බෝතල් මූඩිය… (ඉස්කෝලෙ කාලෙ රස කතා)

Share With Friends

Facebook
WhatsApp
Telegram
LinkedIn
Email
කොරෝනා කාලේ බිය අස්සේ…
හිත්පතුල අතගා මතකයන් පිරි මදිමි
නිල් පාට බෝතල් මූඩිය…
ජීවිතයේ සොදුරුතම මතකයන් අයත් වන්නේ පාසැල් කාලයටය.දශක කීපයක් පසුකරගෙන පැමිණි ජීවිත ගමන දෙස ආපසූ හැරී බලන්න.සතුට මුණ ගැසුණේ කොතනක දැයි බැලුවිට දුටුවේ පාසැල් කාලය තුලම නොවේද?
කරපු තරමක් කුප්ප වැඩ කලේම උසස් පෙළ කාලයේය.මෙකී සිදුවීම සිදුවූයේද 12වසරේ මැද දිනකය.අපට ඉංග්රීසි විෂය සදහා සිටියේ විශ්රාම ගන්නට ලග තරමක් වයසක සර් කෙනෙකි.ඔහු හීන්දෑරිය.උසය.හරීම කාරුණික ගුරුවරයෙකි. අපට ඉගැන්වීමට බොහෝ වෙහෙස මහන්සියක් ගත් අයෙකි. අපිවගේ අයට ඉගැන්වීම ලේසි පහසු නැති බව ඔහු දවසින් දෙකින්ම අවබෝධ කරගත් තේය.නමුත් ඔහු අප වන් යස්සනියන්ට ඉංග්රීසි විෂය උගන්නට ගත් මහන්සිය දකින විට අවංකවම මට දුක හිතුණු වාර නම් අනන්තය.
මගහැර පැනයා හැකි විෂයන් අතරින් මුලින්ම තිබුනේ ඉංග්රීසිය.මොකද සර් කාටවත් බනින්නේ නැත. ඒ අපිට ආදරයකට නම් නොවේ.ඔහු අපිට (ළමයි හැමෝටම) බයය.ඒ බය නම් අපරාදෙ කියන්නට බැරිය.හදිසියේවත් ළමයෙක් එකපාරටම පුටුවෙන් නැගිට්ටොත් සර් බයවී පස්සට පනින්නේය.ඒ ඔහුගේ හැටිය.
විෂය මගහැර පුස්තකාලගත වූවන්ද සිටියා මතකය.පන්තියේ කැමැත්තෙන්ම රැදුනු අයද සිටියහ.මම නම් කැමැත්තෙන්ම පංතියේ සිටියෙමි.ඔහුගේ අහිංසක මූණ දිහා බලන් හොරෙන් පනින්නට සිතුනේම නැත. සර් කැමති සිසුන් අතර මමත් සිටියෙමි.ඒ සර් දෙන ඉංග්රීසි රචනා නිසි ලෙස ලියවෙන්නේ මගෙන් කියා ඔහු සිතන නිසාය.වැඩියෙන්ම ලකුණු ලැබෙන්නේ ගෙදරදී ලියාගෙන එන ඒවා ටය.ඊට හේතුව දන්නේ නම් මා පමණි.
එකල අන්තර්ජාලයක් තිබුනේම නැත.ඒ ගැන මම දන්නේද නැත.නමුත් මගේ අන්තර්ජාලය වූයේ මගේ තාත්තාය.ඔහු උපාධි පාස් කරපු මහා ලොකු උගතෙකු නොවන නමුත් රජයේ පරිපාලන සේවා නිලදාරියෙකි.ඔහු පොත පතට බොහෝ නැඹුරු වූ අයෙක් නිසා ඔහුට යම් දැනුමක් තිබුණි.ඉංග්රීසි පිලිඹද ප්රාචීන පණ්ඩියෙක් නොවේ.සාමාන්ය දැනුමක් අත්තෙක් වුවත් සර් දෙන රචනාව මම සිංහලෙන් ලියා දුන් විට තාත්තා අපූරුවට එය ඉංග්රීසියට පරිවර්තනය කර දෙයි. සර් මට රචනාවට දීපු ලකුණු පිටුපස සිටියේ මම නොව තාත්තාය.ඒක දන්නේ තාත්තාත් මමත් පමණි.
මේ පාසලට මම පැමිණියේ පහ වසර ශිෂ්යත්වයෙනි.ඒ ආ දින සිටම මගේ හොදම යෙහෙලිය වුණේ ඩිලුක්ශිය. නමුත් උසස් පෙළදී වානිජ්ය විශය ධාරාවේම ඇය සංඛ්යානයත් මම තර්කශාස්ත්රයත් තෝරා ගත් නිසා පංති දෙකකට වැටුණි.
මෙකී දිනයේදී අපේ පංතියේ ගුරුවරයෙකු සිටියේ නැත.ඉංග්රීසි සර් හිටියේ 12B හෙවත් දිලුක්ශිගේ පංතියේය.එය අපේ පංතියට පසු පන්තියයි.ඇය චමී හා ඉදිරි පෙලේම සිටියාය.ඒ ගොඩනැගිල්ලේ පංති වෙන්ව තිබුනේ අපට වඩා මදක් උසින් තැනූ කෙටි බිත්ති වලිනි.
