මා බේකරි වීදියේ පැත්තක තිබූ කඩයකින් කේකයක් මිලදී ගතිමි,
අලුත් අවුරුද්දේ කිසිවක් නොමැතිව හොල්ල හොල්ලා නිවසකට යාම ලාංකිකයන්ගේ පුරුද්දක් නොවන බව රොබට් නොක්ස්ගේ එදා හෙළදිව ග්රන්තයේ සඳහන්ව තිබිණි,
මමද කාලයක් තිස්සේ ලංකාවේ ජීවත් වූ නිසා ඒ පුරුද්ද ඉබේටම ඇඟට ඇතුලු වී ඇත.
තියාරා ලේයර් කේකයක් දුඹුරු පාට බ්රවුන් පේපරයකින් ඔතාගත් මා කෙමෙන් කෙමෙන් හෝම්ස්ගේ නවාතැන වෙත පිය නැඟිවෙමි,
හෝම්ස් ලංකාවේ නවාතැන් ගෙන ඇත්තේ බේකරි වීදියේ හච්සන් නැමති වැන්දඹු කාන්තාවකගේ නිවසේය,
ඇය මසකට කුලිය රුපියල් 20,000ක් ගන්නේ කෑම වේල් තුනටමද සමඟය,
දවල්ට චිකන්, බිත්තර හෝ මාලු ඇතුලත් කෑම වේලක් ඇය දෙන අතර,
උදේට සහ රෑට පිට්ටු, ඉඳි ආප්ප, තෝසේ වැනි සුළු කෑමක් දෙයි,
ඇගේ කෑම කොතරම් රසද කිව්වහොත් පික්මී ෆූඩ්ස් වල හෝම්ස් ගෝල්ඩ් පාරිභෝගිකයෙකි.
මා ඇවිද යන අතර,
“දුප් පාහර බල්ලා”
කියමින් හච්සන් මහත්මිය පාලනය ගිලිහුණු නෞකාවක්මෙන් ශරීරයේ එක් එක් තැන් එක් එක් ආකාරයට පද්දමින් මා දෙසට දිව එයි,
ඇය ගොඩක් ස්ථූලය,
චිබී නොව බැරල් ටයිප්ය,
මාගේ ඇඟ සීතල වී ගියේ මා ඇයගේ චර්යාව ගැන හෝම්ස්ට පැවසූ බව හෝම්ස් ඇයට පවසා ඇත්දැයි සිතූ සැකයෙන්ය,
මා ආපසු දිවීමට සැරසුණෙමි,
ඇයගේ අතේ පහරදීමට යමක් තිබේ,
ඇය කෙමෙන් කෙමෙන් ලං වනවාත් සමඟම මාගේ දෙකකුල අස්සෙන් දිව ගියේ අහිම්සක බල්ලෙකි,
ඇය බැන ඇත්තේ මට නොවේ,
නියත වශයෙන්ම ඉහත කී බල්ලා ඇයගේ ඇන්තූරියම් පැළයකට සූ කර ඇත,
ඇයගේ ඇඟේ කොටස් ඉතා වේගයෙන් බල්ලා පසුපස පන්නයි,
ඇය ඇඟේ කොටස් පසුපස පන්නයි,
මා දුටු ඇය නැවතුණාය,
මා හට සිහිවූයේ යාංගල්මෝදර අනතුරට පෙර බ්රේක් ගැසූ දුම් රියය,
කෙසේ හෝ අපහසුවෙන් එවර් ග්රීන් නෞකාව මෙන් ඇය තම ශරීරය නවත්වා ගත්තාය,
ඇය හති දමමින් කලබලෙන්,
කෑගසමින්,
“අයින් වෙන්න වොට්සන්”
කියමින් ගල් පහරක් බල්ලා ගිය දෙසට විසි කලාය,
මම දෑත වනමින් එපා යැයු පැවසීම්,
කෙසේ හෝ බල්ලා එතැන නැත,
ඌ දුර ගොස් වෙන ගසකට සූ කරනු ඇත,
ගල වේගයෙන් එනු පෙනෙයි,
මා මෑත්න්වීමි,
ගල ලං වෙයි,
මා ඇඹරෙයි,
තෑම්ස් ගෝට් මා බේරුණි,
මාගේ දණිස්ස නොබේරුණි,
මාගේ දණිස් පොල්කට්ටට වැදුණ ඒ පාර නිසා මා දණිස්ස අලාගෙන කොරවී බිම ඉඳ ගතිමි,
වේදනාව සමඟ මා බිම දුටු දෙයින් පුදුමයට පත්වීමි.
