හරි අපි මේක මෙහෙම පටන් ගමුකො. මීට කලින් කාටවත් කියල නැති කතාවක් මේක. මේක මම ඒ ලෙවල් කරන කාලෙ වෙච්චි සිද්ධියක්. ටිකක් රසවත්. මට නම් සෑහෙන්න රසවත්.
අපි ඒ ලෙවල් කොරන්න යන්නෙ අපි කැමති සබ්ජෙක්ට් පාත් එකක් තෝරගෙනනෙ. ඔය වගේ මමත් මම කැමතිම පාත් එක වෙච්චි කෘෂි විද්යාව තෝරගත්ත. ඕකෙ අනිත් සබ්ජෙක්ට් දෙක තමයි ජීව විද්යාවයි රසායන විද්යාවයි.
ඔය තුනෙන් තුනම ආසාවෙන් කොරන්න පටන් ගත්තට මොකෝ අන්තිමට මැදක් වෙනකොට මට ජීව විද්යාවයි රසායන විද්යාවයි නයාට අඳුකොල වගේ උනා. ජීව විද්යාව කමක් නෑ කියමුකෝ. පාඩම් හරි කොරන්ඩ පුලුවන්. ඒත් රසායන විද්යාව, ඒක වෙනම ලෙවල් එකක්නෙ. කර ගත්තොත් ගොඩ ගියා නැත්තන් කෙලවුනා වගේ සබ්ජෙක්ට් එකක්නෙහ් ඒක.
අපිට ඒ කාලෙ ඉස්කෝලෙන් උගන්වන ටික මදි හින්දා රැල්ලට වගේ ටියුසන් යනවනෙ. ඔය වගේම මාත් පංති තුනකුත් තෝරගෙන යන්න පටන් ගත්ත. මම ටියුසන් ගියේ කෑගල්ලෙ. බයෝ පන්තියයි ඇග්රි පන්තියයි තිබ්බෙ ඉරිදට. සෙනසුරාදට තමයි මම මුලින්ම කැමැත්තෙන්ම ගියපු කෙමිස්ට්රි පංතිය තිබ්බෙ.
පංතිය පටන් ගන්නෙ අටට. ඉවර වෙන්නෙ දහයට. පැය දෙකයි. මුලින් මුලින් හෙන ගැම්මෙන් ගියා. ටිකක් මැද්දට උගන්නගෙන යනකොට මටම තේරුනා මේ මොන හත්ඉලව්වෙ සබ්ජෙක්ට් එකක්ද කියල. ඇයි යකෝ සංසාරයක් තේරෙන්නෙ නැතුව ගියානෙ. කොහෙ හරි මිස් උනා.
මටම තේරුනා මේක මෙහෙම කරලනම් ගොඩ යාමක් නෑ බබා හම්බෙනව තමයි කියල. ඕකෙන් මේකෙන් මම ඒ පංතිය වල බහින්න පුරුදු උනා. කෙමිස්ට්රි කොරපු හරියක්. වහකදුරු වගේ උනා කෙමිස්ට්රි කීවම. හැබයි දෙයියනේ කියල මම අනික් දෙකටනම් පංති ගියා.
ඔය අතරෙ තමයි මේකෙ චරිතෙ සීන් එකට එන්ටර් වෙන්නෙ. අපි උට වීරයා කියල කියමුකො. නම කියන්න හොඳ නෑනෙ. බොක්කනෙ. මූ ඒ ලෙවල් කරන්න අපේ ඉස්කෝලෙට අලුතෙන් ආපු ඩයල් එකක්. මේකගෙ මූනෙ පෙනුම ළඟින් ගියත් නෙලන්න හිතෙන ජාතියෙ එකෙක් වගේ පෙනුමක් . කිසිම හැඟීමක් පෙන්නන්න නෑ ඒ මූනෙ කිසිම වෙලාවක. හිනා උනත් තරහ ගියත් එකම මූන කිසි වෙනසක් නෑ.
