ජ’බරාස් මල (පෙම් කතා)

Share With Friends

Facebook
WhatsApp
Telegram
LinkedIn
Email
ලොකු අළු පාට ඇස් දෙකක් තියෙන එමී , කළු කොට කොන්ඩේ දෙකට බෙදලා කොන්ඩ දෙකක් බැදගන හැමදාම හවසට ලස්සනට ගෙදරින් පිටත් වෙනවා .
එමී පිටත් වෙන්නේ කහ පාට මල් පිරුණු ගග ඉව්රේ ඩේව් එක්ක සෙල්ලම් කරන්න .
ඩේව් ඒමී එනකම් ගග ඉව්රේ තියෙන ලී කොටයක් උඩට වෙලා කම්මුලේ අත තියාගන බලාගන ඉන්නවා . නැත්නම් මෝර්නින් ග්ලෝරි මල් වැල් වල ඉන්න ලේඩි බර්ඩ්ලව බෝතලේකට එකතු කරනවා . නැතනම් සමනලුන් පස්සෙන් දුවනවා . එත් නැතිනම් තණ ගොල්ලේ ඔහේ පෙරලිලා අහසේ යන වලාකුළුවල මැවෙන රූප බලනවා .
ඒමී අද ගග ඉව්රට එන්න පරක්කුයි . ඩේව් ගොඩක් වේලාවක් බලාගන හිටියා එමී එනකම් .
” කොහෙද එමී ගියේ …? ආයෙත් එක දවසක් හරි පරක්කුවුනොත් මම එන්නේ නෑ සෙල්ලම් කරන්න “
ඩේව් මුණ පුම්බගන එමී ඇතින් එද්දිම කෑගහන්න පටන්ගත්තා .
එමී මොකුත්ම නොකියා අත මිටිකරලා ඩේව්ට මොකක්දෝ පෙන්නලා හුරතලේට හිනාවුනා .
” ස්ට්රෝබෙරි ……”
ඩේව් පැනපු ගමන් රතුම රතු ලොකු ස්ට්රෝබෙරි ගෙඩි දෙක කටේ දාගත්තා .
” පරක්කුවූනාට මට සමාවෙන්න ඩේව් …. මම රෝස් නැන්දලාගේ ගෙදරින් ඔයාට ස්ට්රෝබෙරි කඩාගන එන්න ගියා … ඒකයි පමාවුනේ “
ඩේව් මොකුත්ම නොකියා බිම බලාගන බිම පහුරුගාන්න පටන්ගත්තා
” මටත් සමාවෙන්න එමී “
එමී අදත් බේකරියේ වීදුරු ජනේලයෙන් අහස දෙස බලාගන සිටිද්දී එමිට මීට වසර පහළොවකට පෙර අතීතය මතකයට ආවේ එලෙසින් .
ඩේව් …. මිට අව්රුදු අටකට කලින් පදිංචිය වෙනස් වීමත් එක්ක එමීට ඩේව් අහිමීවුවා .
ඩේව්ගේ වෙන්වීම සිදුවන විට එමී පුංචි අව්රුදු දාහතරක ගැහැණු දරුවෙක් .
ඒ වගේම දැන් එමී අව්රුදු විසි දෙකක තරුණ ලස්සන යුවතියක් . අළුපාට ඇස් ඉස්සර වගේම දිලිසෙනවා .
” එමී ….. අදත් ඔයාට ජ’බරාස් මලක් “
එමීගේ යෙහෙළිය එමීගේ බේකරියේ දොර විවරකරගන පැමිණෙන ගමන් සිනහවෙමින් කියාසිටියා .
” මොනවා …… අද හතරවෙනි දවස ….. “
එමීට කව්දෝ කෙනෙක් සෑම බ්රහස්පතින්දා දියකදිම ජ’බරාස් මලක් තිලිණ කරනවා . නාන්නාදුන්න කෙනෙක්ද ? හොදින් හදුනන කෙනෙක්ද කියාවත් එමී ඒ ගැන නොදනී . ඒ පුත්ගලයා හෝ කාන්තාව එමිගේ බේකරියේ දොරේ ජ’බරාස් මලක් රදවා තබනවා .
” අදනම් මං සොයාගන්නවා කව්ද මේ කියලා “
එමී එහෙම කියගනම ඉක්මනින් එලියට දිව්වා .
