ප්රවීණ ග්රන්ථ කතුවරයකු, පරිවර්තකයකු වන චන්ද්ර ශ්රී රණසිංහ, මෑතකදී කියවූ වඩාත් සිත්ගත් කෘතිය පිළිබඳ අදහස් දක්වන්නේ මෙසේ ය.

පසුගිය දිනවල ලෙනාඩ් වුල්ෆ්ගේ දිනපොත පරිවර්තනය කළාට පස්සේ, නැවත වරක් පරිවර්තන කෘතියකට යන්න කලින්, ලෝක සාහිත්යයේ ඉතා ම වැදගත් නවකතාවක් විදිහට සැලකෙන මැක්සිම් ගෝර්කි ගේඅම්මා කෘතිය කියවන්න හිතුණා. ‘අම්මා’ කෘතිය මැක්සිම් ගෝර්කි කියලා අපි හැඳින්වුවත්, ඔහුගේ නියම නම තමයි ඇලෙක්සේයි මැක්සිමොචිච් පෙෂ්කොව්. ඔහු රුසියන් ජාතිකයෙක්. මෙය රුසියානු බසින් කෙළින්ම පරිවර්තනය කර තිබෙන්නේ දැදිගම වී. රොද්රිගු මහත්මයායි.

විශ්ව සාහිත්යයේ උත්තම ගණයේ නවකතා අතර තිබෙන විශිෂ්ටතම නවකතාවක් ලෙසයි මෙය සැලකෙන්නේ. මැක්සිම් ගෝර්කි නවකතා, කෙටි කතා බොහෝ ප්රමාණයක් ලියා තිබෙනවා. ඔහුගේ ඒ කෘති අතරිනුත් හොඳ ම කෘතිය වෙන්නේ මෙයයි. මුළු විශ්වයේම කාගේත් ගෞරවයට, සම්මානයට පාත්ර වූ සංකල්පයක්, සංකේතයක් තමයි ‘අම්මා’ . මේ සංකල්පය තවත් ප්රබල කරන්න, මේ නවකතාවට හැකි වී තිබෙනවා.

රුසියානු සාහිත්යයේ බොහෝ පොත් පත් මම පරිහරණය කරනවා. ඒකට හේතුව, ඒවා සමාජයට, ජීවිතයට බොහොම බද්ධව යන කෘති වීමයි. මෙහි තිබෙන චරිතත් ඒ වගේමයි. ඒ චරිත, ඔහු සැබෑ ජීවිතයේ ඇසුරු කළ පුද්ගලයන් ඇසුරින් ගොඩනඟපුවා.

මෙහි සිත් ගත් අවස්ථා කිහිපයක්ම තියෙනවා. ඒ අතුරින් විශේෂයෙන් ම මේ ‘අම්මා’ කියන ප්රධාන චරිතය ඉතා ම ධෛර්යවන්ත කාන්තාවකගේ චරිතයක්. ඒ දිරිය මවගේ නම ‘නීලව්නා’. ඇගේ ස්වාමිපුරුෂයා කම්කරුවෙක්. ඔහු බීමත්ව පැමිණ වද හිංසා පැමිණුවා. තලා පෙලා දැම්මා. පසුව ඔහු මිය යනවා. ඔහු මිය ගියාට පසුව පුතායි, මේ අම්මයි තමයි ඉතුරු වුණේ. මේ පුතා කාලයක් සමඟ විප්ලවාදී ක්රියාකාරකම්වලට යොමු වුණා.
එතකොට මේ අම්මත් ඔහුගේ විප්ලවවාදී ව්යාපාරවලට අනුබල දීලා, ආශිර්වාද කළා. ඇය වෙස්වලාගෙන තමයි ඒ ව්යාපාරවල ප්රචාරක පත්රිකා රහසින් අරන් ගිහින් කර්මාන්ත ශාලාවලට, ගොවීන් අතට බෙදුවෙ. ඒ විදිහට වෙස්වලාගෙන යන අතරෙ, මේ මව නොයෙක් කරදරවලට මුහුණ පෑවා. කොහොමහරි මේ කතාවෙ අවසානයට තිබෙන සිද්ධියත් ඒ වගේ එකක්. රහස් පත්රිකා අරන් යනකොට , දුම්රියපොළකදී ඇය හසු වෙනවා. පොලිස් නිලධාරීන් ඇයට හොඳට ම පහර දෙනවා .
මේ සෑම අවස්ථාවකටම මේ දිරිය මව බොහොම එඩිතර කාන්තාවක් විදිහට මුහුණ දෙනවා. මෙහිදීඇගේ වීර්ය ඉතාමත් හොඳින් පළ කෙරෙනවා. මං මේ මවට බොහොම කැමැතියි. බොහොම ගරු කරනවා. කතාව පුරාම ගලාගෙන යන මේ දිරිය මවගේ චරිතය, කාන්තාවකගේ වීරත්වය මොනවට පැහැදිලි කරනවා.