අපේ ඉස්කෝලෙ අපේ පංතියෙ සේරම උන් මම ඇරුනම අලුතෙන් ආපු එවුන්. මම විතරයි පරණ එකම එකා. එක වල්ලෙ පොල් එක මල්ලට වගේ මේකව ඉස්කෝලෙත් වැටුනෙ මගේ ලගටමයි. ඒ දවස්වල මුලින් මුලින් එතරම් ෆිට් එකක් තිබුණේ නැති උනාට මේ කෙමිස්ට්රි කෙරුවාව හින්දම අපි බොක්කවල් දෙකක් උනා. මුටත් වෙලා තිබ්බෙ මට වෙච්චි සැන්තෑසියමයි. කෙලවෙලා නැති නන්නත්තාර වෙලා ගිහිල්ලා තිබ්බෙ කෙමිස්ට්රි. ඔය හින්දම අපි දෙන්නම ඩබල් එකේ තමයි වල බහින්න පුරුදු උනේ.
අපි ඉතින් ඔය වල බහිනව කියල කොරන්නෙ ඒ කාලෙ ගොඩක් උන් කොරනව වගේ කුඩු ගංජා ගහනව වගේ වැඩ නෙවේ. පැය දෙකේ වලක්නෙ බහින්නෙ. ඒ හින්ද ඒ කාලෙ කෑගල්ලෙ උඩහ බස් ස්ටෑන්ඩ් එක ගාව තිබ්බ තෝසෙ පොට් එකක්. අදටත් තියේ. දන්න උන් දන්නව පොට් එක. ඔන්න ඕකෙන් තෝසෙ පාරක් දාල එතනම එහා පැත්තෙ තියනව පොඩි කඩ පිලක්. ඔන්න ඔතෙන්ට වෙලා කෙල්ලො බලන එක තමා කොරන්නෙ පැය දෙකක් යනකන්.
කෙල්ලො බලනව කියන්නෙ ඉතින් ඒ කාලෙ කෙල්ලෙක් දැක්කම අපේ පුන්සද මෝදු වෙලා චැසි ඇදවෙන කාලෙනෙ. ලස්සන කෙල්ලෙක් දැක්කම නිකන් ඔටෝ චූන් වෙන සීන් එකක්නෙ ඒ කාලෙ. ඔය දවස්වල අපි දෙන්නගෙ වැඩේ ඒ කඩ පිල ගාවින් යන කෙල්ලන්ගෙ ලොකුම පස්ස ලොකුම පපුව හිරම ඩෙනිම වගේ තේරීමේ තරඟ තියන එක තමයි.
සෙනසුරාදට කෑගල්ල කියන්නෙ ඉතින් ඇම්බැක්කෙත් නැති කැටයම් තියන පොඩි පොඩි හිච්චි කෙල්ලො ගැවසෙන දවසක්. පැය දෙකක් යනකන් වෙන වැඩකුත් නැති එකේ ඕව බලන එක තමා අපේ රාජකාරිය.
සමහර කෙල්ලන්ගෙ මෝස්තර නිකන් ඇම්බැක්කෙ කනු වලින් ගලවන් ආපුව වගෙයි. ඒ තරම් කැටයම්. සමහර කෙල්ලො හිරට හිරේ ඩෙනිම් ගහගෙන වක කොක්කු වගේ ඇවිදගන්නත් බෑ. සමහර එවුන් අපි බලනව වගේ දැක්කම අහවල් එක නලලට අරන් වගේ තමයි යන්නෙ. ඇවිදීමේ ඉදන් සේරම ඉරියව් වෙනස් වෙනව උන්ගෙ. අපිට ඉතින් හෙන ආතල්.
අපි දෙන්නටම යාලු කොරන් හිටිය කෑලිත් හිටියෙ නෑ. ඒ බාට දෙහෙකුත් දාගෙන කෙට්ටු කකුල් තියන ඩෙනිමකුයි හිර ටී ශර්ට් එහෙකුයි සිරිමල් වගේ කොන්ඩෙකුයි කෙට්ටු කවකටු ඇඟකුයි තියාගෙන මොන කෑලිද බං අපිට. ලොන්තයො ඩබලක් වගේ.
