සප්රයිස් තියා උපන්දිනයක් සෙලිබ්රේට් කරන්නවත් පුළුවන් ආර්ථික හැකියාවක්වත් අවබෝධයක්වත් තිබුන පවුලක දරුවෙක් නෙමෙයි මම. කලින් කතා කියවලා තියෙනවනම් දැනටමත් දන්නවා ඇති මම ගැණු ළමයි තුන්දෙනෙකුගේ පවුලේ බාලයා. තාත්තා විතරයි රස්සාවක් කරේ. ඒකත් රජයේ. දුෂ්කර පිටිසර ගමක තමයි මගේ පුංචි කාලේ ගෙවුනේ.
ලොකු අක්කට අවුරුදු 3ක් වෙනකම් තාත්තගේ යාළුවන්ට එන්න කියලා උපන්දින සැමරුවා කියලත් තෑගි විදියට ලැබුන සෙල්ලං බඩු ගැනත් අම්මා කියත්දි මම ඒ දවස්වල අඬනවත් එක්ක. එකම එක උපන්දිනේකට අම්මා එහා ගෙදර අක්කලත් එක්ක එකතුවෙලා දර ලිපක උඩයි යටයි දෙකම කර වෙච්ච, ඒත් රසම රස කේක් එකක් හැදුවා මම පුංචිම කාලේ. ඊටපස්සේ ඉතින් දිගටම කිරිබත්. ටික ටික ලොකු වෙත්දි යාළුවන්ට බිස්කට්, කේක් ගිහින් දුන්නත්, ලස්සනම ලස්සන කේක් එකක ඉටිපන්දම් පත්තු කරලා, වටේම ඉන්න අය “හැපි බර්ත්ඩේ ටූ යූ…..” කියත්දි ඉටිපන්දම් නිවලා කේක් කපලා කවපු අත්දැකීමක් මට තිබුනේ නෑ කැම්පස් එනකම්ම.
මම කේක් හදන්න ඉගෙන ගත්තේ අටේ පන්තියේදි උනත් උපන්දිනේකට කේක් එකක් හදන්න මතක් උනේ එලෙවල් කරාටත් පස්සේ. ඒ කාලේ දවසක් මමම කේක් එකක් හදලා, මමම අයිසින් කරලා මමම කපාගෙන කෑවා.
කැම්පස් එකේදි මගේ හොඳම යාලුවො සේරම වගේ කොළඹ අවට ජීවත් වෙච්ච, අම්මයි තාත්තයි දෙන්නම රස්සාව කරපු පවුලේ එකම ගෑණු ළමයා නැත්තම් ගෑණු ළමයි දෙන්නෙක්ගේ පවුලේ අක්කා හරි නංගි හරි. එයාලා එයාලගේ උපන්දින එකක් නෑර සෙලිබ්රේට් කරලා තිබුන නිසා එයාලගේ උවමනාවට අපි හැමෝම පුරුදු උනා කැම්පස් එකේ තියෙන කසගස් හෙවනට ෆැබ් එකෙන් කේක් එකක් ගෙනත් ඉටිපන්දම් පත්තු කරලා, සිංදුව කියලා කේක් කපලා, කවලා තෑගී දීගන්න. මම ෂල්වාර් වලට කැමති නිසා මට ඒ අවුරුදු හතරටම ලස්සන ෂල්වාර් මෙටීරියල් ලැබුනා ඒ යාලුවන්ගෙන්.
ඊටපස්සේ මම හේමන්තව කසාද බැන්දට පස්සේ කලාතුරකින් පිරිමියෙක් කරන දෙයක් හේමන්ත කරා. ඒ තමයි එයාගේ මුළු සැලරි එකම සත පහක් අඩු නැතුව මගේ අතට දෙන එක. එයා බස් එකටයි, හවසට බඩු ගේන්නයි සල්ලි ඉල්ලගත්තට මගෙන් කවදාවත් ඇහුවෙ නෑ සල්ලි ගැන. ඒ කාලේ මගේ අක්කලා දෙන්නට හිටියා දරුවො පස් දෙනෙක්. එයාලගේ උපන්දිනවලට තෑගි ගන්න හේමන්ත මාත් එක්ක එනවා වගේම ලස්සන තෑගි තෝරලත් දෙනවා. කවදාවත් ගාන අඩුකරන්න හැදුවෙ නෑ. ඒ එයාගේ සල්ලි උනත් එයා ඒක හරිම සතුටින් කරා.
