ලියුම් රෝල් (ඉස්කෝලෙ කාලෙ රස කතා)

Share With Friends

Facebook
WhatsApp
Telegram
LinkedIn
Email
මේක උනේ මම එක පන්තියක ඉන්න කාලේ. ඔය කියන පන්තියේ මමයි තව එකෙකුයි හිටියා ඉගෙන ගන්න එක ඇරෙන්න අනිත් ඔක්කොම කරපු. වෙන කවුරුත් නෙමෙයි අර අපේ අනන්යතාවය ජාත්යාන්තරයට ගෙනියපු එකා. පේපර් එකක් දුන්නම අපි ඒවා ලියන එක අවුට්සෝස් කරනවා. ඒ වෙනුවට ටීචර්ගේ වත්තෙන්ම හොරෙන් නෙලාගත් නැවුම් තැඹිලි , කුරුම්බා වගේ දේවල් ඒ ලියන උන්ට දෙනවා.
ඒ උනාට පන්තියේ මොන ප්රශ්නේ ඇහුවත් ගින්දර වගේ උත්තර දෙනවා. සමහර වෙලාවට විදේශ ආධාර ලැබෙනවා. ඒක වෙනම දෙයක්. කොහොම හරි මේකේ ඉඳපු අහිංසකම කෙල්ලට මගේ කැමැත්තක් තිබ්බා. වැඩේ කියන්නේ මේකි මගේ දිහා ඇහැක් ඇරලා බලන්නේ නෑ. මමත් ඕනවට වඩා දෙන්න ගියෙත් නෑ ඉතින්. මොන මගුලක්ද? මම මගේ විදියට හිටියා.
ඉන්ටර්වල් එකට අපි කොල්ලෝ ටික ඔය ලඟ තියෙන කඩේකට ගිහිල්ලා රුපියල් පනහක විතර කාලා තව සීයක විතර දේවල් සාක්කු වල දාගෙන රුපියල් හතලිහක් විතර දීලා එනවා. ඒ තරම් සාධාරණයි අපි.
දවසක් මෙහෙම උස්සපු බීම බෝතලේකුත් අරුයි මමයි බිබී එනකොට අපේ ඉස්සරහට එනවා මම ට්රයි කරන කෙල්ලා තව කෙල්ලෙකුත් එක්ක. කවදාවත් නැතුව හිනාවකුත් එක්ක මගේ දිහා බැලුවා. හම්මා ඒ ආතල් එක. මම හිතුවා ඒකි අපිව පහු කරගෙන යයි කියලා. නෑ.. මේකි එනවා අපි ඉන්න පැත්තටම. ඇවිල්ලා අපි ලඟ නැවතුනා. මට ශුවර් දැන් කතා කරොත් වචන නම් මට එන්නේ නෑ කියලා.
අරකි එක පාරටම කිව්වා මගේ යාලුවට පොඩ්ඩක් පැත්තකට එන්න කියලා. මම දැන් හිතාගන්න බෑ මේකි මොකටද එන්න හදන්නේ කියලා. මුන් තුන් දෙනා පැත්තක ඉඳලා මොනවද මගේ දිහා බල බල කතා කරනවා. ටිකකින් එක පාරටම අරූ දුවගෙන ආවා. යමං යමං පන්තියට කියාගෙන ඌ දිව්වා. මමත් ඌ පස්සෙන් දුවගෙන ගියා. මේ යකා දුවපු ගමන් පිස්සෙක් වගේ මගේ පොත් අරගෙන පිටු පෙරලගෙන යනවා. මම බැලුවා මූට මොකක් වෙලාද කියලා.
හම්මට .. මූ මගේ පොතක් අස්සෙන් රෝස පාට කොලයක් ගත්තා හාට් ශේප් එකට තියෙන එකක්. මමත් ගිහින් එබිලා බැලුවා.
ඔබට සිත ආදරේ කරයි
දෙතොල ගොලු වී සිටී
නැගුන සෙනෙහේ කියනු බැරිවී
මගේ සිත වේදනා විඳී
කියලා ඒ හාට් එකේ ජෙල් පෑනකින් ලියලා තව චූටි හාට් හැත්ත පන්දාස් එක් බිලියන විසි තුන් පහකුත් ඇඳලා. මටත් පට්ට සැට. ඊට පහල බලද්දී යකෝ ඒ මම ට්රයි කරපු කෙල්ලා නෙමෙයි. ඒකි එක්ක ඉඳපු අනිත් කෙල්ලා තමයි ලියලා තියෙන්නේ.