ඔයින් මෙයින් මට මතක හැටියට ඔක්තෝබර් මාසෙ සෙනසුරාදාවක්. එදා තමා මට හොඳම යාලුවා කියන්නෙ මොකාද කියල තේරුන දවස. අපි සුපුරුදු පරිදි තෝසෙ පාරක් දාල සුපුරුදු විදියට කඩ පිලට වෙලා කෙල්ලො බල බල ඉන්නකොට මම නිකමට මගෙ මෙහා පැත්තෙ හිටපු අතිජාතය දිහා බැලුවා.
මෙන්න යකෝ මේකා කට ඇරගෙන පාරෙ එහා පැත්තෙ ස්ටෑන්ඩ් එක දිහා බලන් ඉන්නව ඇටි කෙහෙල් දැකපු රිලවෙක් වගේ. මම ඇහුව එක පාරටම ඌ දිහා බලලා.
“කොහෙද බං බලන් ඉන්නෙ.කෙල පෙරාගෙන.පෙරේතයෙක් වගේ” කියල.
මූ කියපි ” අඩෝ අර ස්ටෑන්ඩ් එකේ ඉන්න කෑල්ල බලපන්කො. හම්මේ බං ඒක” කියල.
මාත් ඉතින් අවදානෙන් බැලුව. එතකොටනෙ යකෝ කෑල්ල දැක්ක. අද මේ මොහොත වෙනකන් මම දැකල තියන ලස්සනම කෙල්ල තමයි එදා එතන හිටියෙ. කලුයි දුඹුරුයි ගවුමක් ඇදල පත්තිනි අම්ම වගේ තමයි පෙනුම කියලත් හිතුනා. මගෙත් කට ඇරුනා ඒ කෙල්ල දැකලා. හැබැයි මගෙ අවදානෙ ගියේ ඊට පස්සෙ ඒ කෙල්ලට පිටිපස්සෙන් හිටපු තවත් වාමන පෙනුමක් තියන කොල්ලො සෙට් එකකට. මුන් ටිකත් ඒකිට ඇල්ම බැල්ම හෙලනව. අරකිත් හිනා වෙවී ආතල් එකේ ඉන්නවා.
“අඩෝ ඒකිව මට ඕනි බං”
අම්මට සිරි වෙනව. මම බැලුව මොකාද යකෝ ඒ කියල. බැලින්නම් මගෙ යාලුව. මම මට වැරදියට ඇහුනද සැකේට ආයෙ ඇහුවා.
“මොකද්ද බං” කියල.
“අඩෝ ඒකිට හිත ගියා බං. මගෙ නම්බර් එක දෙන්න යමන්කො ඒකිට” කියල ඌ කියපි.
මේ මොන මල මගුලක්ද මේ කියල මම බැලුවා. මේකගේ අහවල් එව්ව සේරම කර වෙලා වගේ මට හිතුනෙ. ජීවිතේට හිතුවෙ නෑ මූ මෙහෙම කියයි කියල. ඇයි යකෝ හෙන මලානික බඩුවක් වෙනදට මූ.
මම ඇහුව ” බොට පිස්සුද යකෝ. මෙන්න මෙහෙට වෙලා හිටපන්. මුලින්ම ඇස් දෙකෙන් විඳගනින්. දවසක් දෙකක් බලල ඕකට එන්ටර් වෙමු” කියල.
එතකොට මේකා කියපි.
“පිස්සුද යකෝ එතකොට මේකිව මොකෙක් හරි ඔතන් ගිහින් තියෙයි. බලපන්කො බොරුනම් දැනටත් පිසාච සැට් එකක් වැඩේට බැහැල ඉන්නෙ. අඩේ උඹ මගෙ බොක්කනෙ යමන්කො බං දෙන්න” කියල.
මම ඉතින් දෙපාරක් තුන් පාරක් කල්පනා කරල කිව්වා.
“හා යමන්කො. හැබැයි හොදට බලපන් අපිට ගේමට සෙට් එහෙකුත් ඉන්නවා. ඒකටත් ලෑස්තිද ? ලෑස්තිනම් මම පස්සෙන් එන්නම් උඹ නම්බරේ බැරිනන් ඕනි මඟුලක් දීපන්” කියල.
මෙන්න මේකා කියපි.