එත් වෙනදා වගේම මාර්ගය සාමාන්යයි . කිසිම වෙනසක් තියෙන කෙනෙක් එමීට සොයාගන්න බැරි උනා .
එමී බර සුසුමක් හෙලලා ආයෙත් බේකරිය ඇතුලතට යන්න හදද්දීම එමීට දැනුනා කව්දෝ තමන් දිහා බලාගන ඉන්නවා කියලා .
එමී හොදින් මාර්ගයෙන් විරුද්ධ අත පැත්තේ තියන වීදුරුවෙන් දැක්කේ කව්දෝ පිරිමියෙක් තමන් දිහා හරි අමුතු විදියට බලාගන ඉන්නවා කියලා . එත් ඔහු එමී ඔහු දෙස හොදින් බලද්දිම මේසය උඩ තිබුණු කතා පොතක් කලබලයෙන් පෙරලාගන කියවන්න පටන්ගත්තා .
” ලින්ඩා පොඩ්ඩක් කඩේ බලාගන්න , මං එළියට යනවා “
එමී බේකරියේ දොර මදක් විවරකර ලින්ඩා ප්රතිචාර දක්වන්නත් කලින් නැවත දොර වේගයේ වසා දැමුවා .
ලින්ඩා බේකරියේ ජනෙල් වීදුරුවෙන් දුටුවේ එමී මාර්ගයේ විරුද්ධ අත දෙසට වේගයෙන් ගමන් කරන බවයි .
එමී වේගයෙන් කඩාගන බිදගන ගියේ අවන්හලට , අවන්හලේ පාරට පෙනෙන විදුරු ජනේලය ලගට එමී දුවලා දුවලා ගියත් ඒ මේසයේ කව්රුත්ම අසුන්ගෙන හිටියේ නෑ . මේසය උඩ තිබුනේ භාගෙට පානය කරලා ඉවර කරපු කෝපී කොප්පයකුත් , ඊට යටින් තියා තිබුණු මුදල් නෝට්ටු කිහිපයකුත් විතරයි .
එමී මේසය ලග සිටගන සිටිය වේටර් වරියගෙන් විමසුවා මේ මේසයේ අසුන්ගෙන සිටි තැනැත්තා කොහෙද කියලා .
” මෙතැන හිටපු සර් …. ඉතා ඉක්මනින් යන්න පිටත් උනා , සර්ට සර්ගේ පොතත් අමතක වෙලා . මැඩම් සර් ගේ අදුරන කෙනෙක්ද ?”
” ඔව් ….. ඔව් ….”
එමීගේ කටින් ඒ බොරුව කොහොම එළියට පැන්නද මන්දා . එත් ඇය එය හරි පහසුවෙන් කියා සිටියා .
” එහෙනම් මැඩම් මේ පොත මං මැඩම්ට දෙනවා . සර් … ලබන බ්රහස්පතින්දා ඒවිනෙ හරියටම උදේ 9ට “
මීලග සතියම එමිට දීර්ඝ කුතුහලයෙන් පිරුණු සතියක් විය . එළබෙන බ්රහස්පතින්දාට පෙර දිනයේ එමීට ලැබුණු පොත පෙරලීමට සිතුවිල්ලක් පහල වුණා . එතෙක් පරෙස්සමට බේකරියේ අල්මාරිය දමා තිබුනේ ඇය යමෙකුගේ දින පොතක් පෙරලීමට සිත නොදෙන නිසා . ඒ සිතුවිල්ලත් සමග එමීට හොද නරක අමතකවී ගියේය .
එමී ඉක්මනින් අල්මාරියෙන් පොත අතට ගත්තේ ඒමිගේ තිබුණු කුතුහලේ නිසාමයි .
පොතේ මුල් පිටුවේ ” එමී ට ” යනුවෙන් ලියා තිබුනේය . එමී මී ලග පිටුව පෙරලුවේ අසිපිල්ලමක්වත් නොගසායි .
සැප්තැම්බර් 04. බ්රහස්පතින්දා
එමී මගේ රෝස මල . අහම්බයකින් මං ඔයාව දැක්කේ අද . එත් මට කතා කරන්න සුදුසු තැනක් , සුදුසු වෙලාවක් නොවන නිසා දුරින් සිට මා බලා සිටියා පමණයි . නොබෝ දිනකින් ඔබව හමුවෙමි . සුදු පාට කපු ගව්ම , අළු පාට දිලිසෙන ඇස් දෙක ඉක්මනින් මා ඔබ වෙතට ගෙන්වාවී .
