි..”
මේ මනුස්සයත් එක්ක කතා කරලා කවදාවත් අවසන් නිගමන වලට එන්න බෑ කියලා මට තේරුණා.මොකද මේ වෙනකොට මාවයි තූර්යාවයි භාරගන්නවද..නැත්නම් මාව අතාරිනවද කියලා මම එයාගෙන් පනස් වතාවකට වඩා අහලා තිබුණා.ගෙනාපු බත් එක කාර් එකේ පිටිපස්සේ සීට් එකට විසි කරලා දාපු හාෆ් ඩේ එක ශෝට් ලීව් එකක් කරගෙන මම කාර් එකෙන් බැහැලා ගියේ පෘථිවි ඉස්සරහම මගේ සිම් එකත් දෙකට කඩලා දාලා.වෙනදා වගේ මාව නවත්තන්න එයාට උවමනාවක් තිබුණෙත් නෑ.ඔෆිස් එකට ආවත් මට වැඩ කරන මානසික තත්වයක් තිබුණෙත් නෑ.කෑම පැයේදී ගිහින් සිම් එකක් අරන් එරන්දට කෝල් කළා.ඔෆිස් එකේ අයට අලුත් සිම් දුන්නා ,ෆෝන් බිල් එකත් ගෙවනවා මේකයි අලුත් නම්බර් එක කියලා.ඔෆිස් ඇරෙන වෙලාවේ පෘථිවිගේ වාහනය ඔෆිස් එක ගාව නවත්තලා තිබුණා.ඒක දැක්කේ නෑ වගේ ගිහින් මම බස් එකක එල්ලුණා.අනුරාධපුර බ්රාන්ච් එකට ට්රාන්සර් එකක් හදාගන්න පුලුවන් වුණා හිතුවටත් වඩා ඉක්මනටම.එරන්ද ,තූර්යාවත් මගේ පිට පටවලා වැඩට කෙනෙකුත් හොයලා දුන්නා.නිල නිවාස තිබුණ නිසා වෙනම ගෙවල් කුලියක් ඕන වුණේ නෑ.එයා කටුබැද්දේ ගෙදරම හිටියා.කොණ්ඩේ ස්ට්රෙර්ට් කරපු පොඩි කෙල්ලක් ගෙදරට යන එන බව කියලා ප්රින්සි ඇන්ටි මට කෝල් කරලා කිව්වාම මම සති අන්තෙවත් කටුබැද්දෙ ගෙදර නොයන්න තීරණය කළා.ඒ පොඩි කෙල්ල එරන්දගේ පෙම්වතිය ශෙහානි බව දැනගත්ත මම එරන්දට ඩිවෝස් එක දුන්නා.උසාවියෙන් එළියට බැහැලා එද්දී එරන්දගේ ඇස් දෙක දිළිසෙනවා මම දැක්කා.කසාද ජීවිතේ හිටපු අවුරුදු අට ඇතුළතවත් ඒ ඇස් ඔච්චරටම බැබළෙනවා මම දැක්කේ නැද්ද..මට බලන්නවත් වෙලා තිබුණේ නැද්ද කියලා කැස්බෑව උසාවියේ ගේට්ටුවෙන් එළියේ ඌබර් එකක් එනකන් හිටපු මම කල්පනා කළා.මා එක්ක හිටියට වඩා සතුටින් එයා ශෙහානි එක්ක ඉන්න ඕන කියලා මම හිත යටින් එරන්දට සුභ පැතුවා.පිරිමි හුස්මක්වත් නොවැදි මම තනියම ජීවිතේට මූණ දුන්නා. කාලය ඉගිල්ලුණා.තූර්යාට දැන් අවුරුදු විස්සක්.
රුවන්වැලි සෑයේ පිංකමක් තියෙනවා කියලා මට කිව්වේ ඔෆිස් එකේ කමනි අක්කා.සෙනසුරාදා තූර්යාටත් අමතර වැඩක් නැති නිසා දෙන්නත් එක්කම ගියා.අද බණ කියන්නේ ආරණ්යවාසී හිමිනමක් කියලා වයසක අම්මා කෙනෙක් කියනවා මට ඇහුණේ සුදු නෙළුම් පූජා කරනකොට.ස්වාමීන් වහන්සේ වඩින කොට හැමෝම සාධුකාර දෙන්න පටන් ගත්තා.මගේ ළගින් උන්වහන්සේ වඩිනවිට කොහේදී හෝ දැක ඇති රූපයක් යැයි මට සිතුණා.හුස්ම මොහොතකට නතර වෙනවා වගේ දැනුණා.කටේ කෙල හිඳුණා.”බබා,මට ඔලුව කැරකෙනවා ,ප්රෙශර් වැඩිවෙලා වගේ,අපි යමුද “පුණ්ය භූමියක ඉඳගෙනම තූර්යාට බොරු කියලා මම රුවන්වැලි සෑයෙන් පිටවුණා.මගේ හිතේ සැක හැරගන්න මම සෞම්ය අයියගේ නම මූණු පොතෙන් හොයලා මගේ නම්බර් එකට කෝල් එකක් ගන්න කියලා කෙටි පණිවිඩයක් තිබ්බා.සෞම්ය ,මගෙයි පෘථිවිගෙයි නමක් නැති සම්බන්ධය දැනගෙන හිටිය එකම පිටස්තරයා.තූර්යා පෙරැත්ත කරපු නිසාම පිටි එකක් විතරක් බීලා ඇඳට ගියත් නින්ද නම් මගේ අහලකවත් තිබුණේ නෑ.හරියටම රෑ 11.20 වගේ වෙද්දී නොදන්න නම්බර් එකකින් ඇමතුමක්.
“ප්රියංවදා..මම සෞම්ය .මොකද හදිසියක්වත්ද.?”
” අයියා,පෘථිවි කෝ අයියා දැන්.අවුරුදු 15කට වැඩි විස්තරයක් නෑ අයියා..”
“මම හිතුවේ ඔයා දන්නවා ඇති කියලා.ඌ ඔයාව හෙව්වා හැම තැනම ප්රියංවදා .අප්පච්චි නිසයි ඌට ඔයාව බඳින්න බැරිවුණේ.එරන්දට වඩා ඌ ඔයාට ආදරේ කළා.මට කියලා තිබුණේ අප්පච්චි නැතිවුණ දවසක ඔයාව කසාද බඳිනවා කියලා.තූර්යාටත් ආදරේ කළා ඒකා.කටුබැද්දේ ගෙදරට ඔයාව හොයාගෙන යනකොට ශෙහානි ඉඳලා තියෙන්නේ.එරන්දගේ වයිෆ් එයා කියලා මැරේජ් සර්ටිෆිකේට් එක පවා පෙන්නලා.ඔයාව හොය හොය හැම තැනම ඇවිදලා කර කියාගන්න දෙයක් නැතුව බේබද්දෙක් වගේ බීලා බීලා අප්පච්චිත් නැතිවුණාම ඌ මහණ වුණා නංගි..”
උපුටා ගැනීම: Prasadika Malwatta

Read More Like This

PHP Code Snippets Powered By : XYZScripts.com
error: Content is protected !!