මටත් කියවන්නට නවල් එකක් නැත්නම් කොහොමත් නිකන් ඉන්නට බැරි අමාරුවක් තිබුනු ළමයෙකි.
එවෙලේද පොතක් නොතිබුනි.
මමත් දිලානිත් නයනාත් සිටියේ පංතියේ අන්තිම පේලියේය.මට සර්ව බය කරන්නට කුමක් හෝ කරන්නටම සිතුනි.
නයනා යනු ඇල්වතුරත් නිවා බොන නිවිච්චම ළමයෙකි.සාපරාධී ක්රියාවන්ට කිසිසේත් සහාය නොදෙයි.නමුත් අපරාදෙ කියන්නට බැරිය . දිලානි නම් යාලුවා නිසා නොකර බැරි කමට මගේ කුප්ප වැඩ වලට නොමද සහායක් දුන්නාය.
කරන්නට දේවල් දහඅතේ කල්පනා කලෙමු.අනිත් අයගේ අදහස්ද ගතිමු.එන අදහස් මගේ හිතට හරි යද්දි අනෙත් අයට හරියන්නේ නැත.අවසානයේ ලේසි පහසු ක්රියාවක් තෝරා ගතිමු.
ඒ ප්ලාස්ටික් වතුර බෝතලයකට බාගෙට වතුර පුරවා මූඩිය උඩින් තබා බෝතලය මිරිකූවිට මූඩිය වේගයෙන් ඉහල යයි.එය දිලුක්ශිගේ ඩෙස්ක් එක මතට පතිත කිරිම අරමුණ විය.සර් ට කලබල වන්නට පොඩි සද්දයක් හොදටම ඇතිය.
ඉගිල යන දුර නිගමනය කර ගන්නට අනෙක් අයගේ නොමද සහායත් ඇතුළුව පරීක්ෂණ නිරීක්ෂණයන් කීපයක්ම සිදු කලෙමු.වැඩේ සාර්ථකය.
මා කොරිඩෝව දිගේ ඇවිද ගියෙමි.චර්කලා දුශ්මන්තිලා සාවදානව පාඩම අසා සිටී.චමී හොරැහින් බලනු දුටිමි .දිලුක්ශි නම් මගේ දිහා බැලුවේ අමුතුවටය.මගේ හොර වැඩ ඇයට මීටර් වන්නේ සුරුස් ගාය.කොරිඩෝව දිගේ ගොස් සර් ඉන්න තැනත් දිලුක්ශිගේ ඩෙස්ක් එකට ඇති දුරත් හිතින් මැන ගතිමි. නැවත පංතියට පැමිණ නමෝවිත්තියෙන් මගේම වතුර බෝතලය අතට ගතිමි.දාන කෙහෙල්මලක් එකපාරම දැමිය යුතුය .ඒම් එක වැරදුනා කියා මූඩිය හොයන්නට යන්නත් බැරිය.
“ප්රෙස් කරපං .ප්රෙස් කරපං “
සද්දේ නොනැගෙන්නට කට්ටිය දෙන චියර් එකත් එන්න එන්නම වැඩිය.එකෙන් මගේ චූන් වීමත් වැඩිය.අතත් වෙව්ලයි. හරියන්නත් වරදින්නත් කරන දෙයක් එකපාරම කල යුතුය.හරි නොගියොත් චාටර් ය.ආත්ම ගරුත්වයටද හානියක් ය.නවනිංගිරාවක් ය.අපේ එවුන්ගේ නෝන්ඩියද විදිය යුතුය.හිතෙන් දෙයියන් යදිමින් මගෙ කැහැටු ඇගේ මුළු වෙරම යොදා බෝතලය මිරිකුවෙමි.
සාර්ථක ය.සාර්ථක නොව ඇත්තෙන්ම එය අති සාර්ථකය.
මූඩිය විදිල්ලක් මෙන් උඩීන් යනු පෙනුනි.වැටෙනවා නම් ඇහුනේම නැත.සර්ගේ කොතනට ඒක වැටුනාදැයි දන්නේද නැත.
සෑස් සූස් ගානවාත් පුටුවක් එහෙට මෙහෙට වනවාත් ඇසුනි.එකෙනෙහිම අපි සියල්ලෝම තම තමන්ගේ පුටුවලට පැන ගතිමු.මුකුත් වූවෙත් නැති මුකුත් දන්නේත් නැති අපූරු සත්වයන් ටිකක් සේ පාඩුවේ සිටියෙමු. කොයිකටත් කියා දඩිබිඩිගා මම බෝතලය මගේ පුටුව යටින් තියාගතිමි. මේ සියල්ල සිදු වෙද්දී නයනා පාඩුවේ අතිරේක පංතියක ගානක් සාදයි.අපරාදෙ කියන්නට බැරිය.පස්සට කල් දාන වැඩ ඇයට නැත.ලෝකය පෙරලුනත් පාඩුවේ අද කලයුතු දේ අදම කරයි.ඒ ඇගේ හැටිය.ඈත් සමග සිටි අපි දෙන්නානම් ගියේම පස්සටමය.ඇය හරි ආදර්ශමත් මිතුරියකි.