එමී ඒ අකුරු , වචන , වාඛ්ය කියවා මොහොතක්වත් නෑර මීලග පිටුව පෙරළුවේ හරි හදිස්සියකින් .
සැප්තැම්බර් 11 . බ්රහස්පතින්දා
එමී . මං ඔබේ බේකරියේ ලිපිනය සොයාගත්තා . දැන් මට ඔබ දෙසම බලාගන සිටිය හැකි . ඒත් බ්රහස්පතින්දා දිනයන්හිදී පමණක් වීම කණගාටුවට කරුණකි . ඔබේ ඉදිරියේ ඇති අවන්හලේ වීදුරු ජනේලයෙන් මා ඔබව දකිමී . එමී ඔබේ දොරෙ රදවා ආ මල පුදුමයෙන් හා රෝස තොල් වල ඇති වූ කෙළිලොල් සිනහව දෙස මා බලා සිටියේ පුදුමයකිනි .
පිටුවේ තිබුණු සමහර කරුණු නිසා එමී වියවුල් උවා . මීලග පිටුව කියවීමට තිබු කුතුහලය නිසා තවත් නොසිතා මී ලග පිටුවට පිවිසුණා .
සැප්තැම්බර් 18 . බ්රහස්පතින්දා
එමී … කණගාටුයි . මට අද ඔබව සජීවීව බලාගන්න තරම් හැකියාවක් නැතිවීම ගැන . බ්රහස්පතින්දා මගේ විවේකි දිනය වුවත් වෙඩි වැදීමකින් මගේ කකුලට තුවාල සිදුවුණා . තවමත් රෝහලේ . විවේකි බ්රහස්පතින්දා දිනයේ ඔබට ලියන්නෙත් මේ නිසාමයි . නමුත් ඔබේ ජ’ බරාස් මල ඔබේ බේකරියේ දොරේ රැදවීමට මා කෙනෙකු පිටත් කරනු ලැබුවා . ඔබේ සුන්දර ඡායාරුපයක් ගෙන ඒමටයි පැවසීමට මා පසුබට වුයේ නැත .එමී මං ඔබට ආදරෙයි .
එමීට ඊට පහලින් අලවා තිබු පින්තුරයේ ටිෂු කඩදාසිය මදක් විවර කර බැලුවේ ඇයගේ වෙව්ලන ඇගිලි තුඩු වලිනී .
” දෙවියනේ …..” එමි එසේ කියමින් තමන්ගේ දකුණත මුව මත තබාගත්තේය .
එහි තිබුනේ එමී කහ පාට ලේස් ගවුමකින් හා ඊට ඉහලින් සුදු පාට ඒප්රන් එකක් ඇදගන ඇයගේ බේකරියේ දොරෙහි රදවා තිබෙන කහ පාට ජ’ බරාස් මල සිනහාවි අතින් ගන්නා අයුරුයි .
” අපුරුයි ….. කව්ද මේ පැපරාසියා” කියමින් එමී පොතේ මීලග පිටුව පෙරලුවේ මදක් ආඩම්බරයකිනි . කව්ද රහස් අගයකරන්නන්ට අකමැති .
සැප්තැම්බර් 25 – බ්රහස්පතින්දා
එමී …. මට සමාවෙන්න . අදත් මා ඔබව දෑසින් දැකගැනීමට පිංකර නොමැත . සම්පුර්ණයෙන් සුව නොවුවත් හදිසි රාජකාරි කටයුත්තක් සදහා මගේ ප්රියතම බ්රහස්පතින්දා දිනය වෙන් කිරීමට සිදුවිය . නමුත් ඔබේ ජ’ බරාස් මල බේකරියේ දොරේ රදවන්න මා කෙනෙකු පිටත් කලා . ලබන සතියේ බ්රහස්පතින්දා දිනයේදී ඔබව දැක ගැනීම මා බලාපොරොත්තු වෙමී . තවමත් මං ආදරෙයි එමී .
ඔක්තෝම්බර් 02 – බ්රහස්පතින්දා
එමී ඔබ අද සුන්දරයි . ඔබව හමුවීමට තවත් මා දින ගනින්නේ තවමත් මා එයට සුදානම් නොමැති නිසා . ඔබ මගේ ආදරය කෙසේ පිලිගනිදැයි නොදන්නා නිසා . විදුරු ජනේලය තුලින් ඔබ දකිනා වාරයක් පාසා ඔබ වෙත යෑමට මගේ සිත මට බල කරයි . අද මා දොරෙහි රදවා තිබු ජ’ බරාස්
මල රැගෙන ගියේ වෙනත් යුවතියක් . ඇය හොදින් වටපිට බලනවා මා දුටුවා . ” දෙවියනේ …. එමී ” මං හිතන්නේ ඔබ මාව සොයනවා .