සාහිත්යමය වැදගත්කම ගැන කතා කරනකොට, අපි කොහොමද තාත්වික දෙයක්, නිර්මාණයක් බවට පත් කරන්නෙ කියන එක ගැන හොඳ උදාහරණයක් විදිහට මේ කතාව දක්වන්න පුළුවන්. මෙහි සිටින මව සහ පුතා යන දෙදෙනාම, මනඃකල්පිත චරිත. ඒත්, ඒ චරිත ගොඩනගලා තියෙන්නෙ, ගෝර්කි ආශ්රය කළ සැබෑ චරිත ඇසුරින්. මේ මවගේ සැබෑ චරිත තමයි ආන්නා කිරීලොව්නාත්. පුතා වෙන්නෙ ප්යොතර් තලෝමොව්. මේ, ගෝර්කි ආශ්රය කළ සැබෑ චරිත දෙකක් . මේ මවත් විප්ලවවාදියෙක් විදිහට වෙස්වලාගෙන පත්රිකා ප්රචාරය කළා. ඇයත් වැන්දඹුවක්.
මෙලෙස නවකතාවේ දැක්වෙන ආකාරයට ගැටුමක් ඇතිවෙන්නෙ, 1902 සෝර්මවා නගරයේ මැයි දින පෙළපාළියේ ඇති වූ සිද්ධියකින්. තමා සැබෑ සිද්ධියේදී සැබෑ චරිතය, සිදුවීම් ඒ ආකාරයෙන්ම ලිව්වා නම්, ඒක වර්තාවක් වෙනවා. මේක නවකතාවක් බවට පරිවර්තනය කිරීම තමයි ගෝර්කිගේ තිබෙන සාහිත්යමය දක්ෂතාව. සැබෑ සත්ය සිද්ධි, තවත් එයට අදාළ සිදුවීම් සමඟ එකතු කරලා, තමාට අවශ්ය විදිහට ඒ චරිත, සිදුවීම් හැඩගස්වලා, සාහිත්යමය අතින් වැදගත් නිර්මාණයක් බවට ඔහු එය පත් කර තිබෙනවා.
ඕනෑම හොඳ කෘතියක් පාදක වෙලා තිබෙන්නේ සත්ය පසුබිමක. ලේඛකයා කරන්නේ, එම සිද්ධිය ආශ්රයෙන් කතාවක නිර්මාණය කරන එකයි. ගෝර්කි කරලා තියෙන්නෙත් ඒකයි.
ගෝර්කි මේ නවකතාව ලිව්වෙ 1906 දී අමෙරිකාවේදීයි. ඒ ඔහු රටින් පැනගොස් සිටි අවස්ථාවක. මේ පොතේ තියෙන්නෙත් ඒ කාලෙ විප්ලවයට කරන අනුබලදීමක් වගේ දෙයක්. ජනතා නැගීමට රුකුලක් ලබාදීමත්, රුසියානු රජයට හා සාර් පාලනයට එරෙහිව 1917 ශ්රේෂ්ඨ ඔක්තෝබර් විප්ලවය මඟින්, අවසානයට ඒ ව්යාපාරයේ සාර්ථකත්වය පෙන්නුවේ. මෙය තත්කාලීන සමාජයේ ගමන් මඟට විශාල ධෛර්යක් වුණා.
දැනට මේ පොත විදේශීය භාෂා සිය ගණනකට පරිවර්තනය වෙලා තිබෙනවා. පිටපත් කෝටි ගණනින් අලෙවි වී තිබෙනවා. කාලීන බව, නවකතාවක තිබෙන වැදගත්කමක්. මේ කෘතියෙහි එය නො අඩුව තියෙනවා. මෙය, එදා වගේම අදටත් මිනිස්සු අතර රැඳී පැවතිලා තිබෙන කෘතියක්. අදටත් මිනිස්සු කියවනවා. මෙහි, එකල සමාජ තත්ත්ව හොඳින් පැහැදිලි කෙරෙනවා.
මෙහි ‘අම්මා’ චරිතය කාන්තා විමුක්තියේ සංකේතයක්. ඒ වගේම වෙනත් නවකතාවල මෙන් ආදර සම්බන්ධතාවලට වැඩි ඉඩක් වෙන් කරලා නෑ. මේ පුතාටත් පෙම්වතියක් සිටියා. ඒ සෑම චරිතයක්ම විප්ලවකාරී චරිත වුණා. මේ පුතාගේ විප්ලවකාරී ක්රියාවලට ඇයත් උදවු කළා. මෙය තනිකරම විප්ලවීය සාහිත්ය කෘතියක් වුණාට, තත්කාලීන සමාජයක් සමඟ බද්ධ වෙලා, සර්වකාලීන සාහිත්යමය අංගයකින් යුක්ත කෘතියක් බවට පත්ව තිබෙනවා. එහි තිබෙන රසය, කාලයාගේ කඩතුරාවෙන් වැහිලා ගිහින් නෑ. ඒ රසය අදටත් තියෙනවා.