ඒත් එයාට මාව සප්රයිස් කරන්න විදියක් තිබුනේ නෑ සල්ලි මගේ අතේ නිසා. මට අවුරද්ද හරියටම මතක නැති උනත් මම මගේ උපන්දිනේ දවසක යාලුවෙකුගේ ගෙදර ගියා. හවස් වෙලා මම එත්දි දොර ඇරලා, ගේ ඇතුලේ ලයිට් නැතුව ඉටිපන්දම් පත්තු කරලා, මේසේ උඩ ලස්සන කේක් එකක් තිබුනා. හේමන්ත මට හොරෙන් හාෆ් ඩේ ඇවිත් තමයි ඒ සේරම කරලා තිබුනේ. ඇත්තටම මම පුදුම උනා වගේම ගොඩක් සතුටුත් හිතුනා. මගේ 36 වෙනි උපන්දිනේට දවසකට කලින් හේමන්ත මට පොඩි පෙට්ටියක් දුන්නා. මම හිතුවේ පර්ෆියුම් එකක් කියලා, මම ආස නිසා. ඒත් කඩලා බලනකොට ඇතුලේ තිබුනේ ස්මාට් ෆෝන් එකක්. මගේ ෆෝන් එක කැඩිලා තිබුන නිසා එදත් මම පුදුම විදියට සතුටු උනා.
” ඕනේ උනේ හෙටම ඔයාට ඕක දෙන්න. ඒත් ඔයාට ඕක චාර්ජ් කරගෙන ඕකෙන් ෆොටෝස් ගන්න පුළුවන්නේ හෙට. ඒකයි අද දුන්නේ.”
හේමන්ත මට හේතු පැහැදිලි කරා කලින් තෑග්ග දෙන්න වෙච්ච එකට. එයා ෆෝන් එක අරන් තිබුනේ ක්රෙඩිට් කාඩ් එකට. මම ඒත්,
“මට හරිම සතුටුයි. ඒත් අපරාදේ සල්ලි වියදම් කරන්න එපා හේමන්ත, අපිට තව කොච්චර දේවල් තියෙනවද කරන්න. ආයේ කවදාවත් මගෙන් අහන්නේ නැතුව මේ වගේ දේවල් කරන්න එපා”
කියලත් අවවාද කරා.
යවින් ඉපදුනෙත් මගේ උපන්දිනේ දවසෙමයි. යවින්ගේ 3 වෙනි උපන්දිනේට කේක් කපලා ඉවර වෙනවත් එක්කම හේමන්තගේ නංගී කොහේදො හංගලා තිබ්බ ලස්සන කේක් එකක් අරන් මං ඉස්සරහට ආවා සිංදුවත් කියාගෙන. එදත් මම පුදුම උනා, සතුටු උනා.
ඊටපස්සේ අවුරුද්දේ, ඒත් හේමන්තගේ නංගී මගේ යාලුවෙකුගේ ගෙදර හංගලා, ලොකු කට්ටක් කාලා කේක් එකක් අරන් ආවා යවින්ගේ කේක් එක කපලා ඉවර කරත්දිම. එදත් මට පුදුම සතුටු දවසක්. ඊට කලිනුත් ඊට පස්සෙත් හේමන්තයි මමයි නංගිව සප්රයිස් කරා තුන් වතාවක්. හේමන්තගේ අම්මා තාත්තා දෙන්නටත් ඒ විදියටම කරා. අම්මගේ සප්රයිස් එක කොච්චර හොඳට කරාද කිව්වොත් එයාට පපුවේ අමාරුවකුත් හැදෙන්න ආවා එදා.
හේමන්ත ඉපදුනේ අප්රේල් 17. යාළු වෙලා ඉන්න කාලේ එයාගේ උපන් දිනේට අවුරුද්දක්ම සල්ලි එකතු කරලා ෂර්ට්, පර්ෆියුම්, වොච්, වොලට් වගේ දේවල් තෑගි දුන්නත් කැම්පස් ඇවිත් එයාව ළඟින්ම ආශ්රය කරත්දි මට තේරුණා එයාගේ තෝරාගැනීම් මට වඩා ගොඩක් වෙනස් කියලා. ඊට පස්සේ මම කවදාවත් එයාට තෑගි ගත්තේ නෑ. එයාව පුදුම කරන්නේ කොහොමද කියලා මට තේරුණෙත් නෑ. මම උත්සාහ කරෙත් නෑ. අපි එදාට ගෙදර හිටියෙත් නෑ. අවුරුදු වලට දෙනියායේ හරි බණ්ඩාරවෙල හරි ගියපු නිසා. විශ් කරනවා ඇරෙන්න ඒ දවස නිකම්ම ගෙවිලා ගියා.
