අදටත් මම නම් බැන්කු වලින් ගත්තු ෆැසිලිටි එකක් නෑ,රුපියලක්වත් OD අරන් නෑ, ලීසින් අරගෙනත් නෑ.එහෙමටයි කියල ලොකු ලෝන් එකක් අරගෙනත් නෑ.හැබයි මේ දවස් වල සම්පත් බැන්කුවෙ කතන්තරෙත් එක්ක පරන මතක ටිකක් අවදි උනා.
මේ මහනුවර දළදා වීදියෙ සම්පත් බැන්කුව.ඔය බැන්කුව ඉස්සරහින් තමයි මම ඉස්කෝලෙ ඇරිල එන්නෙ.මම කියන්නෙ 1993 කාළෙ දළදා වීදිය ප්රසිද්ධ අපේ සෙට් එක වල බහින මහනුවර ‘ බේක් හවුස්’ එකත් ‘ වයිට් හවුස්’ එකත් නිසා.හැබැයි ඉතින් ඔය රෙස්ටුරන්ට් වලට ගිහින් මික්ස් රයිස් කන්න තරම් සල්ලියක් අපේ අතේ තිබුණෙ නෑ.ඔය කාළෙ මික්ස් රයිස් එකේ හිටිය මැස්සගෙ කතාව හරි ප්රසිද්ධයි.
අපේ කොල්ලො සෙට් එකක් වයිට් හවුස් එකෙන් මික්ස් රයිස් එකක් ඕර්ඩර් කළාලු.ඔන්න ඕක කන අතරෙ කෑම එකේ හිටපු මැස්සෙක් හම්බුනාලු.අපේ උනුත් මැස්සව හෙමිහිට පැත්තකින් තියල රයිස් එක කොටා බෑවලු.ඊට පස්සෙ එකම අලකලන්චියයි.
” අය්සෙ වේටර් මෙහෙ එනව”
” ඇයි සර්”
” බලනව මේකෙ මැස්සෙක්නෙ, තමුසෙල මෙහෙමද මිනිස්සුන්ට් කන්ඩ දෙන්නෙ”
” සොරි සර්.වැරදීමක්”
” කතා කරනව තමුසෙලගෙ මැනේජර්ට”
මැනේජරුත් එතැන්ට ළගා වෙයි.මැනෙජර්ටත් අපේ උන්ගෙන් දොස්මුරයකි.අවසානයේ අලුත්ම මික්ස් රයිස් එකක් නොමිළයේ ලැබෙයි.ඔය කතාව ගුඩ්ෂෙඩ් නැවතුමේ, පචගහයට, ලාදුරු හෝල්ට් එකේ එකතුවන උසස්පෙළ ශිෂ්යයන් අතර පැතිර යයි.අපේ සමහර අයත් එය නැවත අත් හදාබලන්නට උත්සාහ කරයි.හැබැයි නැවතත් නොමිළයේ මික්ස් රයිස් ලැබුණු කෙනෙක් ගැනනම් අහන්නට ලැබී නොතිබිණි.
( ඔය කියන මික්ස් රයිසයට බිත්තර, එළවලු, සොසෙජස්,හරක් මස්,ඌරු මස්,කුකුළු මස් චිලීපේස්ට් සමග ඇතිතරම් සෝස් සපයනු ලබයි)
මම ලන්කාවේ බොහොමයක් නගරය වල අවන් හල්වළදී මික්ස් රයිස් හා ස්පෙෂල් රයිස් අනුභව කරන්නට ලැබී ඇතත් මහනුවර අවන්හල් වල තරම් සරුවට අඩු මුදළකට ඒවා කන්නට ලැබී නොමැත.තරමක් හෝ ඊට සමාන සරු මික්ස් රයිසයක් කන්නට ලැබී තිබුණේ මාරවිල පැරණි තානායම් අවන්හලෙනි.විශේෂයෙන් ඩෙවෝන් ස්පෙෂල් එකට ගහන්නට ස්පෙෂල් එකක් නම් මා දැක නැත.