“දෙවියනේ හච්සන් මහත්මිය මේ මොනාද”
මා කෑගැසුවෙමි.
“සමා වෙන්න දොස්තර මහත්මයා,
මා ගැසුවේ බල්ලාට වැදුණේ ඔබට,
ඔය හාල්පිටි අග්ගලා”
ඇය මා වෙත පැමිණ මාව නැඟිට්ටවීමට උත්සාහා කළාය.
“හඩ්සන් මහත්මිය ඒත්…
මේ අග්ගලා ගෙඩියෙන්ද ගැහුවේ බල්ලාට,
සන්තානම් මෑණියනේ,
මම හිතුවේ ගලක් කියලා”
මා පළුද්දක්වත් නොවී බිම වැටී තිබූ මා හට පහරදුන් අග්ගලාව ඇහිඳා ගතිමි,
ඇහිඳාගෙන මැනිකක් හම්බූ පතල් කම්කරුවෙක්සේ එය ඉහළට අල්ලා කරකවා බැලුවෙමි.
“ඔව් වොට්සන්,
පැනි පොඩ්ඩක් කර වුණා,
හපන්න ගිහින් මගේ කෘතීම දත්කුට්ටමත් කැඩුණා,
දැන් මම මේවා පාවිච්චි කරන්නේ වත්තේ සූ කරන බල්ලන්ට ගහන්න”
ඇය හැඬූ ස්වරයෙන් පැවසූවාය,
ඇය අඩුගානේ ඒවා බල්ලන්ට ගැසීමටවත් ගන්නේය,
අපේ මේරිනම් කෙසේ හෝ මට ඒවා කවන්නේය,
මා හට කන්න බෑයැයි කීවොත් පාර්සල් කර අපේ නිවැසියන්ට යවයි,
කෙසේ හෝ මම ඒ ගැන සිතමින් එතනින් පිටත් වීමි,
මා හට අනාගත දරුණු අනතුරක සේයාවක් මතුවන්නට විය,
මා නැවත හැරී,
“හච්සන් මහත්මිය,
ඔය අග්ගලාව පාරෙන් ඉවත් කරන්න,
මනුස්සයෙක්ගේ කකුල වැදුණොත් විශාල තුවාලයක් වෙයි”
කියමින් කට කොණකින් සිනා සෙමින් නැවත කොරගසමින් හෝම්ස්ගේ නවාතැන වෙත ටහික්කඩු යන්න කියමින් ඇදුණෙමි.
—-
මා නිවසට ඇතුල් වනවිට දොර බාගේට ඇර තිබිණි,
Kn 95 මාස්කය සහ හිස් ආවරණය බිත්තියේ එල්ලා තිබිණි,
හෝම්ස් දේව පිළිම ගාව සිටගන සිටියේය,
ඇත්තෙන්ම හෝම්ස් ආගමට දහමට නැඹුරු වූ කෙනෙක් නොවේ,
මා හට ඉතා සන්තෝශ සිතුණේ ඔහු මේ නහින දෙහින කාලයේ හෝ ආගමට දක්වන නැඹුරුව පිළිබඳවය.
ටීපෝව උඩ බාගේට බිවූ තේ කෝප්පයට පිළිවෙලින් කලු කූඹි ගොඩවෙයි,
බාගෙට විවෘත්ත කල ඩන්හිල් සුවිච් පැකටය මත නිල් පැහැති ලයිටර්යය,
ගැලවූ පාවහන් යුගල තැන තැනය,
“හෝම්ස්…”
කියමින් මම උගුර පෑදුවෙමි.
“ආ…”
කියමින් ඔහු මදෙස හැරුණේය.
ඔහුගේ අතේ දුටු දෙයින් මම පුදුමයට පත්වීමි.
“හෝම්ස්…
මම හිතුවේ මේ ගාථා කියනවා කියලා”
මම කළකිරුණ ස්වභාවයෙන් පැවසීමි.
“මොකෝ මේ පඬුරු අතේ,
කරදරයක් වත්ද,
පඬුරු ගැටගහන්නේ”
මම විපක්ශීත බැල්මක් හෙළමින් ඇසීමි,
“ගැට ගහන්නේ??