“බය වෙන්න ඕනි නෑ බලපන්කො උන්ගෙ හැටි. දරමිටි වගේ. මටත් සෙට් එක ඉන්නවනෙ ගේමක් සෙට් උනොත් ගසමු හොදි බේරෙන්න. ඒත් ඩේ මේ උඹ නම්බරේ දියන්කො ගිහිල්ලා මම ලගින්ම ඉන්නවනෙ. ටෝක් කොරන එකාම නම්බරේ දෙන එක චාටර් වගේ බං. අනික බොක්කනෙ බං උදව්වක් විදියට උඹ කොරල දියන්කො මේක” කියල.
මට ඒ කතාවට කටින් නෙවේ හිනා යන්න ආවෙ. සෙට් එකක්. සෙට් එකක් කොහෙද යකෝ මුට. ගමේ ගෙයින් එලියට බහින්නෙ නැති ලමිස්සි වගේ ඩයල් එකක් මූ. මුගේ හිතේ මං දන්නෙ නෑ කියල. මාත් එච්චර තමයි. ඒත් කොහෙද මාත් ඉල්ලන් කන්න රුසියනෙ. මේකා මං ලව්වා කොස් ඇටේ බාවන්ඩ හදන්නෙ කියන එක එවෙලේ ගානක් ගියේම නෑනෙ. ඉතින් මාත් කියපි.
“හා හරි ගේමක් සෙට් උනොත් ගේමටම යමු. අපි මොකෝ ගුටි කන්න සෙට් නැතුවැයි අපිටත්. නෙලමු ඉස්ම යන්න” කියල.
ඌත් දන්නව ඇති මටත් ඇති සෙට් එකක් නෑ කියල. කොහෙද මුගෙ මූනෙ කිසි හැඟීමක් නෑනෙ අදහසක් ගන්නවත්. මූසලයා.
ඇත්තටම අපි එවෙලේ කොරගත්තෙ අහිංසක විදියට වැඩේට ඕනි විදියට අපේ මදාවි මොරාල් අප් කොරගත්ත වගේ වැඩක්.
අන්තිමට මූ කොහොම හරි නම්බරේ දෙන්න මාව කැමති කොරගත්ත. තෝසෙ දෙකයි වඩේ එකයි ප්ලෙන්ටියක පගාවට. පෙරේතකම ලොකුයිනෙ. මම ඉතින් ඊට පස්සෙ වීරයා වගේ කිව්වා.
“හා යමන් ඉක්මනට වැඩේ කොරගෙන එමු” කියල.
ඊට පස්සෙ නම්බරෙත් කොලේක ලියාගෙන පාරත් පැනල දුටුගැමුණු එළාරට වැඩේ දෙන්න විජිතපුරේට යනව වගේ කෙලින්ම පට්ට මොරාල් එකේ ගිහින් කෙල්ලට අඩි දහයක් විතර මෙහායින් ස්ථානගත උනා.
යකෝ මේකිගේ ලස්සන . සමහර කෙල්ලො වගේ දුරට ඇපල් ළගට පැපොල් වගේ නෙවේ. ඒකි දුරටත් ඇපල් ළඟටත් ඇපල්. එතරම් ලස්සනයි. කොහෙද මටත් හිත ගියා. ඒත් අරූ කලින් කීවනෙ. ඒ හින්දා මිත්රද්රෝහී නොවී උට වැඩේ කොරල දෙන්න කියල හිත කීවෙ.
දැන් තමා වීරයගෙ වැඩේ. ආවට මොකෝ දැන් තමා බොක්කෙ බිත්තර තැම්බෙන්න ගත්තෙ. මේකි නම්බරේ ගනීද බනීද ගහයිද කවුද දන්න. මොකෝ කලින් නම්බර් දීපු එවුන්වෙයි අපිත්. ගැහුවොත් එහෙම හතර විලිලැජ්ජාවයි මැරිච්ච උනුත් හිනාවෙයි මට. අරූනම් මොකෝ ඌ නෙවේනෙ ලැජ්ජ වෙන්නෙ.
ආව මොරාල් එක හැඳිගෑවිලා ගියා කෙල්ල ළඟට ඇවිත් මොහොතින්. මම පස්ස ගහගෙන එනව වගේ පෙනුනු හින්දද කොහෙද මගෙ යාලුවා කියපි.