කොරිඩෝව දෙසින් ටොක් ටොක් ගා සපත්තු සද්දයක් ඇසිනි.වැඩේ වැරදුණු බව කියා මගේ හිත කෑගසයි.
සර් කෙලින්ම පංතියට පැමිණියේය.
මුහුණ නම් හොද නැත. පංතිය සිසාරා බැල්මක් හෙලන අතර ඩෙස් උඩ ඇති වතුර බෝතල් දෙසද බලනු පෙනුණි.
අත් දෙකත් පිටුපසට කරගෙන පංතියේ එහා කොනටම ඇවිද්දේය. පංතියේ සද්දයක් නැත. ඇල්පෙනෙත්තක් වැටුනත් ඩෝං ගායි කියා සිතෙන තරමට නිශ්ශබ්දය.ඩෙස්ක් උඩ ඇති වතුර බෝතල් වලනම් මූඩි ඇත .මූඩිය ගුවන්ගත කල මෝඩයා මාය.බෝතලය හංගගත්තාට මුහුණේ ඉරියව් හංගා ගැනිම කෙතරම් අපහසුදැයි එවෙලේ තේරුම් ගත්තෙමි.
පිටුපසට කරගෙන තිබූ සර්ගේ අත ඉදිරියට ආවේය.මගේ නිල්පාට මූඩිය සර්ගේ ඇගිලි දෙකකට හිරවී චූදිතයාවී ඇත.මට මූඩිය පව් කියා සිතුනි.ඔහු එය අල්ලගෙන හිටපු විදිහෙන් මෙයනම් දෙපාරක්වත් සබන්දා සෝදා නැවත පාවිච්චි කලයුතු බව මට ක්ශනිකව සිතුනි.
උගුරේ රැල් බුරුල් හැර
“කවුද මේක එව්වේ ” කියා දෙවරක්ම ඉංග්රීසියෙන් ඇසුවේය.උත්තර නැත.සර් නැවත සිංහලෙන් ඇසුවේද නැත.උත්තරත් නැත.කිසිම ශබ්දයකුත් නැත.උඩ යවන්නට පනහක් සිටියද මා අමාරුවේ වැටිච්ච මෙවේලේ එක බොරුවක් කියන්නට එකෙක් නැත.උඩ යවන්නට තිබුන එකමුතුව දැන් හොයාගන්නටවත් නැත.මගේ මූඩිය කවුරුවත් අදුරන්නේද නැත.මීට පෙර නිල් පාට ප්ලාස්ටික් මූඩියක් නොදැක්ක ගානට සියල්ලෝ මැජික් සේ එදෙස බලයි.
නයනා හරි බව මට දැනුනි.පාඩුවේ ගානක් හැදුවානම් මේ කිසි කරදරයක් නැත.හිතේ ගිනි පත්තුවෙන්නේද නැත.
“කටවල් නැත්නම් මමම හොයා ගන්නම්.”
සර් බෝතල් දෙස බලමින් පංතිය පුරා ඇවිද යයි.මම අවසාන පේලියේය.සර් ඊගාවට එන්නේ මා අසලටය.කරන්නට දේකුත් නැත.කියන්නට දේකුත් නැත.සර් මගේ ලගට ආවොත් පුටුව යට මූඩිය නැති බෝතලය දකින්නේය.සර් එන්නට පය ඔසවද්දීම මට ඉබේටම නැගිට්ටුනි.
එය කලේ මායැයි සර් කියටවත් සිතන්නට නැත. ඒ තරමට මා ඔහුට සුවච කීකරු ගෝලයෙක්ය.
“මම හිතුවෙ නෑ වැඩ කරන ලමයම මේ වගේ වැඩ කරයි කියල.මගේ පීරියඩ් එකෙන් බාගයක්ම කෑවා”
“නෑ සර් .ඕනකමින් කලේ නෑ.මූඩිය වැහිලා නෑ හරියට බෝතලේ තද කලාම මූඩිය උඩ ගියා. මං දැන්නෙත් නෑ. ඇත්තමයි සර් ඕන්නම් ආයේ කරලා පෙන්නන්නම්.”
මූඩිය මගේ මේසය උඩින් තබා කුටු කුටු ගා මතුරමින් යන්න ගියේය.ඔහු හෙමින් බැන්න කිසිවක් මට තේරුනේ නැත.ඒත් එකතු වී මොන දේ කලත් විදවන්නට වන්නේ තනිවම බව නම් හොදට තේරුනාය.
උපුටා ගැනීම:  Kanchana Perera Kapuge

Read More Like This

PHP Code Snippets Powered By : XYZScripts.com
error: Content is protected !!