අනේ කමක් නෑ. මොනවත් නැති එකේ මේකෙන් එක්ස්පීරියන්ස් අරගෙන පස්සේ හොඳ එකකට සෙට් වෙනවා කියලා හිතලා මමත් හා කියලා සෙට් උනා. දැන් ඉතින් වෙනදා කඩෙන් උස්සලා කන බොන ඒවා මේකිටත් ගෙනැල්ලා දුන්නා.
අපේ නංගිත් ඔය තැනම වෙන පන්තියක හිටියේ. ඒකිත් එක්ක තමයි මෙලෝ දෙයක් කරන්න බැරි. නංගි නෙමෙයි ඒකි මගේ තරහා කාරියෙක් වගේ. දවසක් බීම බෝතලයක් අරකිට දෙන කොටම නංගි අපේ පන්තියේ. මම දොරට අහු වෙලා වගේ නංගි දිහා බලලා ඇහුවා. “මේ.. බී.. බීම බොනවද ? ” කියලා. මට ඕන ඇති බීම එකක් නෑ. ඔය ගෙනාපු කෙනාට පොවලා එනවකෝ තමුසේ එලියට. කියලා ගියා.
බර ගානක් වියදම් කරන්න උනා නංගිගේ කට වහලා තියන්න. කොහොම හරි ඒ දවස් වල මොබයිල් ෆෝන් නෑ නේ. ලියුම් තමයි ලියන්නේ. ඉතින් මේ ලැබෙන ලියුම් තියන්න තැනක් නෑ. මොකද මම හිටියේ ලන්ඩන් වල බේකර වීදියේ 221 බී කියන ගෙදර. මොකද අපේ අම්මයි නංගියි කියන්නේ ශර්ලොක් හෝම්ස්නුයි, වොට්සනුයි වගේ තමයි. ඉතින් මට ඒ දෙන්නට වඩා පියවරක් ඉස්සරහින් ඉන්න උනා.
මම ලැබෙන ලියුම් තියන්න තැනක් සොයා ගත්තා. මගේ කාමරේ තිබුනා අඟල් බාගේ බට වලින් හදපු ඇඳුම් රැක් එකක්. මම ලියුම් රෝල් කරලා නූලකින් ගැට ගහලා මේ බට දිගේ ඇතුලට දාලා ආයෙත් අර රබර් බුශ් එක ගහලා තියෙනවා. ඕන උනාම නූල ඇදපු ගමන් ලියුම් වැලම එලියට එනවා. ඔය විදියට කකුල් හතරෙම ලියුම් වැල් හතරක් තිබ්බා. මට අමතක උනා නංගිටයි අම්මටයි වඩා අඩියක් ඉස්සරහින් මම හිටියට තාත්තා ඉන්නේ මටත් වඩා අඩියක් ඉස්සරහින් කියලා.
දවසක් මම පන්ති ඇරිලා ගෙදර එනකොට අංගුලි මාල ඇඟිලි මාලේ අරගෙන ඉන්නවා වගේ අපේ තාත්තා ඉන්නවා මගේ ලියුම් මාලේ අතේ තියාගෙන. තාත්තා කිව්වා “අනිත් දවසේ මේවා දානකොට ශොපින් බෑග් කැල්ලක ඔතලා දාපන්. බට ඇතුලේ තියෙන මලකඩ මේවයේ ගෑවිලා. මම පුලුවන් ටික පිහිදාලා දැම්මා. හෙට ස්ටුඩියෝ එක වහලා ගෙදර ඉඳගෙන අනිත් ටික පිහිදාලා දෙන්නම්. එක දවසිනුත් බැරි වෙයි මේ තියෙන තරමට. දවස් දෙක තුනක් වත් යයි. මේ ටික සුද්ද කරනකන් තව ඒවා ඔය බට අස්සේ ඔබන්න එපා.” කියලා.
එදා ඇත්තටම අංගුලිමාලගේ කඩුව තිබ්බා නම් මමම මගේ බෙල්ල කපා ගන්නවා.
උපුටා ගැනීම: Sajitha Roshan

Read More Like This

PHP Code Snippets Powered By : XYZScripts.com
error: Content is protected !!