“හරි බය නැතුව ගිහින් දියන්කො. ඕනි මගුලකට මම ඉන්නව බං බයවෙන්න එපා” කියල.
හරි ඕනි මගුලක් වෙච්චි දෙන්කො කියල මම නම්බරෙත් අරගෙන කෙල්ලට ලං කොලා. ලං වෙන්න වෙන්න කකුල් දෙක ආපහු දුවපන් දුවපන් කියනව වගේමයි දැනුනෙ. කොහෙද ඉතින් වලං හත අටක් අටවන්න පුලුවන් තරම් මැටි තියන මොලෙයි වීරෝදාර පපුව මැද්දෙ තිබ්බ හරක් හදවතයි එකට එකතුවෙලා ඕක දියන් ඕක දියන් ගේමනම් ගේම කියනව වගෙමයි ඇහුනෙ. කකුල වගේයැ මොලෙයි හදවතයි.
කෙල්ලට අඩි තුනක් විතර ළං වෙනකොට ඒකිට පිටිපස්සෙන් හිටපු කොල්ලො සෙට් එකේ පැහැදිලි වෙනසක් මම දැක්කා. උන් ටික නිකන් දෙබරෙකට ගලක් වැදුන වගේ කසු කුසුවක් පටන් ගත්ත. ඒ අස්සෙම එකෙක් පෝන් එහෙකුත් අරන් කොනකට වෙනවත් දැක්කා. ඒ දැක්කට ඒක හිත හිතා හිටියෙ නෑ. අන්තිම ටිකනෙ සැනින් කෙල්ල ළඟට ලං උනා නම්බරේ දික් කොලා.
“නංගි මේක ගන්න ඉක්මනට” කියල කිව්වා.
කෙල්ල නිකන් කොර වෙලා ගියා. උන්දැගෙ ඇස් දෙක ලොකු උනා. කට ඇද උනා. ඒකිට “අයියා” කියලත් කියවුනා.
“නංගි මේක ගන්..”
දෙවනි පාර කියන්න හම්බුනේ ඔච්චරයි කිරි පුතේ. එක පාරට අපායෙන් ආව වගේ.
“අඩෝව් තෝ පරයා දිව්වොත් හොයන් ඇවිල්ල බාවනවා.ඔහොම නැවතියන් ඔතනම”
මොන දිවිලිද සාන්ත. ඒ කටහඬට මල මූත්ර පිටවුණේ නැති ටික විතරයි මට. හිටි තැනම ගල් ගැහුනා මාව. පොඩ්ඩක් හැරිල බලනකොට තමයි චරිතෙ දැක්කෙ. හම්මේ උගෙ සයිස් එක. උගෙ අතක් ඇති මගෙ මුලු කකුලම විතර. මේකා ජිම් එකක් පිටින් ගිලපු එකෙක් වගේ. සමහරදාට මායි මගෙ යාලුවයි මූව දැකලත් තියේ. එතකොට මමම කියලත් තියේ.
“අඩෝ අරූගෙ අතකින් පාරක් කෑවොත් එතනමයි ඈ” කියලත්.
කවුද හිතුවෙ කීවට ඒ කෑම වේල මටම සෙට් වෙයි කියලා. දෛවයේ සරදම්.
“කොල්ලනේ ඔන්න ඕකව වට කොරල අල්ලගන්”
කියල අර කලින් කෙල්ලට පිටිපස්සෙන් හිටපු කොල්ලො ටිකට කියන ගමන්ම මූ මගේ බෙල්ලෙන් අල්ලගත්ත. හම්මේ බෙල්ල. එතකොට තමයි මට සිහි එලවුනේ.
අර කොල්ලො ටික මේකිව ටෝක් කොරල නෙවේ. ඒ ඒකිගෙ අයියගෙ යාලුවො සෙට් එක. එතකොට මේකා ඒකිගෙ අයියා. බඩුම තමා.
