“ඔයා තාමත් දිහර්ශාගේ මතක ඇතුලේ නේද ?”
දරාගන්න අමාරූ උත්තරයක් ලැබෙයි කියලා දැනගෙනම මං එයාගෙන් අහද්දී එයා හිටියේ බැල්කනි එකෙන් එලියට බර වෙලා. මං අහපු ප්රශ්නේ ගානක් උනේ නෑ වගේ එයා මං දිහා බලලා ආපහු ඈත බලාගත්තා.
“ඇයි දැන් එහෙම අහන්නේ ?”
අපි විවාහ වෙලා එකට ජීවත් වෙන්න අරන් මාස ගානක් ගියාට පස්සේ මං එයාගෙන් එහෙම අහන එක එයාට ප්රශ්නයක් වෙන්නැති. ඒත් ඒ මතක වලින් මිදුනා කියලා හිතපු එයාගේ වොලට් එකේ තාමත් දිහර්ශාගේ පින්තූරේ තියෙනවා කියලා මම දැක්කේ අද උදේ.
මතක අමතක කරන්න බැරි බව මං දැනන් උන්න නිසාම මං මීට කලින් එයාගෙන් ඒ ගැන අහලා නෑ. ඒත් මගේ ගැහැණු සිත අද මට ඒක අහන්නේ නැතුව ඉන්න ඉඩ දුන්නේ නෑ.
“මට දැනගන්න හිතුනා…”
“අපි කෝපී එකක් බොමුද ? නැත්නම් හොට් චොකලට් එකක් ? ”
මං කියපු දේ ගානක්වත් නැතුව එයා එහෙම කියද්දි නම් හිතට තරහක් දැනුනත් මට ඕනේ උනේ නෑ තාරක එක්ක රණ්ඩු වෙන්න.
ඒ නිසා නිහඬවම නැගිටලා ආවේ කෝපී හදන්න හිතාගෙන. මං ආස හොට් චොකලට් වලට උනත් මට ඕනේ මටම රිදවගන්න නිසා මං එයා කැමති විදිහට කෝපී හැදුවා.
වෙනදට එයාට එහෙම කෝපී හැදුවාම මං මට හොට් චොකලට් එකක් හදාගන්නවා. ඒත් අද ඕනේ නෑ කියලා හිතෙද්දි මං තනි කෝපී කෝප්පේ අරන් බැල්කනි එකට ඇදුනා.
“ආ කොෆි එක…”
එයා බැල්කනි එකෙන් මෑත් වෙලා පුටුවෙන් ඉඳගෙන හිටියේ. මට ඕනේ උනේ ටිකක් තනිවෙන්න නිසාම කෝපී එක දීලා ඇවිත් ඇඳට වැටෙන්නයි මගේ කල්පනාව තිබ්බේ.
“මෙතනින් වාඩී වෙන්න…”
එයා කෝපී එක අතට අරන් බැල්කනි එක උඩින් තියලා මට කිව්වේ එයාගේ කකුල පෙන්නලා.
“මට මහන්සී තාරක… මං ටිකක් නිදාගන්නවා…”
මං එහෙම කියලා ගෙට එන්න හැදුවත් එයා මාව නවත්තගත්තා.
“නිර් මං මේ මොහොතේ ජීවත් වෙන මනුස්සයෙක්. මගේ ලෝකේ පිරිලා තියෙන්නේ ඔයා , ඔයා සහ ඔයා විතරයි…”
ඇදලා අරන් උකුලෙන් වාඩී කරගන්න ගමන් එයා එහෙම කියද්දි මගේ හිතට දැනුනේ තරහක්.
“ඒ උනාට තාම පර්ස් එකේ ඉන්නේ එයා…”
මං කියද්දි තාරක හයියෙන් හිනා උනා.
“ඔයාට මාව විහිලුවක් ද තාරක ?”
මං ඇහුවේ ඇත්තටම හිතට දැනුන කේන්තිය නිසා.