යම්කිසි කෘතියක් වැදගත් වෙන්නෙ, තත්කාලීන සමාජයේ තිබූ දේ, සමහරවිට වර්තමාන සමාජයටත් ගැළපෙන නිසයි. අද පාලක පන්තියේ තිබෙන දූෂණ ක්රියා, එකල තිබුණා. කම්කරුවන්ට පීඩා කරන සිදුවීම්, ගොවීන්, වතු කම්කරුවන් වතු හිමියන් විසින් සූරා කෑම, හමුදා ක්ෂේත්රයේ තිබෙන විවිධ දූෂණ ක්රියා ආදිය පිළිබඳ මේ කෘතියෙන් පැහැදිලි චිත්රයක් ලබා දෙනවා. වර්තමාන සමජයේ ඇතැම් පැතිකඩ දිහා බැලූවහම, ඒ සිදුවීම් ඒ ආකාරයටම සිද්ධ වෙන බවක් අපට පෙනී යනවා.
පාඨකයාගේ ජීවන දෘෂ්ටිය පුළුල් කිරීමට මෙබඳු කෘති බෙහෙවින් ඉවහල් වෙනවා. මේ කෘතියෙහි තිබෙන දේ, අපිත් අද මුහුණ දෙන සිදුවීම්වලට සමානයි. පාඨකකකයන්ගෙ බුද්ධියේ නිම් වළලු පුළුල් වීමට මෙවැනි කෘති ඉවහල් වෙනවා. පුද්ගලයාගේ යහපත උදෙසා සමාජය වෙනස් කරන්නේ කොහොමද? කියන කාරණය ගැන ඉඟියක්, මේ මඟින් ලබා දෙනවා. පාඨකයා තව තවත් වැඩියෙන් යමක් සිතන්නට මෙහෙයවනවා. මෙහි එන කතාව, සුරංගනා කතාවක්වත්, බොළඳ නවකතාවක්වත් නෙමෙයි. ඊට වඩා ජීවිතය ගැඹුරින් විනිවිද දැකීමක් සිද්ධ වෙනවා.
උපුටා ගැනීම: #TW_Stories