“මොනවද යකෝ මගෙ නංගිට කොල කෑලි දික් කොරන්නෙ. ඉගෙනීමක් නැති කාලකන්නි හැත්ත”
කීව විතරයි “චටාස්” කන කීං ගෑව මතකයි. අරූ බෙල්ලෙන් අල්ලගත්ත හින්දා වෙන්ඩැති ඒ පාරට නොවැටී බේරුනේ. පාරෙ සැරට මල ගිය ප්රාණ කාරයො දෙතුන් දෙනෙකුත් දැක්කද මන්දා හීනෙන් වගේ. ඒ එක්කම වටේ හිටපු කොල්ලො ටික වටවුනා මම තනි වුනා. කිසි අනුකම්පාවක් නෑ ඕයි. හනුමා කොස් කොටනවා ඊට වඩා සාන්තව. එහෙමයි උන් මට නෙළුවේ. මම යන්තම් ඔලුව අල්ලගෙන පාත් උනා විතරයි. එක දිගට විනාඩියක් දෙකක් උන්ගෙ හොටලේ තියෙන්න ඇති. බඩ කොර වෙලා ගියා. එතකොටම ඇහුනා
“ඔය ඇති ඕකා මැරෙයි” කියලා.
හෝටලේ නවතිනකොටම අරකිගෙ අයියා බෙල්ලෙන් අල්ලගෙන ආයෙ කියපි.
“තෝව ආයෙ මේ හරියේ දැක්කොත් ඒම මකනව දැනගනින්. දැන් පල යන්ඩ පර බල්ලා”
කියලා පයිනුත් එකක් ගැහුවා. මොන දිවිලිද අඩේ. බඩ කොර වෙලා හිටියෙ. හෙමීට හෙමීට ආපහු පාර පැනල තෝසෙ කඩේ අයිනෙ කඩපිලේ ඉඳගත්තම තමා මගෙ යාලුවා මතක් උනේ. ඕනි දේකට එන්නම් කියපු එකා හොයාගන්නත් නෑ. පරයා. මේකට කෝල් කොලා ආන්ස්වර් කළෙත් නෑ. විශ්වාස කොරපන්. මේකා මට අරුන් නෙලන ටිකට ගෙදරත් එන්න ඇවිල්ලා. ආයෙ හම්බුනේ සඳුදා. සඳුදා ආව ගමන් මේකා මගෙන් ඇහුවෙ මොකද්ද දන්නවද ?
“මචං උඹ නම්බරේ දුන්නද බං ?”
මූ ඒක ඇහුවෙ මොන හැඟීමකින්ද කියලවත් දැනගන්න විදියක් නෑ. මොකද මේ පරයගෙ මූනෙ හැඟීම් ප්රකාශනයක් නෑනෙ. මට මල පැනපු පාර උගෙ මැරිච්ච කිරි කෑ මුත්තගෙ ඉදන් පරම්පරාවම දාල කුනුහරුපෙන් බැන්නෙ උට. ඒ ටික ඇහුනනම් වල පල්ලෙ හිටපු උනුත් ආයෙ නැගිටිනව. සේරම කියනකනුත් මූ සේරම අහන් ඉඳලා අන්තිමට කිව්ව.
“හරි බං නම්බරේ දෙන තැනට වෙනකන් හරි මම ආවනේ බං” කියලා විතරයි.
මට මුට කියන්න දේවල් මදි උනා. අන්තිමට. මාසයක් යනකන් කතා කොලේ නෑ. කොහෙද අන්තිමට තරහවට වඩා බඩජාරිකම ලොකු උනානෙ.
තෝසෙ දෙකයි වඩේ එකයි ප්ලේන්ටියටයි සටන පාව දීල ආයෙ යාලු උනා. අදටත් ඌ මගේ බොක්ක. අදටත් සෙට් උනාම මාව නවනව මුන් ඕක කියල. විලි ලැජ්ජා හතයි. හැබැයි අද ඕව කියනකොට හෙන ආතල් මතක තමයි.
මේක මම කිව්වෙ මොකවත් නෙවෙයි. හොඳම යාලුවා කියන එකා පණ දෙන්නම් කීවත් පණ දෙන්නම් කීවත් විශ්වාස කොරන්ඩනම් එපා. උගේ තකතීරු වැඩ කරල දෙන්න යන්ඩත් එපා. උගෙ වැඩ උටම කොරගන්න කියාපල්ලා. එච්චරයි. සමාප්තයි.
උපුටා ගැනීම: Samitha B. Jayawardhana