නෑ මේ ගැට ගලවනවා,
අවුරුද්දෙන් පස්සේ ඇඩ්රස්ම නෑ”
කියමින් මාරුකාසි එකින් එක ගනන් කරන්නට විය.
පසෙකින් ගලවා තිබූ සුදු රෙදි කඩවල් දිස් වෙන්නට විය.
“අවුරුද්දෙන් පස්සේ හැමෝටම ආමාරුයි හෝම්ස්”
කියමින් මම ලේයර් හතක් සහිත ක්රීම් ක්රැකර් විස්කෝතුව ලඟ තිබූ ලූනු කෑල්ල සමඟ කෑවෙමි,
දෙවියනේ හෝම්ස් දවල්ට කා ඇත්තේ ඒවාදැයි සිතමින් සහ අවුරුද්දේ අමරුව කියමින් මම ගෙනා කේකය මේසය මත තැබුවෙමි,
දැන් ඔහුට සල්ලිත් නැත,
පික්මීත් නැත,
ඌබරුත් නැත,
අරකී උයන කෑම රසත් නැත,
ක්රීම් ක්රැකර් සහ රතු ලූණු ඇත.
“ඔය කේක් එකට ජීපී එස් චිප් එකක් හයි කළොත් ඔයාට කොච්චර මිත්ර ජාලයක් ඉන්නවද කියලා හොයාගන්න පුලුවන් මිත්රයා”
හෝම්ස් කේක් එක දෙස බලා පැවසුවේය,
කන්නේ ක්රීම් ක්රැකර්,
දෙන්නේ ලෑම්බ් ටෝක්ස් කියා මටම සිතුනි,
ඉන් පසු මා පුදුම වී අඩෝ වයි බං බැල්මෙන් බැලුවෙමි.
“මේකනේ මිත්රයා,
මේ කෙක්කෙක දැන් මට හම්බුණා,
මගෙන් මගේ යාලුවෙක්ට,
එයාගෙන් එයාගේ යාලුවෙක්ට,
එයාගෙන් තව කෙනෙක්ට,
ඔහොම ගියාම කේක් එක යන හැමෝම අපේ කනෙක්ශන් තියන අය”
කියූවෙන් මාද පුදුම වීමි.
“හෝම්ස් හෝම්ස් හෝම්ස්…”
අපිට කරදරයක්.
කියමින් නිල් පැහැති මල් සහිත සුදුගවුමක් ඇඳගත් අපිළිවෙල හිසකෙස් වලින් යුක්තවූ අසල නිවසක තරුණ කාන්තාවක් අප නිවසට අනවසරයෙන් ඇතුල් වූවාය,
මම උන් තැනින් ඉද්ද ගැසුවාක් මෙන් නැඟී සිටියෙමි,
“මිස් පොඩ්ඩක් තට්ටු කරලා එන්නේපෑ”
කියමින් හෝම්ස් පුටු ඇන්ද මත තිබූ ඔගේ ඉතා කුඩා කලිසම අයින් කලේය,
“සමාවෙන්න,
මම කලබල වෙලා ඉන්නේ”
ඇය පැවසූවාය.
“මහත්මිය,
ඔබ රැකියාව කලේ ටෙලිකොම් එකේ,
එතනින් අයින්වී ඔබ”
කියනවාත් සමඟම
“හෝම්ස් මහත්මයා,
මට අනාවැකි අහ අහ ඉන්න වෙලාවක් නෑ,
අපේ තාත්තා එක පාරට මම කාමරේට යද්දී සිහිසුන් වෙලා හිටියා,
අනේ ඉක්මනට එන්න,
දැන් 911 ගහලා ආවේ,
ගිලන් රථය මඟ”
කියමින් ඇය හෝම්ස්ගේ අතින් ඇදගෙන පහළට දිව්වාය,
හෝම්ස් කලබලෙන් අතේ තිබූ මාරු කාසි කිහිපය සාක්කුවට දාගත්තේය,
ඇය හෝම්ස් සමඟ පඩිපෙළ බැස ගිය ආකාරයට කෙසෙල් ලෙල්ලක් හෙම තිබුණානම් හෝම්ස් පසුවදා සිට කෑම එක්කෝ බ්ලෙන්ඩර් කර කයි,
එසේත් නැතිනම් දියර් වර්ග පමණක් ගනී.
