මගේ තාත්තාගෙ උපන්දිනය අප්‍රේල් 18 වෙනිදා. ඉතින් ගිය ඉරිදා මගේ දුව උදේම කෝල් කරලා සුදු සීයා මතක් වුනා කිව්වම, මට දුකක් සහ සතුට මිශ්‍ර වුනු හැඟීමක් ආවා. දුවට සීයාගේ උපන්දිනය මතක් වීමත්, පියාගේ වියෝවත් එයට හේතු විය. ඔහු සතුටින් සහ පිලිවෙලකට ජීවත් වූ කෙනෙක් විය.
ඔහු මිය ගිය දිනයේත් රෑ යහලුවන්ට සාදයක් ලෑස්ති කර තිබුනි. ඔහුගේ සාදයට එක අයියා කෙනෙකුගෙන් විස්කි එවන ලෙස ඉල්ලා, අනික් අයියාට කියා බ්‍රැන්ඩි බෝතලයක් ඉල්ලා සිටියේ ඔහු බ්‍රැන්ඩි පමනක් පානය කරපු නිසයි.
ගෙදර සහ වත්ත පිලිවෙලකට තැබීමට අවශ්‍ය නිසා, වත්ත සුද්දකරවමින් සිටියදී, ගෙදර වැඩට හිටපු මනුස්සයට කියා ගලක් නියම ස්ථානයේ තැබීමට උත්සාහ කලත් එය ඔහුට උවමනා විදියට සිදු නොවුනු නිසා, ඔහු පහත් වී ගල ඔසවන විට පපුව රිදෙන්නට විය. ඔහු ගොස් හාන්සි පුටුවේ වාඩි වී තමාට හෝර්ලික්ස් එකක් ගෙනෙන ලෙස අර මනුස්සයාට කියා, ඇස් දෙක පියාගත්තේ ය. ඔහු හෝර්ලික්ස් එක රැගෙන එන විට, තාත්තා සදහටම ඇස් දෙක පියාගෙන තිබුනි.
මම ලංකාවට ගොස් පැය ගානකට පසුව නවසීලන්තයේ වෙසෙන පුංචි අක්කා සහ නංගීත් පැමිනියෝ ය. අපි සියලුම සහොදරවරු අවසන්වරට එකතු වූයේ ඒ දවස් කිහිපයේදීයි.
අවමංගල කටයුතුවලින් පසුව දවසක, මම යාලුවෙකු හමු වී ගෙදර එනවිට සියලු දෙනාම සාලයේ වාඩි වි සිටිය හ.
මම එතනට ගිය විට පානි අයියා නැගිට
‘මල්ලි වෙලාවට ආවේ. අපි දැන් දේපොල බෙදා ගෙන ඉවරයි. ඔයා හිටපු නැති නිසා ඔයාට මුකුත් නැහැ.
නමුත් දැන් මේ පටන් ගන්න යන්නෙ අවමංගල කටයුත්තට ගිය වියදම්. දැන් ඔයා ඉන්න නිසා අපි වියදම හත් දෙනා ගානට බෙදා ගමු’ කිව්වෙ අපි හිනා ගස්වමින්.
‘එහෙම හරි යන්නේ නැහැ. මම බාලම පුතා. ගේ අයිති වෙන්න ඕන මටයි’
කිව්වෙ විහිලුවට බව කවුරුත් දැන ගෙන උන් හ.
නංගී සහ පුංචි අක්කා ආපසු යන දිනට කලින් දින,
නංගී බැලීමට ආ යෙහෙලියක් ලස්සන තේ පැකට්ටුවක් ගෙනාවේ ඇයට එය නවසීලන්තයට රැගෙන යන්න හැකි වේ යයි සිතා ගෙනයි. නමුත් ඇයගේ සූට්කේස් පිරී තිබූ නිසා ඇය එම තේ පැකට්ටුව සාලයේ මේසය උඩ තැබුවා ය. පුංචි අක්කා එය දැක ‘එහෙනම් මම ඒක අරන් යන්නම්’ කියා කිව්වත් එය ඇසුනේ මට පමනි.