එතැනින් පොතේ තිබු කෝපී පැල්ලම් කිහිපයකින් එහා කිසිවක් ඒ පොතේ තිබුනේ නැහැ .
” කව්ද මේ ….” එමී තමන්ටම මුමුණා ගත්තා .
එමීට හෙට දිනය තෙක් ඉවසුම් නොගියේ හෙට බ්රහස්පතින්දා දිනයක් නිසා . එදින රාත්රියේ එමීට නින්දක් නොලැබුණේ මේ නොදන්නා හාදයා පිලිබදව එමීගේ සිතේ අමුතු හැගීමක් ඇතිවූ නිසා බව අමුතුවෙන් ඒ අළුපාට ඇස් වලින් පැහැදිලි කිරීමට අවශ්ය වුයේ නැත .
ඔක්තෝම්බර් 09- බ්රහස්පතින්දා එමී සුදු පැහැති කපු ගව්ම ඇග ලා ගන ඇගේ මදක් දික් වූ කේස් ඉහලට ඔසවා කටුවක් ගසාගන ඉක්මණි පිටත්ව ගියේ ඇයගේ බේකරිය වෙතයි .
ඇතින් බේකරිය දෙසට ගමන් කරන විට ඇයට හොදින් පෙනී ගියේ රතු කළු පාටට හුරු ජ’ බරාස් මලක් දොරෙහි රදවා ඇති බවයි .එය දුටු එමී ඇයගේ පාපැදිය පදින වේගය වැඩිකරේ නොදනුවත්වමයි .
එමී ටික දුරක් ගමන් කරන විට අවන්හල අසල සෙනග රැස්වී සිටි අතර එමීගේ සිතටත් වෙනසක් දැනුනි . ඒ නිසාම එමී පා පැදිය නවතා ඉක්මනින් ගමන්කරේ සෙනග ගැවසෙන අවන්හල දෙසටයි . සෙනග පිරාගන ඉදිරියට ගිය එමී දුටුවේ තරුණ හාදයෙක් ලේ ගංගාවක් මැද බිම වැතිරී සිටින අයුරුයි .
” දෙවියනේ ……” එමිට එසේ කියවෙන ගමන් හැඩුම් ආවේ නම නොදත් නොහදුනන පෙම්වතා ගැන සිහි වීමෙනි . එමී කිසිවක් නොබලා ඉක්මනින් දිව්වේ බේකරියේ දොර ලගට .
එමී ජ’ බරාස් මල අතින් ගෙන එතැනම බිම වාඩි වී අත් දෙකෙන් මුහුණ වසාගන හැඩීමට පටන්ගත්තේය . පොලිස් සයිරන් නලා හඩ මුළු ප්රදේශයම පුරවාලුයේ කිසිවෙකුටත් සිතාගත නොහැකි අයුරෙනි .
” එමී …”
කව්දෝ එමිගේ උරහිස මත අතක් තබනු දැනී එමී කදුළු පුරවාගත් මුහුණ උස්සා බැලුවේය .
” එමී … මම … ඩේව් “
එමී පුදුම වී ඩේව් වැලදගන ඇති තරම් හඩන්න විය .
” එමී … ඒ මම නෙවෙයි . මට වෙඩි තියන්න ආපු කෙනෙක් . එමී …. මං මෙහෙම ඔයා ලගට එන්න ඕනි උනේ නෑ . එමී මං හමුදා නිලධාරියෙක් … එමී මට සමාවෙන්න “
ඒ කිසිවක් නොඅසාම එමී තවත් තදින් ඩේව්ව වැලද ගනිමින් හඩන්නට පටන්ගත්තේය .
” එමී මට සමාවෙන්න … පරක්කු උනාට “
ඩේව් එමීගේ හිස මත හාද්දක් තබන ගමන් තවත් එමීම තුරුළුකර ගත්තේය .
උපුටා ගැනීම:  – හසිකා විජේතුංග –

Read More Like This

PHP Code Snippets Powered By : XYZScripts.com
error: Content is protected !!