“නෑ නිර්… ඔයා පුංචි ළමයෙක් වගේ… මං අතීතේ ගැන කියන්න හදන හැම තප්පරේම ඔයා ඒක ප්රතික්ෂේප කරනවා… ඊට පස්සේ මටම ඒක අමතක උනාට පස්සේ ආයේම ඒක මතක් කරනවා…”
ඔහුගේ අතීතය අහලා රිද්දන්නෙ නැතුව අනාගතේ සහ වර්තමානය වෙන්නයි මට ඇත්තටම ඕනේ උනේ. ඒත් අර පින්තූරේ තාමත් ඔහු ලඟ වෙද්දි හිත රිදුනා.
“ඒත් අර…”
“නිර් මං ඉන්නේ මත් වෙලා. මං සම්පූර්ණයෙන්ම ඔයාගෙන් මත් වෙලා ඉන්න. මත් උන මනුස්සයෙක්ට වෙන කිසිම දෙයක් මතක නෑ නිර්…”
“ම්ම්ම්ම්….”
“ඔයා ඔය කියන ෆොටෝ එක මොකද්ද කියලවත් මට මතක නෑ. එයාගේ ෆොටෝ එකක් දාන් හිටියා කියලා මතකයි හැබැයි ඒක අයින් කරේ නෑ කියලවත් මට මතක නෑ. මට දන් මතක එකම දේ මේ තද කලු පාට ඇස් විතරයි නිර්…”
ඔහු කියන්නේ මගේ ඇස් වලටම එබීගෙන. මෙච්චර කාලෙකට ඔහු එහෙම කියලා නෑ. මට ආදරෙයි මාව වටිනවා කියලා ඔහු කියලා නෑ. ඒත් අද ඔහු ඒක වෙනස්ම හැඩේකට කියනවා.
“මට එක දෙයක් විස්වාසයි නිර්…”
“මොකද්ද ?”
“මං දැන් ඒ පින්තූරේ බැලුවත් මට පේන්නේ ඔයාව විතරයි. මගේ වර්තමානේ හදපු කෙනා ඔයා. මගේ අනාගතේ තීරණේ කරන කෙනා ඔයා. එතනින් එහාට මට වෙන මුකුත් නෑ…”
ඔහුගේ ඇස් වල බොරුවක් ගැවීලාවත් නැත. ඉතින් මා බොරුවට කලබල වී ඇත. එහෙත් හිතට අමුතුය.
“නිර් ඒ කාලෙකට කලින් මගේ කෙල්ල මං ඒක පිළිගන්නවා හැබැයි උඹ ජීවිත කාලේටම මගේ ගෑනී. ඉතින් උඹ උඹ උඹම විතරයි මගේ හුස්ම….”
තාරකගේ වචන මාව කඳුලු වලින් පිරෙව්වා. එහෙමම පපුවට බර උන මං හිතේ තිබ්බ අමනාප කඳුලු වලින් හේදූවා.
“දැන් ඇති ඇඬුවා. මට කෝපී එක බොන්න දීලා ගිහින් ඔය කියන ෆොටෝ එක අයින් කරලා දාන්න…”
“මං ඒක අයින් කරා…”
මං එහෙම කියන ගමන් තවත් හරි බරි ගැහිලා ඔහුට තුරුල් උනේ මේ මොහොත නැති කරගන්න ලෝභකමෙන්.
“අම්මේ ඉරිසියාකාරී….”
තාරක එහෙම කියලා මාව තවත් තුරුල් කරගත්තා. ආදරේ සමහර තැන් වල එහෙමයි. ඕනේවටත් වඩා ඉරිසියයි. ඒක චූටී චූටී ප්රශ්න වලට මුල වෙයි. විසඳුමක් විදිහට ඕනේ වෙන්නේ කෝපී කෝප්පෙකුයි ආදරේ වැඩියෙන් දාපූ තේරුම් ගැනීමකුයි විතරයි.
ප්රේමණීයම හාදූ යාන්තමට ඉරිසියාවෙන් බර වී තිබුණී!
උපුටා ගැනීම: -තාරා-