එදා සැන්දෑවේ අපි තේකක් බොමුද කියා කෙනෙක් යෝජනා කල විට, නංගී අප සැමට තේ සාදා දුන්විට අපි කවුරුත් තේ එකේ රසය වර්නනා කොට ස්තුති කලෙමු. ඉන්පසු පුංචි අක්කා සූට්කේස් පැක් කිරීමට ඇතුලට ගොස් මදක් හයියෙන් කෑ ගසන නිසා ඇතුලට ගිය අපට අක්කා සහ නංගිගේ රංඩුව පෙනුනි.
‘ඇයි ඔයා මම අර යන්න තිබුනු තේ පැකට් එක කැඩුවෙ’
‘කවුද ඒක දන්නෙ? අනික ඒක මගේ යාලුවෙක් නෙ ගෙනාවෙ. කාගෙන්වත් අහන්නෙ මොකට ද?’
‘ඒ උනාට මම කිව්වනේ ඒක මම ගන්නව කියලා. එහෙම කියලත් නේ ඔයා එහෙම කලේ’
‘මට ඔයා කිව්වෙ නැහැ’
ඔය රංඩුව අස්සේ පානි අයියා මැදට පැනලා කියනවා
‘ලඟ ගෙවල්වල අය හිතාවි අපි දේපොල බෙදා ගන්න රංඩු වෙනව කියල. තේ ඉඩමකට තමයි අක්කලා නංගිලා රංඩු වෙන්නෙ කියලා තේ කියන වචනෙ ඇහෙන නිසා’
යලිත් ඒ දෙන්නා ඇතුලුව හැමොටම හිනා යෑම නිසා, රන්ඩුව එතනින් කෙලවර විය.
හත් දවසේ දානයෙන් පසු, සියල්ලන්ම විසිරී ගිය පසු ගෙදර ඉතිරි වී සිටියේ ලොකු අක්කාත් මාත් පමනි. එදා හවස පහට පමන හුලඟක්වත් වැදෙන්න ඕන කියා, ඉස්සරහ විසාල ගේට්ටු දෙක ඇර මා පාර ලඟට වී හිටගෙන ඉන්නා විට, වාහනයක් නතර විය. එහි සිටි තරුන යුවලක් වූ අතර, බිරිඳ දොරේ වීදුරුව පහලට කර මගෙන් මෙසේ ඇසුවා ය.
‘මේ ගෙදර ඉන්න සීයද නැති උනේ? මේ සුදු කොඩිය දැකලයි කාර් එක නතර කලේ’
‘ඔව් එයා තමයි’
‘අනේ අපි පහු ගිය දවස් ටිකේ මෙහේ හිටියෙ නැහැ. ඒක නිසා දැනගෙන හිටියෙ නැහැ’
‘ඒ මගේ තාත්තා. ඔයාලා එයාව දන්නව ද?’
‘ඔව් හොඳට දන්නවා. එයා හරි ජනප්‍රියයි මේ පැත්තේ. අපි ලෙඩක් එහෙම කිව්වොත් එයා අපිට නොමිලේම තමයි බෙහෙත් දෙන්නේ’
කියා කඳුලු පිරුනු දෙනෙතින් කී විට, මා යටපත් කරගෙන උන් ඔහුගේ වියෝවීමේ දුක යලිත් එලියට ආවේ මගේ දෑස්ද යලිත් කඳුලෙන් තෙත් කරවමින්.
ලොකු අයියා ඔහුට ලැබෙන සාම්පල් බෙහෙත් තාත්තාට දී ඇති අතර, තාත්තා ඒවා ගමේ අයට බෙදා ඇති බව දැන ගත්තේ ඇයගෙනි. ඒ වගේම ඔහු වයස සීමාවක් නැතිව කවුරුත් එක වගේම ආශ්‍රය කර ඇත. මට ඒ ගතිගුනය ඔහු අඩුවක් නොමැතිව දී ඇති බව හැඟී ගිය විට, කඳුලු අතරින් හසරැල්ලක් මගේ මුවගට නැගුනි.
උපුටා ගැනීම: Devapriya Siriwardena