” පුතා හැමෝගෙම බර්ත්ඩේ වලට මහන්සි වෙනවා. අපි එයාට මුකුත් කරන්නේ නෑ. ඉස්සර අපි හැමදාම හාමුදුරුවෝ වඩම්මලා හීල් දානේ දෙනවා. මෙහේ ආපු එකෙන් ඒකත් මග ඇරුනා. මට දුකයි එයා ගැන”
ගිය අවුරුද්දේ දවසක හේමන්තගේ අම්මා මාත් එක්කම එහෙම කියත්දි නංගියි මමයි කතාවෙලා හිටියේ කියන් ලැබෙන්න කිට්ටු නිසා ගෙවල්වල යන්නෙත් නැති එකෙන් උපරිම ප්රයෝජන අරන් එයාව එලියට එක්කගෙන ඇවිත් නොදැනෙන්න, පුංචි හොටෙල් එකක කේක් කපලා ඩිනර් එකත් අරන් යමු කියලා. අප්රේල් මාසේ පටන් ගන්නකොටම අපිට තේරුනා ඉඳලා ඉඳලා අපි මොකක් හරි කරන්න හිතුවොත් ඒකටත් අවුලක් කියලා කොරෝනා හින්දා දිගින් දිගටම කර්ෆියු දාත්දි. අප්රේල් 14 ඉමෙජන්සි සීසර් එකකින් කියන්ව ගත්ත නිසා හොස්පිටල් එකෙන් ඩිස්චාර්ජ් කරලා අපි ගෙදර ආවේ 17 වෙනිදා. ඉතින් එදත් නිකම්ම ගෙවිලා ගියා.
මේ අවුරුද්දේ මම තරයෙම හිතාගත්ත හේමන්තව සප්රයිස් කරනවමයි කියලා කොහොම හරි. මට පිහිටට හිටියේ අමානි නංගී. අපේ ඔෆිස් එකේ මගේ යාලුවා. එයාට හොඳට පුරුදුයි සප්රයිස් කරලා. කලින් අපේ ඔෆිස් එකේ හිටපු මල්ලි කෙනෙකුට කියලා අපි දෙන්නගේ ෆොටෝ එකක් අන්දගන්න හිතාගෙන මගේ ෆෝන් එකේ තිබුන ටිකක් හරි පැහැදිලි ෆොටෝ එකක් යැව්වා. ඔෆිස් එකටම ගෙනත් දෙනවා කිව්ව දිනේට කෝල් කරත්දි මල්ලිගේ තාත්තා අසනීප වෙලා, තාත්තව බලන්න යත්දි බයික් එක ඇක්සිඩන්ට් වෙලා මල්ලිත් ඉස්පිරිතාලේ ඉඳන් අමාරුවෙන් කතා කරා. අපරාදේ කියන්න බෑ මල්ලි එයාගේ මල්ලි අතේ චිත්රේ එව්වා යන්තම් දවස් දෙකක් පරක්කු වෙලා. සෑහෙන්න සාධාරණයක් කරලා තිබුනත් හේමන්තගේ දකුණු ඇහැ පොඩියට ඇඳිලා තිබුන නිසා ඇවිත් තිබුනේ වෙනස්ම පෙනුමක්.
ඊළඟ ප්රශ්නේ කේක් එක. අපි හැමදාම 17 වෙනිදට එක්කෝ බණ්ඩාරවෙල, නැත්තම් දෙනියායේ. ඩිලිවරි සර්විසස් දෙකකින්ම ඇහුවත් වැඩේ හරිගියේ නැති උනාම අන්තිමට ලොකු අක්කගේ පිහිටෙන් හේමන්තට නොදැනෙන්න කේක් එකක් හදවගත්තත් කලින් යවපු ෆොටෝ එකට ළඟින්වත් යන්නේ නැති එකක් තමයි හදලා තිබ්බේ. ඔන්න ඉතින් කවදා කාපු ටකරංද කියලා මනුස්සයව සප්රයිස් කරන්න හාහා පුරා කියලා පළමු පියවර තිබ්බ මට වෙච්ච දේ. මුකුත්ම නැතුව ඉන්නවට වඩා ඔය මදැයි කියලා ඉතින් මම හිත හදාගත්තා.
ප.ලි.
මොනව උනත් සප්රයිස් වගේම සෙලිබ්රේශන් කියන්නේ හරිම ආදරණීය ලස්සන දෙයක්. ඒකට මහන්සි වෙන අයයි, ඒක ලැබෙන කෙනයි දෙගොල්ලොම සතුටු වෙන දෙයක්. ජීවිතේ වැඩි කාලයක් මට එහෙම දෙයක් නොතිබුන එක ගැන මට දුකක්, තරහක්, කණස්සල්ලක් මුකුත්ම නෑ. පස්සේ කාලෙක කවුරුවත් මාව සප්රයිස් කරේ නෑ කියලා හරි බර්ත්ඩේ එක සෙලිබ්රේට් කරන්න බැරි උනා කියලා හරි මම දුක් වෙන්නෙත් නෑ. හැබැයි මම සප්රයිස් වෙච්ච හැම වතාවක්ම ලස්සන මිහිරි මතකයක් විදියට හැමදාමත් හිතේ තියෙනවා. තමන්ගේ ආදරණීයයන් සප්රයිස් කරන්න යාළුවන්ට මම උදව් කරන හැම වතාවකම මට ඒ ගැන දැනෙන්නෙත් පුදුම සතුටක්. ඔව් ඇත්තටම සප්රයිස් කියන්නේ හරිම පුදුම සතුටක්…
උපුටා ගැනීම: Anu Jayawardane