නැගෙනහිරින් හිරු පායද්දී සමනල කන්දේ සෙවනැල්ල බටහිර අහසේ අනන්තය තෙක් විහිදී මොහොතකින් ජාඇල සිට කළුතර දක්වා කොහේ හෝ තැනකදී වෙරළ තීරය සිපගනිමින්, හිරු නැග එද්දී සමනල කන්ද වෙත ඇදී එන බව මේ සමූහයේ මාස කිහිපයක් රැඳී සිටියානම් ඔබ හොඳින් දනී.
දෙසැම්බර් 21 ආසන්න දිනවලදී ජාඇල තෙක් විහිදෙන මේ සෙවනැල්ල මාර්තු 21 හා සැප්තැම්බර් 23 යන දිනවල සමනල කන්දට එක එල්ලේ බටහිරින් ඇති රත්මලාන දෙසට විහිදේ. ජූනි 21 දින කලුතර පසු කරමින් යන මේ සෙවනැල්ල පෙබරවාරි මැද සිට මාර්තු මැද දක්වා කොළඹ නගරයට විහිදේ. මේ සෙවනැල්ල තුල ඔබ රැඳී සිටියොත් සමනල කන්දට පිටුපසින් හිරු උදාවන අයස්කාන්ත දර්ශනය දැකීමේ භාග්යය ඔබට ලැබිය හැකිය.
සිරිපා සෙවනැල්ලේ මේ ගමනට හේතුව පොළවේ භ්රමණ අක්ෂයේ ඇති අංශක 23.5ක ඇලයයි . මේ පෝස්ට් එකේ මා ඉදිරිපත් කරන්නේ සමනල කන්දේ සිට බටහිරට විහිදෙන රේඛාවට අංශක 05, 10, 15, 20 හා 23.5 යන කෝණ වලින් උතුරු පැත්තට හා දකුණු පැත්තට සෙවනැල්ල ගමන් කරන දින වකවානුයි.
මේ සෙවනැල්ල වැටෙන කලාපයට උතුරු සීමාවේ ඇති මාලිබොඩ, දැරණියගල, අවිස්සාවේල්ල, වැලිවේරිය හා ගනේමුල්ල යන නගර වලට මේ අවස්ථාව උදාවන්නේ නැති අතර දකුණු සීමාවේ ඇති රත්නපුර, බුලත්සිංහල, තෙඹුවන යන නගරත් මේ කලාපයෙන් මිදී පවතී.
මේ ගණනය කිරීම සඳහා මා සයින් සූත්රයක් භාවිතා කළ අතර ඒ සඳහා භාවිතා කළ ප්රධාන උපකල්පන දෙක වන්නේ පොළව වෘත්තාකාර මාර්ගයක පරිභ්රමණය වන බව හා පරිභ්රමණ කාලය දින 365ක් වන බවය. නමුත් මේ උපකල්පන දෙකම නිවැරදි නොවේ. පොළවේ පරිභ්රමණ කාලය දින 365.249 ක් පමණ වන අතර මේ දෝෂය නිවැරදි කිරීමට වසර 4කට වරක් අධික අවුරුද්දකට එක් දිනයක් වැඩිපුර එකතු කිරීමත් ශතවර්ශයකට වරක් ඒ දිනය ඉවත් කිරීමත් සිදුවේ. පොළවේ ගමන්මග වෘත්තාකාර නොවන අතර ඒ නිසා යම් යම් කාල වල පොළව පරිභ්රමණය වන වේගයත් වෙනස් වේ. හරියටම නැගෙනහිරින් හිරු උදාවීම සිදුවන දින දෙකක් ඇත. ඒ මාර්තු 21 (වසන්ත විශුවය) හා සැප්තැම්බර් 23 (හේමන්ත විශුවය) යන දින දෙකයි. වසන්ත විශුවයේ සිට හේමන්තය දක්වා වන ගිම්හාන අර්ධය දින 186ක් පවතින අතර හේමන්ත විශුවයේ සිට නැවත වසන්තය තෙක් ශිශිර අර්ධයේ ඇත්තේ දින 179ක් පමණි. හරිනම් මේ කාල දෙක දින 182.5 බැගින් සමාන විය යුතුය (365/2). නමුත් එසේ නොවන්නේ පොළව ඉලිප්සාකාර ගමන් පථයක පරිභ්රමණය වන නිසාය. මේ කාරණාවටම අපේ දිවයින සමකයට මදක් උතුරින් පිහිටා තිබීමත් එකතු වීමෙන් අපේ කෘෂිකාර්මික රටාවේ අසමාන අර්ධ දෙකක් ලෙස මහ කන්නය දික් වීමත් යල් කන්නය කෙටි වීමත් සිදු වී තිබේ. මේ කරුණු සියල්ල නිසා සිරිපා සෙවනැල්ල අදාල රේඛා පසුකර යන මොහොත නිශ්චිතවම පැවසීම අසීරු හෙයින් දින කිහිපයක පරාසයක් ඒ සඳහා දී ඇත.
මේ පෝස්ටුව පළ කිරීමට සිත්වූයේ ඊයේ දින කඳාන ආනියාකන්ද ප්රදේශයේ සිට ගත් කදිම පින්තූරයක් දුටු හෙයිනි. එය පළ කර තිබුණේ ආචාර්ය අරවින්ද සුමනරත්න මහත්මා විසිනි. ඔහු මේ කරුණු ගැන මනා දැනුමක් ඇති විද්වතෙකි.
සමනල කන්ද මුදුන පසුකරමින් හිරු නැගෙන ඒ පින්තූරයත් මේ පෝස්ටුවේ ඉහත පින්තූරය වශයෙන් එක් කළෙමි. අනෙක් පින්තූර අන්තර්ජාලයෙන් සොයාගත් ඒවායි.
සටහන: චමින්ද ජයතුංග ආරච්චි.
—–