—–
“ඔබගේ පියාව රොහල් ගත කළාද”
හෝම්ස් ගූගල්හි යමක් පරීක්ශා කරන අතරතුර ඇසුවේය,
“ඔව් රහස් පරීක්ශක තුමණි,
අපි එනතුර මල්ලි සහ මව ඔහුව රැගෙන ගිස් තිබෙනවා”
ඇය හඬමින් පැවසුවාය.
“මේ ගෙදර තව කව්ද ඉන්නේ මහත්මිය”
“මමයි අම්මයි තාත්තයි මල්ලියි විතරයි හෝම්ස් මහත්මයා”
“මහත්මිය,
අවසාන වරට සිහිසුන් වෙද්දී ඔබේ පියා සිටියේ මේ කාමරයේද”
“ඔව් මහත්මයා,
මේ මගේ කාමරය,
තාත්තා බත් කන අතරතුර මේ කාමරයට පැමිණියා කියා මාගේ මල්ලි පැවසුවා”
හෝම්ස්ගේ උකුසු ඇස් කාමරය සිසාරා යන්නට විය,
ඔහු සිවිලිම බැලුවේය,
ජනෙල් දෙස බැලුවේය,
ඇඳ දෙස බැලුවේය,
බිත්තිය කෙලවරේ හේත්තු කර තිබූ කලුවර අල්මාරිය දෙස කෑදර බැල්මක් හෙළුවේය,
ලිමිට් කවරවල පුරවන ලද ඇඳුම් බෑග ඇඳ පුරා විසිරී තිබිණි,
පාත් වී ඇඳ යට බැලුවේය,
ඔහු මහත් කුතුහළයෙන් බිම තිබූ රතු පැහැති ලේ මෙන් යම් රතු පැහැති ද්රව්යයක් තැවරී තිබූ දිගැති කොලයක් අතට ගත්තේය,
ඔහු තම අත් කාචයෙන් එය මනාව පරීක්ශා කරන ලදී,
ඉන්පසු ඔහු එම කොලය මතුපිට සීරුවෙන් බ්ලේඩ් තලයකින් සූරා එහි සුවඳ බලා මඳක් කටේ දමා රස බැලුවේය,
“මහත්මිය,
දවල්ට රම්පේ කර්පිංචා දාලා පරිප්පු ඉව්වාද”
හෝම්ස් විමසුවේය,
“ඔව් හෝම්ස් මහත්මයා”
“බීට්”
නැවත ඇසුවේය.
“ඔව් මහත්මයා”
ඇය නැවත පැවසීය,
“මහත්මිය ඔබේ පියාට දැන් සනීප ඇති,
ඔහු එක වර අධිකව කලබල වෙලා තමයි මේ ක්ලාන්තය ඇති වී තිබෙන්නේ,
ඔබ පහුගිය පරණ අවුරුද් දින රෙදි මිලදී ගත්තා නේද”
හෝම්ස් ඇසුවේය.
ඇත්තෙන්ම මෙවැනි අවස්ථාවල අනවශ්ය පෞද්ගලික ප්රශ්ණ අසා ඈගේ අසරණකමින් ප්රයෝජන ගැනීමට හෝම්ස්ගේ වෑයම මම කිසිසේත් අනුමත නොකරන බව සිතා ගතිමි.
“ඔව්”
ඇය නුරුස්නා ස්වභාවයෙන් පැවසුවාය.
“මා පෙර අතට ගත් කොලය ඔබ ඇඳුම් මිලදී ගත් කඩයෙන්දුන් බිල් පත මා පරීක්ශා කරන අතරතුර පරිප්පු හොදි සහ රතුපාට යමක් දුටුවා,
ඒ බීට් රූට්,
ඒ කියන්නේ ඔබේ පියා අවසාන වශයෙන් ඒ බිල් පත අතේ තබාගෙන හිඳ තිබෙනවා,
කෑම කන අතරතුර දැක තිබෙන්නේ,
ඔබ ඒවාට මුදල් ගෙවූයේ පියාගේ ක්රෙඩ් කාඩයෙන් නේද මහත්මිය,
තාත්තා දැන් තමා බිල් එක දැකලා තියෙන්නේ,
ඉතින් තාත්තාට ඒ හතලිස් අට දහසේ බිල දකිද්දී ශුගර්, කොලා සෝල්ට් නඟින එක අහන්නත් දෙයක්ද,
ඉතින් ක්ලාන්තය දාලා,
අද හවස ටිකට් කපයි”
කියමින් හෝම්ස් කොක් හඬලා සිනා සුණේය.
උපුටා ගැනීම: -Tharu Rajapaksha-