අදටත් මිතුරන් සමග දළදා වීදියේ ඇවිද යනවිට නිරායාසයෙන්ම මා ඩෙවොන් අවන්හල වෙතට ඇදී යන්නේ ඩෙවොන් ස්පෙෂල් රහ මතක් වෙන බැවිනි.දශක ගනනාවක් පුරාවටම එකම රහට ඩෙවොන් ස්පෙෂල් එක හදන්නේ කෙසේදැයි කියා මම ගිය සතියේ ඒ පිළිබදව එහි මැනෙජර් රැවුල් අය්යාගෙන් විමසීමි.
” එකම කුක් මල්ලි”
එහි රහස දන්නේ ඔහු පමණි.
දැන් ආපහු සම්පත් බැන්කුව දෙසට හැරෙමු.
ඔය කාළයේ (1993) ලන්කාවේ පෞද්ගලික බැන්කු කොපමණ තිබුනත් ATM පහසුකම් තිබුණේ සම්පත් බැන්කුවේ පමණි.එදා ඉදන්ම අලුත් අලුත් දේ අත් හදා බළන්නට මගේ තිබුණේ උණකි.මටත් කෙසේ හෝ මුදල් හදල් එතරම් නැතත් ATM කාර්ඩ් එකක් ගන්නට අවශ්ය විය.එවිට මගේ වයස අවුරුදු 18 ක් පිරී නොතිබිණි.සාමාන්ය ගිණුමක් විවෘත කරන්නට වයස 18 සපුරා තිබිය යුතුය.
දැන් මට කෙසේ හෝ ATM කාඩ් එකක් ගන්නට ඇවැසිය.මම මේ ගැන කීවේ කවුරුත් දන්නා මගේ පන්තියේ මිතුරෙකුය.ඔහු පුරාවෘතයකි.
” සිම්පල් නෙ'”
මම කට ඇරන් ඔහුගේ මුහුණ දෙස බැලීමි.
” මෙන්න මෙහෙට ගනින් පෝස්ටල් අයිඩේන්ටිය”
මගේ පෝස්ටල් අයිඩෙන්ටිය ගත් ඔහු බ්ලේඩ් තලයකින් මා උපන් වර්ශය සූරා එය වසරක් ආපස්සට ගත්තේය.
” ඔන්න ඔච්චරයි යමන් අදම එකවුන්ට් එකක් අරිමු”
ඔහු මාත් කැටුව ගොස් සම්පත් බැන්කුවේ එකවුන්ට් එකක් විවෘත කොට දුන්නේය.අද ඔහු ලන්කාවේ නැතත් ප්රසිද්ධ චරිතයකි.මගෙන් ඔහුට ලැබුණේ වයිට් හවුස් එකෙන් රෝල්ස් පාටියකි. ලැබුණේ ගෑරුප්පුවෙන් ඇන කන්නට චයිනීස් රෝල්ස් එකක් කිරි තේ එකක් සහ වතුර වීදුරුවකි.
ඒ කාළයේ මා විටෙක බැන්කුවට ගොඩවන්නේ පාස් පොත යාවත්කාලීන කර ගන්නවාට වඩා කවුන්ටර වල රූමත් සුදු කෙල්ලන් බැලීමටය.
අහෝ… එදා තරම් රූමතියන් අද බැන්කුවල නැත.එයාර්ලන්කා එකට වූයේත් ඔවැනිම දෙයකි.
මගේ ඔය කියන ගිණුම පහු කළෙක භාවිතය නොමැති නිසා අවලන්ගු වී ගියේය.
මගේ පළමු ණයපත මා ලබා ගත්තේද සම්පත් බැන්කුවෙනි.ඒත් මීට වසර 20 පමණ කලිනි.එයද ආර්ථිකයේ විවිද හැල හැප්පීම් නිසා ඇරියස් විය.පහු කළෙක මම එය සම්පූර්ණයෙන් ම ගෙවා දැමුවෙමි. එනිසා මා ක්රිබ් එකේ නම් නැත.
අදටත් මා සම්පත් බැන්කුව සමග ජන්ගම ගිණුමක් පවත්වාගෙන යන්නෙමි.අදටත් මම ඩෙවොන් ස්පෙෂල් එකට කැමැත්තෙමි. ඇවිදින්නට කැමතිම වීදිය කුමක්දැයි ඇසුවහොත් ” දළදා වීදිය යැයි කියමි.
මහනුවර මතක….
උපුටා ගැනීම: සන්ජය දොළමුල්ල